×

ලැව් ගින්නෙන් වැසී යන ලෝකයේ ලොකුම ගස නොහොත් ‘ජනරාල් ෂර්මන්‘

‘ජනරාල් ෂර්මන්‘ ලෙස ලෝක පූජිත වී තිබෙන්නේ ලෝකයේ ලොකුම ගසයි. එය යෝධ සීක්වෝයා වර්ගයට අයත් රෙඩ්වුඩ් (රතු ලී) ගසකි.


මීටර 1487 ක් උස ජනරාල් ෂර්මන් ව බදන්නට මිනිසුන් දුසිම් ගණනක් උවමනා වන්නේ එහි වට ප්‍රමාණය මීටර 31 ක් වන නිසා ය.!

කැලිෆෝනියාවේ සියරා නෙවඩා කඳුකරයේ පිහිටා තිබෙන සීක්වෝයා ජාතික වනෝද්‍යානයේ එය පතාක යෝධයෙකු ලෙස වැජඹෙන්නේ වසර 2200 ක් ද නැතිනම් වසර 2700 ක් ද කියා නිශ්චිත නැත. නිශ්චිත එකම කාරණය, එය ලෝකයේ සජීවී තත්වයේ පවතින ලොකුම තුරු රජු බවයි. මේ සීක්වෝයා වනයේ වසර 3000 ක් තරම් පැරණි තුරු රජුන් ද වාසය කළත්, ඒ ඇතැම් ගසක උස ජෙනරාල් ෂර්මන් ද ඉක්මවා ගියත් ඔවුන් ජනරාල් ෂර්මන් තරම් දැවැන්ත නැත. තනි කඳක් මත නැගී සිටින ජනරාල් ෂර්මන්ගේ වපසරිය රතු ලී කියුබික් අඩි 52,508 කි.

ඒ අනුව, මිහිමත තිබෙන යෝධම ගස එය වනවා පමණක් නොව, මිහිත තිබෙන පරිමාව අනුව සලකන විට යෝධතම ජීවී ව්‍යූහය ද ජනරාල් ෂර්මන් රෙඩ්වුඩ් ගසයි.

නමුත් මේ යෝධ සීක්වෝයා රජු – ජනරාල් ෂර්මන්ගේ බඳ වටේ දැන් ඇලුමිනියම් තහඩු එතී තිබේ. එයින් සීක්වෝයා කැලය පිසගෙන ඉදිරියට ඇදෙන ලැව්ගිනිවලින් කෙටිකාලීන – මද ආරක්ෂාවක් පමණක් ලැබෙනු ඇත.

නිරුත්තර වූ ස්වභාවික ගිනි විකර්ෂකය

යෝධ සීක්වෝයා ගස්වලට ආත්මාරක්ෂාව සඳහා තමන්ගේම උපක්‍රමයන් තිබේ. ඒවා පවතින්නේ ස්වභාවික විපත්වලින් ආරක්ෂා වී වසර දහස් ගණන් ජීවත් වීම සඳහා ය. ඒ අනුව දිලීරවලට ගස කුණු කරන්නට නොහැකි කරමින් එහි බඳෙන් ටැනින් අම්ලය ගලා එයි. පරපෝෂිතයෝ ද මෙයට විකර්ෂණය වෙති. සුවිශේෂී කාරණය, එතරම් සැර නැති ගිනි දැල්වලින් බේරීම සඳහා මේ ගස්, ගිනි විකර්ෂක ලෙස ද කටයුතු කරයි. නමුත් දැන්…?

නූතන යුධ ශිල්පයේ නිර්මාතෘවරයා පැරදෙන තැන

ජනරාල් ෂර්මන් යෝධ රෙඩ්වුඩ් ගසට එම නම ලැබී තිබෙන්නේ 19 වන සියවසේ බිහිවූ ඇමරිකානු සිවිල් යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ජෙනරාල් විලියම් ෂර්මන් සිහිවන්නට ය. ඔහු එදා ජෝර්ජියා සහ කැරොලිනා ජනපද හරහා ඇමරිකාවේ දකුණුදිග දික්විජය කළේ වනයත් සමග බද්ධ වී දිවිගෙවූ ඉන්දියානු ගෝත්‍රිකයන් සංහාරය කරමිනි. නූතන යුධ ශිල්පයේ නිර්මාතෘවරයා වශයෙන් ජෙනරාල් ෂර්මන් සැලකෙයි.

සරු පොළොව මත පතිත විය යුතු තනි සරු බීජය

සීක්වෝයා වර්ගයේ යෝධ රතු ලී ගස්, වර්ගයා බෝ කරන්නට තෝරාගෙන තිබෙන්නේ එකම එක ක්‍රමයකි. එනම් බීජ මගින් පැතිර යාමයි. එ් සරු බීජය හිරු එළිය දකිමින් පොළොව මත පතිත වන්නට පෙර වසර 20 කට ආසන්න කාලයක් පයින් කේතුව තුළ සඟවා තැබේ. කුඩා ලැව්ගිනිවලින් නික්මෙන තාපය නිසා ඒ කේතුවෙන් බීජය පස මත පතිතවනු ඇත.

එක් සීක්වෝයා ගසක්, එක් ප්‍රජනන සමයකදී බිහි කරන්නේ එකම එක සරු බීජයක් පමණි.

ඒ හැර අතු කැබලි හෝ මුල් කැබලි සිටුවා ලෝකයට කිසිදා සීක්වෝයා රෙඩ්වුඩ් ගසක් බිහි කර ගත නොහැකිය.

 

යෝධ සීක්වෝයා ගස්වල මේ සුවිශේෂී බීජ ව්‍යාප්ති රටාව සහ අධික ලැව්ගිනිවලට ගස හසුවීම අපට සිදුකරන අනතුරු ඇඟවීම කුමක්ද?

ඉහතින් පැහැදිලි කර ඇති ආකාරයට සීක්වෝයා ගසක ජීවන චක්‍රය සම්පූර්ණ වීමට නම් ලැව්ගිනි අවශ්‍ය ය. නමුත් ඒ ලැව්ගිනි ‘මද ලැව්ගිනි‘ වීම අත්‍යාවශ්‍ය වන්නේ සරු බිමක් මතට සිය බීජය පතිත කරවිය යුතු නිසා ය. ස්වභාවික ගිනි විකර්ෂක ලෙස මේ ගස් ක්‍රියාකරන්නට පරිණාමිකව සැකසී තිබෙන්නේ ද මෙනිසා ය. නමුත් මේ වන විට පැතිරෙමින් තිබෙන මහා කැලිෆෝනියානු ලැව්ගින්න, ජනරාල් ෂර්මන් වැනි යෝධ රෙඩ්වුඩ් ගස් වසා පැතිර ගියහොත් වන්නේ ඒ තුරු යෝධයන් පිළිස්සී යාමයි. ගසෙහි පාදම ඇලුමිනියම් තහඩු වලින් එතීම ජනරාල් ෂර්මන්ට අත්බෙහෙතක් පමණි. කෙසේ නමුත් එසේ හෝ තමන්ව රැක ගන්නට අසීමිත වෙහෙසක් ගන්නා ගිනි නිවන භටයන් දැක ජනරාල් ෂර්මන් ප්‍රමුඛ සීක්වෝයා යෝධයන් කෘතවේදී සුසුමක් හෙළන්නට ඇත.

පසුගිය සතියේ පැය 72 ක් ඇතුළත අකුණු සැර 11,000 කට මුහුණ දුන්, සහශ්‍ර වර්ෂ 2කට වැඩි කාලයක් ස්වභාවික විපත්වලටඔරොත්තු දුන් සීක්වෝයා කැලය, සහමුලින්ම වඳවී නොයනු ඇති නමුත්, මෙහි පළවන ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙයට සති කිහිපයකට පෙර ගින්නෙන් දැවී හළු වුණු ජනරාල් ෂර්මන්ගේ අසල්වැසියෙකුගේ අවසන්මොහොතයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි