×

ලෝකය නුදුටු ෂෝකෝ අසහාරා, ලෝකය නොදැකම මිය යයි.

ෂෝකෝ අසහාරා එල්ලා මරා දැමේ


1995 වසරේ ජපානයේ තෝකියෝ උමං දුම්රිය මාර්ගයට සෙරීන් නමැති විෂ වායුව (nerve gas) එල්ල කළ නිකාය නායකයා, ෂෝකෝ අසහාරා (Shoko Asahara) අවසානයේ එල්ලා මරා දැමිණි.

ඕම් ෂින්රිකෝ (Aum Shinrikyo) නිකායේ නායකයා සහ එහි මූලාරම්භකයා වූ ෂෝකෝ, පුරා 12 වසරක් තිස්සේ මරණ දණ්ඩනයට එරෙහිව අභියාචනය කරමින් සිටියද, අවසානයේ තෝකියෝ අධිකරණය විසින් ඒවා ප්‍රතික්ෂේප කළේය.

1995 විෂ වායු ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙක් මිය ගිය අතර, 6000 කට වඩා රෝගී වූහ.

ඔහු සමග ඊයේ (ජූලි 6) දිනයේ, ඕම් ෂින්රිකෝ නියායේ සාමාජිකයන් වූ, ඔහුගේ ගෝලයන් 6 දෙනෙකුට ද මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි.

තවත් ඕම් ෂින්රිකෝ නිකායේ සාමාජිකයන් 6 දෙනෙක් මරණ දණ්ඩනයට ලක් ව සිටිති.

අසහාරාගේ නිකාය

අසහාරා රෝස පැහැති ඇඳුමින් සැරසී සිටීමට ප්‍රිය කළේය. Photo: Sherdog Forums

ෂෝකෝ අසහාරාගේ නිකාය වන ‘ඕම් ෂින්රිකෝ‘ ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ ‘නව – බෞද්ධ නිකායක්‘ ලෙස ය. ජපන් බසින් එහි තේරුම Supreme Truth හෙවත් ‘අත්‍යන්ත සත්‍යය‘යි. ‘සත්‍යයේ ආගම‘ යැයි ද එයට කියනු ලැබේ. 1987 වසරේදී එය පිහිටුවා ගැනෙන අවධියේ ෂෝකෝ අසහාරා හැඳින්වුණේ ‘ෂිසූ මත්සුමොතෝ‘ යන නාමයෙනි. සැබවින්ම ඔහුගේ උපන් නම එය වන අතර, ආගම් කටයුතු සඳහා ඔහු භාවිතා කරමින් සිටියේ ෂෝකෝ අසහාරා යන නාමයයි.

මෙම නිකායේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය වශයෙන් මුලින් බඳවා ගැනුණේ විද්‍යාල ශිෂ්‍යයන්, බුද්ධි අංශ සාමාජිකයන්, ඉංජිනේරුවන් වැනි අය ය. නමුත් පසුව භක්තියෙන් උන්මාද වූ දැඩි ආගමිකයන් ද මෙයට එක් වූහ. 90 දශකය අවසාන වන විට අසහාරාගේ ඕම් නිකායේ සාමාජිකත්වය ලද සංඛ්‍යාව 10,000 ක් බව හෙළි වී තිබේ. විදෙස් රටවල ද ඔහුගේ අනුගාමිකයන් සිටි අතර, රුසියාව තුළ අනුගාමිකයන් වැඩිම පිරිස වාර්තා විය.

Photo: The Japan Times

1989 වසර වන විට මෙම නිකාය සංවිධානය ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යොමු වී ඇති බවට මත පළ විය. එම වසරේදී අසහාරාගේ ඉගැන්වීම්වලට ප්‍රසිද්ධියේ එරෙහි වූ නීතීඥවරයෙක්, ඔහුගේ බිරිඳ සහ එක් හැවිරිදි දරුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ඔවුන්ට ය. ඕම් ෂින්රිකෝ නිකායට එරෙහිව නඩු පැවරීම ද මේ අනුව සිදුවිය.

විශ්ලේෂකයන් අසහාරාගේ ආගම නිර්වචනය කරන්නේ මෙසේ ය. ‘‘එය හින්දු ආගම සහ බෞද්ධ ආගම බයිබලයේ ඉගැන්වීම් මෙන්ම 16 වන සියවසේ ක්‍රිස්තියානි පූජකවරයෙක් වූ නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ද සමග සම්මිශ්‍රණය වූ සැලඩ් එකකි!“

Photo:Twitter

1990 දශකයේ මුල භාගයේ අසහාරා ජපානයේ දේශපාලන පද්ධතිය තුළට ඇතුල් වීමට දැඩි වෙහෙසක් ගත්තේය. මැතිවරණ ගණනාවකට ඔහු ඕම් ෂින්රිකෝ සාමාජිකයන් ඉදිරිපත් කළ ද ඒවා සාර්ථක වූයේ නැත. සංවිධානයට වැඩ කිරීමට අති දැවැන්ත මුදල් සම්භාරයක් ලැබී තිබිණි. ජනමතය දිනා ගැනීම අසීරු කාරණයක් බව වටහා ගැනීමෙන් පසු අසහාරාගේ ඊළඟ වෑයම වූයේ ජපන් රජයට බලපෑම් කළ හැකි දේශපාලන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමයි. ඒ සමගම, රසායනික ආයුධ නිපදවීම කෙරෙහි නිකායේ අවධානය යොමු විය. තෝකියෝ ප්‍රහාරය සඳහා යොදාගත් සෙරීන් විෂ වායුව ‘නර්ව් ඒජන්ට්‘ එකක් හෙවත් ‘ස්නායු විෂ‘ කි. මෙම රසායනිකය මගින් සිදුවන්නේ මොළය හා සුෂුම්නාවෙන් සැදුම්ලත් මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය කර වේදනාකාරී මරණයක් ලබාදීමයි.

1993 වසරේදී ෂෝකෝ අසහාරා විසින් නිකායේ තෝරාගත් පුද්ගලයන් හට රුසියාවේදී හෙලිකොප්ටර පැදවීමේ පුහුණුව ලබාදුන් බව ද හෙළි වී තිබේ.

සෙරීන් විෂ වායු ප්‍රහාරයෙන් පසු තෝකියෝ පොලිසිය ඕම් මධ්‍යස්ථාන රාශියක් වැටලූ අතර, එම ඇතැම් මධ්‍යස්ථානවල විෂ වායු සාම්පල තිබූ බවට ද වාර්තා පළ විය. එසේම, අසහාරා අනුගාමිකයන් හෙලිකොප්ටරයෙන් යමින් තෝකියෝ නගරය පුරාම මෙම විෂ වායුව ව්‍යාප්ත කිරීමේ සැලසුමක් සහිතව සිටි බවට ද හෙළිදරව් වී තිබිණි.

සරීන් විෂ වායු ප්‍රහාරයෙන් පසු තෝකියෝව. 1995 මාර්තු 20
Photo: Inquirer News – INQUIRER.net

යකුසා වැනි පාතාල මත් කල්ලි සමග ද ඕම් ෂින්රිකෝ නිකාය සම්බන්ධ වී සිටි බව ට වාර්තා තිබේ. කෙසේ නමුත් අවසාන භාගය වන විට මෙම කල්ලි දෙක අතරද විවිධ ගැටුම් ඇති විය. ජපානයේ විශාලතම යකුසා කල්ලිය වන යමාගුචි – ගුමී කල්ලියේ සාමාජිකයෙක්, පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේදීම ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඕම් ෂින්රිකෝ නිකායට චෝදනා එල්ල විය.

තෝකියෝ ප්‍රහාරයෙන් පසු 1996 වසරේදී බංකොළාත් භාවය ප්‍රකාශයට පත් කළ ඕම් ෂින්රිකෝ නිකාය ජපානය තුළ තහනම් කෙරිණි. නමුත් එය 2000 වසරේදී ‘ඇලෙෆ්‘ (Aleph) යන නාමයෙන් නැවත පිහිටුවා ගැනුණි. මේ අතර සංවිධානයේ ප්‍රකාශකයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා – ෆුමිහිරෝ -ජෝයු 2007 වසරේදී ‘Hikari no Wa’ යනුවෙන් එහි නම නැවත වෙනස් කළේය. ඔහු අසහාරාගේ දකුණු අත ලෙස පෙනී සිටිමින් රුසියාවේ සිට නිකාය මෙහෙයවීය.

ෂෝකෝ අසහාරා ඇතුළු සත් දෙනා එල්ලා මරා දැමීමෙන් පසු තෝකියෝවේ ආරක්ෂාව දැඩි කිරීමට ජපන් පොලිසිය කටයුතු කළේ, තවමත් ඔවුන්ගේ අනුගාමිකයන් සහ නිකායවාදීන් ජපානය තුළ සිටින බව සහ, ඔවුන් නායකයාගේ මරණය හේතුවෙන් විවිධ විනාශකාරී ක්‍රියාවල යෙදෙනු ඇතැයි පවතින විශ්වාසය හේතුවෙනි.

ජාත්‍යන්තර ටයිම් සඟරාවේ කවරයේ කතාව ‘විනාශයේ නිකාය‘ 1995 අප්‍රේල් 3 සඟරාව

අසහාරාගේ ජීවිතය

1955 වසරේ දුප්පත් ජපන් පවුලක අර්ධ අන්ධ දරුවෙකු සේ උපන් ෂෝකෝ අසහාරා, උමතුවකින් පෙළුණේය. ඒ උමතුව නම්, අනාගතයේදී ජපන් අධිරාජ්‍යයා බවට පත්වීමයි. ඔහු අතීතයේ විසූ බිහිසුණු ජපන් අධිරාජ්‍යෙයකුගේ පුනරුප්පත්තිය බව ඕම් නිකායේ සාමාජිකයෝ විශ්වාස කරති. උපතේ පටන් අසහාරා නොහොතේ මත්සුමොටෝගේ වම් ඇස පෙනුණේ නැත. පසුකාලීන ව ඔහුගේ දකුණු ඇසේ පෙනුම ද හරි අඩකින්ම නැති වී ගියේය.

අන්ධ දරුවන් සඳහා වෙන් වූ පාසලකට ගිය අසහාරා විද්‍යාල අධ්‍යාපනය නිමා කළ ද සරසවියට ඇතුල් වීමට සුදුසුකම් ලැබුවේ නැත. එනිසා 1978 වසරේදී සම්ප්‍රදායික චීන වෙදකම ඉගෙන ගැනීමට පටන් ගත්තේය. තොමොකේ මත්සුමොතෝ නමැති යුවතිය සමග ඔහු විවාහ වූ බවට ද වාර්තා ඇත. 1981 වසරේදී ඔහු බලපත්‍රයක් නොමැතිව චීන වෙදකමේ යෙදීම නිසා දඩ කෑවේය. ඔහුට ‘ආගමික කැඳවීම‘ යැයි විශ්වාස කළ වෙනස දැනෙන්නට පටන් ගත්තේ මේ අවධියේ බව කියැවේ. ඒ සමගම ඔහු දැඩි සේ චීන තාරකා ශාස්ත්‍රය සහ තාවෝ දහම හැදෑරීමට පටන් ගත්තේය. ඔහු ඕම් නිකාය ආරම්භ කළේ ඉන් පසුව ය.

ඕම් ෂින්රිකෝ නිකායේ ඉගැන්වීම වන්නේ මේ ලෝකයේ දෛවය, විනාශ වීම බවයි. ලෝක විනාශය සිදුවන විට ලෝකයට සිටින එකම ගැළවුම්කරුවා වන්නේ අධ්‍යාත්මික නායක ෂෝකෝ අසහාරා ය!

අසහාරා ට සිටි දැවැන්ත අනුගාමිකයන් පිරිස – 1990 දශකය මුල භාගය Photo: SBS

තමන් අනාගත ජපන් අධිරාජ්‍යයා බව අසහාරා සිය ඉගැන්වීම්වලදී නිතර කීවේය.

අසහාරා තමන් ට අධ්‍යාත්මික බලයක් ඇති බව, ප්‍රතිහාර්ය පෑ හැකි බව නිතර කී අයෙකි. අහසේ පාවීමේ හැකියාව තමන්ට ඇති බව කී ඔහු, අවස්ථා කිහිපයක එය අනුගාමිකයන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ බවට ද වාර්තා ඇත. ජපන් මාධ්‍ය මේ පිළිබඳ එකල වාර්තා කළේ හාස්‍යය මුසු උපහාස රසයකිනි.

අසහාරා මරණ දණ්ඩනයට නියම වූයේ 2004 වසරේදී ය. 2006 සැප්තැම්බර් 15 වැනිදා වන විට මරණ දණ්ඩනයට එරෙහිව ඔහු විසින් සිදුකළ සියලු අභියාචන ප්‍රතික්ෂේප කළ ජපන් අධිකරණය, ඔහුගේ මරණ දඬුවම ස්ථිර කළේය.

අසහාරා අත්අඩංගුවට ගැනීමෙන් පසු
Photo: Rebel Circus

ජපන් ජාතිකයන්ගෙන් බහුතරය ෂෝකෝ අසහාරාව එල්ලා මරාදැමීම අනුමත කරති. ඉතිහාසයේ සිදුවූ ලැජ්ජාසහගත අපරාධයක් සම්බන්ධයෙන් අගමැති ෂින්සො අබේ, ලබන වසරේ විශ්‍රාම යාමට පෙර යුක්තිය ඉටු කිරීම පිළිබඳ ඔවුන් තුළ පවතින්නේ පැහැදීමකි.

මෙයට 63 වසරකට පෙර අර්ධ අන්ධ දරුවෙකු සේ උපත ලද අසහාරා, ලෝකය දැකීමට කිසිදා සමත් වූයේ නැත. ඔහු ජීවිතයේ අවසන් සමයේ රෝද පුටුවට සීමා වූ ජීවිතයක් ගෙවමින් මිත්‍යා දෘෂ්ටියේම ඇලී ගැලී මරණයට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි