×

ඊශ්‍රායලයට ගරහන්න එපා, ජිහාඩ්වාදීන් ව අල්ලා ගන්න – යුරෝපා සංගමයට ලිපියක්

සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානය යනු යුදෙව් ප්‍රජාව මූලික වී පිහිටුවා ගත ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකි.


සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානය විසින් යුරෝපා සංගමය වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ ඊශ්‍රායලය ඉලක්ක කරනු වෙනුවට ISIS සංවිධානය වෙත අවධානය යොමුකළ යුතු බවයි.

මෙම ලිපිය යුරෝපා සංගමය වෙත යොමු කර තිබෙන්නේ එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයකු විසින් සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පළකර ඇති සටහනකට ප්‍රතිචාර වශයෙනි.

ඒ අනුව, මෙම ලිපිය යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිලිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත ජෝසප් බොරෙල් වෙත යොමු කර ති‌බෙන අතර, එය රචනය කර ඇත්තේ සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ ආචාර්ය ශිමන් සැමුවෙල්ස් විසිනි.

යුරෝපා සංගමය ඊශ්‍රායලය කෙරෙහි දක්වන අවධානය නවතා දමා ඒ වෙනුවට හිටපු ISIS ස්වේච්ඡා සාමාජිකයන් යුරෝපය වෙත රැගෙන එන බවට චෝදනා ලැබ සිටින තුර්කි ක්‍රියාකරුවන් කෙරේ අවධානය යොමුකළ යුතු බව එම ලිපිය මඟින් පෙන්වා දෙයි.

වයස අවුරුදු 23 – 30 අතර පසුවන ජිහාඩ්වාදී අදහස් වැළඳ ගත් තරුණයින් මෙසේ යුරෝපය වෙත පැමිණීමට පටන් ගෙන ඇති බවත් මෙය බරපතල තර්ජනයක් ගෙන එන සුළු කරුණක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම තරුණයින් අතර කාන්තාවන් ලිංගික හැසිරීම් දැක්වුයේ යයි ගල් ගසා මරා දැමුවන්, සොරකම් කළේ යැයි අත් කපා දමුවන්, ප්‍රාණ ඇපයට තබාගත් පුද්ගලයින් ගේ සිරුරු හඳුනාගැනීමෙන් ඔබ්බට විනාශ කර දැමුවන් වෙන බවට එම ලිපිය පෙන්වා දෙයි.

ප්‍රංශ පුවත්පතක් වන “ලෙ පැරිසියන්” පුවත්පතේ සඳහන් අන්දමට, සිරියාවේ අස්ථාවරභාවය හා කුර්දිවරුන්ගේ පසුබෑම මධ්‍යයේ, ISIS සටන්කාමීන් රහසිගතව යුරෝපීය දේශසීමාව වෙත පැමිණීමට පටන් ගෙන ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබේ.

සිරියාව තුළ උද්ගත වී ඇති අවාසනාවන්ත තත්වය තුළ අවතැන්ව සිටින ජනතාව අරඹයා සිදුවන ජන සංහාර, හා ඉරානය, රුසියාව, තුර්කිය ඇතුළු ඇතැම් රටවල් ඒ තුළ දක්වන පැටළුම් සහගත භූමිකාව නිසා මෙම තත්වය උදා වී ඇති බව ආචාර්ය සැමුවෙල්ස් වැඩිදුරටත් අවධාරණය කරයි.

“හිතවත් ජ්‍යෙෂ්ඨ නියෝජිතතුමනි, මෙම තත්ත්වයන් තුළ, ඔබ ඔබගේ බ්ලොග් සටහනේ (අද දින පළකර තිබූ) සඳහන් කර ඇති තොරතුරු පිළිගත නොහැකිය. ඔබ පවසා සිටි පරිදි, ‘සිරියාව පිළිබඳ බ්‍රසල්ස් සමුළුවේදී ඔබ ලබාගත් ප්‍රබුද්ධ අවස්ථාවක් වූයේ සිරියානු සිවිල් සමාජය සමඟ ඔබ කළ ගනුදෙනුවයි. ඔවුන්ගේ කැපවීම සහ අධිෂ්ඨානය ගෞරවයේ පාඩමක් බව ඔබ සඳහන් කළේය. එහෙත්, මෙම ප්‍රකාශය හරහා රාකා නගරයේ ඝාතන පිටියන් වල (Hecatomb in Raqqa) යථාර්ථය සහ තුර්කි මාර්ගෝපදේශකයින් විසින් යුධ පිටියේ පුහුණුව ලැබූ තරුණ යුරෝපීයයන් ගෙන එන බවට යථාර්තය පිළිබිඹු නොකරයි.”

සැමුවෙල්ස් විසින් රචිත ලිපිය අවසානයේ සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානය අනතුරු අඟවා සිටියේ, මෙම අන්තවාදීන් යුරෝපයේ ජීවත් වන යුදෙව් ප්‍රජාව පමණක් නොව, ක්‍රිස්තියානි භක්තිකයන්, කාන්තාවන්, ප්‍රගතිශීලී මුස්ලිම් ජාතිකයන්, සමරිසියන් ඇතුළු වෙනත් ආන්තික කණ්ඩායම් මර්දනය කිරීම ආරම්භ කරනු ඇති බවයි.

සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානය යනු යුදෙව් ප්‍රජාව මූලික වී පිහිටුවා ගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි