×

ශ්‍රී ලංකාවේ සල්ලි ණයට ගෙන ජීවත් වන ජනතාවක්

ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවාගත නොහැකිව පොර බදමින් සිටියදී රට පුරා ග්‍රාමීය කුටුම්භ, සිය ඉතිරිකිරීම් සිඳී යාමෙන් පසුව ණයට ගෙන ජීවත් වන තත්වයට පත් ව සිටිති. වසංගතය මගින් උත්ප්‍රේරණය කළ අර්බුදයක් තුළ දරුණු ආර්ථික දුෂ්කරතා සමග ඔවුන් දැනටමත් හෙම්බත් ව සිටින්නේ කෙසේදැයි මීරා ශ්‍රී නිවාසන් ‘ද හින්දු‘ පුවත්පතට ලිපියක් ලියමින් හෙළිකරන්නේ මෙසේ ය.


කොළඹ ආශ්‍රිතව රැකියා ගණනාවක් කිරීමෙන් පසුව සිම්රන් එන්රික් නැවතත් සිය කඳුකර නිවසට පැමිණ සිටියි. කොළඹ වෙළාගත් වසංගතයට පෙර පැනගැනීමට සමත් වූ නමුත් සිය අවසාන රැකියාව වූ කඩයක වැඩ කිරීම ඒ සමගම අවසන් විය.

‘‘මම ඕනෙම රස්සාවක් කරන්න ලෑස්තියි. කොහෙද මොකක්ද, කීයක් ගෙවනවද ඒ මොකුත් කමක් නෑ..‘‘ යැයි 19 හැවිරිදි එන්රික් කියයි. ඔහු රැකියාවක් කරන්නට පටන් ගත්තේ සාමාන්‍ය පෙළට පෙර පාසලෙන් ඉවත් වීමෙන් පසුව ය. මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය තේ වත්තක වැඩ කළ ඔහුගේ දෙමාපියන්ගේ එක තැන පල්වෙන වැටුප, එන්රික්ගේ පාසල් යන සහෝදරියන් දෙදෙනා ඇතුළු පවුලේ පස්දෙනාට තුන්වේල සරිකරන්නට ප්‍රමාණවත් වූයේ නැත. කොළඹින් ලබන වැටුප මගින් ගෙදර මුදල් ප්‍රශ්නයට උදව්වක් කරන්නට හැකි වේ යැයි ඔවුහු සිතුවහ. එය යන්තමින් සිදුවූ නමුත් කිසිම අමතර ආදායම් මාර්ගයක් අහිමි වීම ඔවුන්ට දරාගත හැකි වූයේ නැත. කාලයත් සමග එන්රික් ගේ කුඩා ඉතුරුම් මුදල පවා කොතරම් වටින්නේදැයි සනාථ විය. ඉන්පසු මාරක වෛරසය පැමිණියේය.

නිල දත්තවලට අනුව නව කොරෝනා වෛරසය විසින් ශ්‍රී ලංකාවේ ඇති කළ තත්වය එතරම් මාරක එකක් නොවේ. කලාපයේ COVID-19 අංක දත්ත සහ ප්‍රබල බටහිර රටවල තත්වය සීඝ්‍රයෙන් බරපතළ වෙමින් පැවතියත්, ශ්‍රී ලංකාවේ තත්වය ප්‍රතිවිරුද්ධ අතට හැරී තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ ප්‍රශංසාවට ලක් වෙමිනි. අද වන විට ශ්‍රී ලංකාවෙන් මරණ 11 ක් වාර්තා වී ඇති අතර, රෝගීන් සංඛ්‍යාව 3000කට ද වඩා අඩු ය. ඒ අතරින් සක්‍රිය ආසාදිතයන් සිටින්නේ 127 ක් පමණි.

මාස 2 ක දැඩි ලොක්ඩවුන් තත්වයෙන් සහ, හමුදාව විසින් සහාය දුන් රටේ කාර්යක්ෂම මහජන සෞඛ්‍ය අංශයේ පරිශ්‍රමයන්ගෙන් පසුව, දෙවරක් කල් දැමූ මහමැතිවරණය අගෝස්තු 5 දා පැවැත්වීම සුදුසු යැයි ශ්‍රී ලංකාව කල්පනා කළේය. රටේ මිලියන 21ක ජනගහනයෙන් මිලියන 15කට වඩා ඡන්දය ප්‍රකාශ කළ හැකි වූ අතර, මැතිවරණ කොමිසම විසින් පැනවූ සවිස්තරාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශයන් එහිදී අනුගමනය කෙරිණි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71%ක් විය.

බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි රාජපක්ෂ සහෝදරයන්ගේ පාලක පක්ෂය පහසු ජයක් අත්පත් කර ගත්තේ, ශ්‍රී ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය තුළ තුනෙන් දෙකේ බහුතරය ආරක්ෂා කර ගනිමිනි. දැන් දශකයක් ගත වී තිබෙන සිය යුද ජයග්‍රහණයේ ප්‍රතිරූපයෙන් ප්‍රවේශමෙන් රෝපණය කර ගත් දේශපාලන ප්‍රාග්ධනයෙන් සහ පෙර ආණ්ඩුවේ තෙරක් නොපෙනෙන අසාර්ථකවීම්වලින් උදව් ලබමින් රාජපක්ෂවරුන් රට කෙරෙහි පවතින සිය ග්‍රහණය දැඩි කරගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය සහ ඔහුගේ වැඩිමල් සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ රටේ බලවත්ම ධුරයන් දෙක දරමින් සිටිති. ඔවුන්ගේ දේශපාලන ශක්තියට කිසිදු සමීප තර්ජනයක් නැත. නමුත් ඔවුන්ගේ ආණ්ඩුව පෙර නොවූ විරූ ආර්ථික අභියෝගයකට මුහුණ දී තිබේ.

භංගුර (පහසුවෙන් බිඳෙනසුලු) ආර්ථිකය

පසුගිය වසරේ පාස්කු ත්‍රස්ත බෝම්බ සිද්ධියේ කම්පනයට හසුවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 පළමු කාර්තුවේදී 1.6%කින් හැකිළී තිබුණේ වසංගතයෙන් රට සහ ලෝකය වෙළාගැනීමට ද පෙර ය. ලෝක බැංකුව විසින් වඩාත් දරුණු චිත්‍රයක් මවා ඇති අතර, එයට අනුව ආර්ථිකය 3%කින් හැකිළෙනු ඇත.

ශ්‍රී ලංකා මහබැංකුවට අනුව රටේ ගොඩ ගැසෙන විදේශ ණය, 2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.6%කට සමාන විය. මේ වසරේ ගෙවිය යුතු වාරිකවල හිඟය ඩොලර් බිලියන 3කට ආසන්න ය. මෙයට, ඔක්තෝබරයේ පරිණත වන, ඇ.ඩො. බිලියන 1 ක සමථ කළ නොහැකි ස්වෛරී බැඳුම්කර ඇතුළත්. මේ හැරුණු විට ද්විපාර්ශවික සහ බහුපාර්ශවික ණය ද තිබේ.

මෙම පසුබටවනසුලු කාර්යය පිළිබඳව දැනුවත්ව සිටින රාජපක්ෂ පරිපාලනය ණය අත්හිටුවීමක් කරන ලෙසට ණය දුන් අයගෙන් වහාම ඉල්ලීම් කළහ. භාරකාර ආණ්ඩුවේ නායකත්වයේ වැඩ භාරගනිමින් අගමැති ධුරයට පත් වීමෙන් පසු සිය පළමු විදෙස් චාරිකාව වශයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගිය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලා සිටි ණය විලම්බන කාලය තවමත් සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.

මාර්තු මාසයේදී වසංගතය විසින් රට වෙළාගැනීමෙන් පසු ආර්ථික අර්බුදය දෙගුණ තෙගුණ වූයේ රටේ ණය අර්බුදය විසින් ආණ්ඩුව හාස්‍ය ජනක තත්වයකට පත් කරමිනි. චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 5 ක පෙර ණය සහ ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 960 ක පෙර ණය පියවීම සඳහා ආණ්ඩුව අලුත් ණයගැනීම් සිදුකළේය. මාර්තු මාසයේදී කොළඹින් ලැබෙන ‘හදිසි ඉල්ලීමක‘ට පසුව ශ්‍රී ලංකාව චීනය සමග තවත් ඩොලර් මිලියන 500 ක ණයකට ගිවිසුම්ගත වන්නේ වසංගතයේ දැඩි ආර්ථික ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ය.

ආන්තීකරණය තුළ

ආණ්ඩුව මුල්‍ය අර්බුදය සමග පොරබදන අතරවාරයේ ජනතාව, විශේෂයෙන්ම ආන්තීකරණයේ ජනතාව විඳවමින් සිටිති.

එන්රික් ‘ඇඳිරිනීතිය‘ සමයේ පුරා සති 8 ක් පමණ කොළඹ සිටියේ සිය රැකියාව අහිමි වන තෙක් වැටුපෙන් කොටසක් ලබමිනි. ‘‘අලුත් රස්සාවක් හොයාගන්න අවස්ථාවක් නැහැ‘‘ ඔහු කියයි. ඔහු නැවතත් ගමේ ගියේ සම්පූර්ණයෙන්ම ඔහුගේ දෙමාපියන්ගේ වේතනවලින් යැපීමේ තත්වයට මුහුණ දෙමිනි.

‘‘අද වැඩ නැහැ. සතියක මහ වැස්සෙන් පස්සෙ කඩන්න තේ කොළ නැහැ‘‘ යැයි පවසන්නේ ඔහුගේ මව වන එස්. භාග්‍යලක්ෂ්මී ය. ඇය පසුගියදා සිය දියණියන් දෙදෙනා වෙනුවෙන් රැස්කරගෙන තිබූ රත්තරන් බඩුවක් උකස් තැබුවාය. ‘‘මේ දවස්වල පිළිවෙළකට වැඩ නැහැ..‘‘

බොහෝ සේවායෝජකයෝ සිය සේවකයන්ට දින කිහිපයකට එක් දිනක් බැගින් ගෙදර සිටින ලෙස පවසන්නේ, එවිට වැඩ කළ යුතු අවම දින ගණනට අදාළව ගෙවිය යුතු දීමනාව නොගෙවා සිටිය හැකි නිසායැයි වතුකම්කරුවෝ පවසති. වසංගතය ද උපුටා දක්වමින්, වර්තමානයේ ගෙවන රු. 700 ක මූලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙසට ප්‍රධාන වතු සමාගම් ආණ්ඩුව සමග පැවැත්වූ සාකච්ඡා මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ. මෙය, වතු කම්කරුවන් වසර 3 ක් තිස්සේ කරන ඉල්ලීමකි. නමුත් තේ අපනයන කරුවන්ගේ වාර්තාගත ඉහළ ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවූ 2019 වසරේදීවත් එම සමාගම් එම ඉල්ලීමට එකඟ වූයේ නැත.

වතුකම්කරුවන් සිය ඉල්ලීම ඡන්ද පොරොන්දුවලට දමා ගැනීමට තරම් සමත් වූ නමුත්, එය ඉටුකරගැනීමට තරම් බලවත් වූයේ නැත. මේ වසරේ ජනවාරි මාසයේදී, මාර්තු මාසයට මාස 2කට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ට සහතික වූයේ මැතිවරණ සටන් පාඨයක් ඉටු කරමින් මාර්තු 1 වැනිදා වන විට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ය. මාස 6කට පසුවත් එය තවමත් බිඳුණු පොරොන්දුවක් පමණකි.

භාග්‍යලක්ෂ්මී වැනි අයට, තමන් වෙහෙස මහන්සි වී උපයාගත් රන් භාණ්ඩ උකස් කිරීම අවසන් විකල්පය බවට පත්ව ඇත. ඇගේ පවුල දුප්පත්කමේ සිටින්නේ වසංගතය නිසා නොවුණද, වසංගතය විසින් එය බරපතළ ලෙස උග්‍ර කර තිබේ.

ශ්‍රී ලංකාවේ මිලියනයක් වන මලයා දමිල (උඩරට දෙමළ) ජනතාව අතරින් ලක්ෂ 1.5 ක් දෙනා වතු කම්කරුවෝ වෙති. දකුණු ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විසින් ඔවුන් මෙරටට ගෙන ආවේ කඳුකර වනය කපා සුද්ද කර මුලින් කෝපි ද පසුව තේ ද සිටුවීමට සහ නෙළීමට ය. ඔවුන් ඓතිහාසිකවම නොසලකා හැරීම්වලට ලක්ව තිබේ. අගනා විදේශ විනිමය උපයන්නන් වන ඔවුහු රටේ භූගෝලීය, සමාජයීය සහ ආර්ථික අන්තයන් හි ජීවත් වෙති. ඔවුන්ගේ ශ්‍රමය නොපෙනනසුලු වන අතර හඬ, නෑසෙන සුලු ය.

භාග්‍යලක්ෂ්මීගේ නිවස යටත්විජිත යුගයේ ‘ලැයිම‘කි. ඔවුන්ට ජීවත් වීම සඳහා එතුළ  යන්තමින් අඩි 8X8 ඉඩක් තිබේ. එය පිහිටා තිබෙන්නේ තේ වත්තක වාහන යා නොහැකි මුල්ලක ය. ඇගේ මුතුන්මිත්තන් මුහුණ දුන් ප්‍රචණ්ඩකාරී යටත්විජිත ඉතිහාසයට මෙන්ම නිදහසින් පසුව වසර ගණනාවක් මුළුල්ලේ ඔවුන් ලක් වූ සූරාකෑමට ද සාක්ෂි සපයයි. අනුප්‍රාප්තික පරම්පරාවන් සහ ඔවුන්ගේ ජීවිකාවන් අවදානමට සහ අඩමානයට ලක් කළ අයුරු ගැන එය සාක්ෂි දරයි.

නමුත් මේ පීඩාවට ලක්ව සිටින්නේ වතු කම්කරුවන් පමණක් නොවේ. එන්රික් වැනි දස දහස් ගණන් වූ, කොළඹ හා සෙසු නගරවල හෝටල් හා සාප්පුවල නිතරම පිරිසිදුකරන්න් හෝ සහායකයන් ලෙස වැඩ කළ මලයහා දමිල තරුණයන් ද වතුකරට ආපසු පැමිණ සිටින්නේ රැකියා නොමැතිව ය. ‘‘මස්කෙළියේ ත්‍රිරෝද රථ රියැදුරන් හදිසියේම වැඩි වෙලා. ඒ කට හේතුව අපෙන් ගොඩක් අය කොවිඩ්-19 න් පස්සෙ කොළඹ ඉඳන් ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආපහු ගමට ආවා..‘‘ යැයි කොළඹ සිය මේසන් රැකියාව අහිමි වීම නිසා ගමට ආ 28 හැවිරිදි මුරුගයියා විග්නේස්වරන් කියයි. ‘‘මම ණයක් අරගෙන මේ ත්‍රීවීල් එක ගත්තා. ඒත් හයර් හොයාගන්න ලේසි නෑ..‘‘ හදිසි අවශ්‍යතාවයන්ට මස්කෙළිය නගරයට යාමට අවශ්‍ය වන සිය අසල්වැසියන් මත රැඳීමට ඔහුට සිදුව තිබේ. මස්කෙළියට ගොස් ආපසු ඒමට රුපියල් 1500 ක් පමණ ගෙවිය යුතු වන්නේ වතු පාරවල්වල පොදු ප්‍රවාහන සේවාවන් නැති නිසා ය.

ප්‍රජාවේ වැඩිහිටියන් පවසන්නේ ගත වූ වසර 2 තුළ වතුකරයේ මලයහා තරුණයන්ගේ දෙමාපියන් දවස තිස්සේ ලේ උරා බොන කූඩැල්ලන් සහ දෙබර බඹරුන් සමග සටන් වැද සිටියදී රැකියා සොයා වතුවලින් ගිය බවයි. නමුත් ඔවුන්ට ද දුෂ්කරතාවලින් පළා යාමට හැකි වී නැත.

අස්ථිර විදේශ රැකියා

බස්නාහිර පළාතේ විශාල නගර හා අගනුවර වෙත ඇතැමුන් සංක්‍රමණය වන අතර, තවත් අය බටහිර ආසියානු රටවල ගෘහ සේවකයන් සහ ඉදිකිරීම් සේවකයන් ලෙස රැකියා සොයාගත්හ. වයඹ පළාතේ කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ මඩකලපුව මෙන්ම ශ්‍රී ලංකාවේ වතුකරය ද ඉහළ සංක්‍රමණික දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙන්නේ ලාභදායී ශ්‍රමය පිටරටට නොකඩවා සපයන්නන් බවට පත් වෙමිනි. 2018 වසරේ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වු ලක්ෂ 2 කට අධික කම්කරුවන් අතරින් හරි අඩකටත් වඩා නුපුහුණු ශ්‍රමිකයන් සහ ගෘහ සේවිකාවන් බව නිල දත්ත පෙන්වා දෙයි. නමුත් වෛරස් ප්‍රහාරය විසින් ඔවුන්ගේ ජීවිත සහ රැකියාවන් මව් රටේදී පැවතියාටත් වඩා අඩමාන-අස්ථිර තත්වයකට ඇද දමා තිබේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙණියට අනුව බටහිර ආසියාතික රටවලදී ශ්‍රී ලාංකිකයන් 47 ක් තරම් දෙනෙක් COVID-19 හේතුවෙන් මරණයට පත් තිබේ. මෙය, ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ද අධික ය. එම සංක්‍රමණික කම්කරුවන්ගේ අවමංගල කටයුතු ඔවුන් අවසානයට සේවය කළ ස්ථානවලදී සිදුකරනු ලැබුවේ සැතපුම් දහස් ගණනක් ඈත සිට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල අය වැළපෙමින් සිටියදී ය.

බටහිර ආසියාතික රටවල කළ රැකියා අහිමි වූ 40,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා ඒමට උත්සාහ කරමින් සිටිති. වෛරස් වාහකයන් බවට පත් වීමේ අවදානමේ සිටි ඔවුන් විශේෂ ගුවන්යානා මගින් ලංකාවට ගෙනැවිත්, එසේ පැමිණෙන විට පොසිටිව් තත්වයේ පසුවීම මත ශ්‍රී ලංකා ආණ්ඩුව ඔවුන්ව ආපසු ගෙන්වාගැනීම සිදු කරන්නේ අදියර කිහිපයකට ය. ආහාර සඳහා ඉතිරි කරගෙන තිබූ මුදල් ක්ෂය වී යද්දී, අනාරක්ෂිත නවාතැන්පොළවල සිට, ආසාදනයන් පිළිබඳ නිරන්තර බියෙන් යුතුව පසුව අනෙක් අයට තමන් ශ්‍රී ලංකාවට පැමිණන දිනය සම්බන්ධයෙන් පැහැදිලිකමක් නැත.

‘‘මගෙ ඥාති දුවල දෙන්නෙක් පිටරට වැඩ කරනවා. ඒ අය එන්නෙ කවද්ද කියල අපි තවම දන්නෙ නෑ. අපි ගොඩක් දුක් වෙනවා..‘‘ යැයි භාග්‍යලක්ෂ්මී පවසයි. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල් අතර කාංසාව පැතිර ගොස් තිබේ.

වසර 10 ක් තිස්සේ සෝමසුන්දරම් මල්ලිකා සිය දරුවන් දෙදෙනාට අමතරව අක්කාගේ දරුවන් තිදෙනෙක් ද හදා වඩා ගනිමින් සිටින්නේ අසල්වැසි ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ය. ‘‘අක්කගෙ මහත්තයා මැරුණට පස්සෙ මගෙ අක්කා තමයි ඒ පවුලෙ එකම හම්බ කරන කෙනා. රටෙන් පිට වෙනවා හැර අක්කට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. හොඳ වෙලාවට එයාට තවම ජොබ් එක තිනෙවා. නමුත් මේ වෛරසයත් එක්ක අපි දන්නෙ නෑ අපිට කවදද එයාව ආපහු දකින්න පුළුවන් වෙන්නෙ කියලා..‘‘ යැයි මල්ලිකා පවසයි.

ඇගේ දියණිය වන සෝමසුන්දරම් යෝගම් සෞදියේ ගෘහ සේවිකාවක් බවට පත්වන්නට පෙර රැකියා ගණනාවක් කළාය. ‘ද හින්දු‘ සමග දුරකථනයෙන් කතා කරමින් ඇය පැවසුවේ, ‘‘කොවිඩ් අවදානම නිසා මම කොහෙවත් යන්නෙ නෑ. මං වගේ ගෘහ සේවිකාවො දහස් ගාණකට රැකියා නැති වෙලාකියල මට අහන්න ලැබණා. මම හරිම වාසනාවන්තයි.‘‘

සුරක්ෂිත රැකියාවක් සහ සරිලන වැටුපක් තිබුණද බොහෝ ශ්‍රමිකයන් පවසන්නේ සිය පවුල්වලින් ඈත් ව සිටීම ඉතා අසීරු බවයි. යෝගම් මෙන් නොව බොහෝ අයට සිය දරුවන්ව බලා ගැනීම සඳහා විශ්වාසනීය ඥාතීන් නැත. ‘‘මට ඒගොල්ලන්ව ගොඩක් මතක් වෙනවා. ඒත් වැඩ කරන්න වෙලා තියෙද්දි වෙන මොකද කරන්නෙ?“ ඇය පවසයි.

වසංගතයෙන් පසුව රැකියාවලින් පළවා හරින ලද සිය ගණනක් වූ ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවන් සමග සසඳන විට යෝගම් ගේ තත්වය යහපත් ය. ඔවුන් අතරින් 200 දෙනෙක් පමණ පසුගිය සතියේ නැවත ලංකාවට පැමිණි නමුත්, ගෝලීය ඇඟලුම් කර්මාන්තයේ සාමූහික කේවල්කිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතිකව කටයුතු කරන Asia Floor Wage Alliance හි ශ්‍රී ලංකා සම්බන්ධීකාරක අබිරාමි සිවලෝගනාදන්ට අනුව තවත් 500 ක් දෙනා එහි සිරව සිටිති. ‘‘ඔවුන් වැඩ කළ කම්හල් මුලින්ම ඔවුන්ගේ කෑමබීම අඩු කළා. තුන්වේලක් දෙන්න ඕනෙ කෑම දෙවේලක් බවට පත් කළා. ඊට පස්සෙ ඉල්ලා අස්වෙන බවට බලහත්කාරයෙන් ඔවුන්ගේ අත්සන් ලියවිලිවලට ලබා ගත්තා. එතකොට සමාජ ආරක්ෂණ අරමුදල් ගෙවන්න ඕනෙ නැහැ..‘‘ යැයි ඇය පවසයි.

මේ අතරතුර උසස් රැකියාවන් කළ පුහුණු ශ්‍රමිකයෝ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි ඉහළ අවදානම් රටවල සිට පවා තවදුරටත් පැමිණෙමින් සිටිති. ‘‘පිටරටවල සිටින සේවායෝජකයන් විතරක් නෙවෙයි අපේම ආණ්ඩුත් සංක්‍රමණික ශ්‍රමිකයන්ට වෙනස්කම් කරනවා. නුපුහුණු ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීම ඉතාම අසීරු දෙයක් බවට පත් කර තිබෙනවා‘‘ යැයි සිවලෝගනාදන් නිරීක්ෂණය කරයි.

බලාපොරොත්තු සුන් වූ පියවර

භාග්‍යලක්ෂ්මී හෝ යෝගම් වැනි ශ්‍රමිකයන් හෝ ජෝර්දානයේ සිට පැමිණිවුන් ශ්‍රී ලංකාවේ වරින් වර පුවත් ශීර්ෂපාඨ මවනු ඇත. නමුත් ජාතික ආර්ථිකයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔවුන් ව කිසිදු විටෙක සැලකිල්ලට ලක් වන්නේ නැත. අපනයනවලින් 65%ක් නිර්මිත කරන තේ හෝ රබර් හෝ ඇඟලුම් පිළිබඳ, එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමයේ ප්‍රධාන මූලාශ්‍රයක් වන සංක්‍රමණික ප්‍රේෂණයන් පිළිබඳ සාකච්ඡා පටන් ගන්නේත් ඒවා අවසාන වන්නේත් ඔවුන්ගේ ශ්‍රමය සම්බන්ධයෙනි. 2019 වසරේදී ශ්‍රී ලංකාවේ රට තුළට ගලා ආ විදේශ ප්‍රේෂණ ආදායම ඇ.ඩො. බිලියන 6.7 කි.

ආණ්ඩුව විසින්ම පිළිගෙන ඇති පරිදි සියලු ප්‍රධාන විදේශ විනිමය උපයන්නන් වන සංචාරක, අපනයන සහ ප්‍රේෂණ යන සියල්ලම බරපතළ පසුබෑම්වලට ලක්ව තිබෙන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය අර්බුදයට ඇද දමමිනි.

මහබැංකුව සහ ආණ්ඩුව හදිසි පියවර ගණනාවක් ගෙන ඇත. මාර්තු මාසයේදී බලධාරීන් විසින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කළ අතර, ඉක්මනින්ම විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කළේ විදේශ මුදල් තැන්පතු සඳහා ආරාධනා කරමිනි. ආණ්ඩුව බාහිර ප්‍රේෂණ සීමා කළේය.

මේ අතර මෑතකදී මහබැංකුව ඉන්දියාවේ රිසර්ව් බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවක් සිදු කර ගත් අතර, ගෝටාභය රාජපක්ෂ අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඩොලර් බිලියන 1.1 ක අතිරේක මුදල් හුවමාරුවක් ද ඉල්ලා සිටිය්ය. ‘සීඝ්‍ර ණය පහසුකම‘ යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ද ශ්‍රී ලංකාව මුදල් ආධාර ඉල්ලා සිටියෙය. එම ඉල්ලීම මේ වන විට තක්සේරු කරමින් පවතියි.

ඇමරිකානු ඩොලරයක් රු. 187 ක් වන අවපාතිත රුපියල සමග වේගයෙන් ක්ෂය වන විනිමය සංචිත හා මේ වසරේදී නොපැහැදිලි වෙමින් යන නැවත ගෙවීමේ ක්‍රමයත් සමග ශ්‍රී ලංකාවට සිය ඇද වැටී ඇති ආර්ථිකය නැවත නගා සිටුවීමේදී නාස්ති කිරීමට කාලයක් නැත.

නමුත් එම කාර්යය පෙනෙන තරම් පහසු නැත. කොවිඩ් නව ආසාදිතයන් ඉහළ යාමේ අවදානම පහව යන තෙක් රට නැවත සංචාරකයන් සඳහා විවෘත කිරීමට ශ්‍රී ලංකාවට නොහැක. සෙසු රටවල්, හෝ අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳපොළවල් ශ්‍රී ලංකාව විසින් විකුණන දෑ මිලට ගැනීමට සූදානම් වන තෙක් ශ්‍රී ලංකාවට අපනයනයන් ශක්තිමත් කළ නොහැක.

පැහැදිලිව පෙනෙන්නට තිබෙන පරිදි අලුතෙන් පිහිටවූ රාජපක්ෂ ආණ්ඩුව පසුවන්නේ දැවැන්ත පීඩනයක් යටතේ ය. එම පීඩනය, ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය ගෙවීමේ සේවා වාර්තාව ඒ අන්දමින්ම පවත්වාගැනීමට පමණක් නොව, අන්තර්ජාතික වෙළඳපොළ දීප්තිමත් වන තෙක් ආර්ථිකයේ පණ ගැසීම පවත්වාගෙන යාමක් ඇති කිරීම සඳහා දේශීය නිෂ්පාදන වැඩිදියුණු කිරීමට ද, දේශීය වශයෙන් ඉල්ලුම ඇති කිරීම සඳහා ද වේ.

කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තයෙන් විශාල වශයෙන් නොනැසී පවත්නා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය වසර ගණනක් තිස්සේ අවධානය ඉල්ලමින් හඬ ගාමින් සිටියි. යෙදවුම් පිරිවැය, අතරමැදියන්ගේ ලාභය සහ අස්ථායී ආදායම් පිළිබඳව පුනරාවර්තන පිළිබඳ ගොවි සහ ධීවර විරෝධතා මගින් එය පෙන්නුම් කරයි.

තවද, වඩ වඩාත් ණයගැති වෙමින් තිබෙන්නේ රට පමණක් නොවේ. රටේ ජීවත් වන පුරවැසියන්ගෙන් බහුතරය ද ණය තුළ සිරවී සිටිති. ජාතික වශයෙන් ප්‍රධාන අවධානය ජාතික ණය වෙත යොමු වී පවතිද්දී යුද්ධයේ බලපෑමට නතු වූ උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා ග්‍රාමීය කාන්තාවෝ ණය වෙමින් ජීවත් වෙති. එම ණය යනු, නිරන්තරයෙන්ම ණය දෙන ආයතනවල නියෝජිතයන් විසින් සිය දොරකඩටම ගෙනැවිත් දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය වේ.

ඇතැම් අවස්ථාවලදී 200%ද ඉක්මවා යන අසාමාන්‍ය ණය පොලී අනුපාතික ගෙවීමේදී ඔවුන් උගුල්වලට හසු වී ඇති අතර, ණය ගණනාවකට ද හසු වී සිටිති. මේ මස මුලදී යාපනයේ සුරේන්ද්‍රසන් මරියරතා මෙන් ඇතැමුන්ගේ ජීවිත ද ක්ෂුද්‍ර මූල්‍ය ණය විසින් උදුරාගෙන තිබේ. විශේෂයෙන්ම කාන්තාවන් අතර විලෝපික ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දිනෙන් දින උග්‍ර වන ගැටළුව විසින් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට පෙර ඡන්ද පොරොන්දුවක් නිර්මාණය කර තිබිණි. එනම්, ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට සහන ලබාදෙන බව ය. තවත් ජීවිත විනාශ වී යාමට පෙර ණයගැති කාන්තාවෝ මේ විසඳුම බලාපොරොත්තුවෙන් සිටිති.

රැකියා කෝ?

පැතිර පවත්නා ගෘහස්ථ ණයගැතිභාවය දුරලීම සඳහා හෝ විශාල දේශීය ඉල්ලුමක් උත්පාදනය කිිරීම සඳහා ආණ්ඩුව විසින් අත්‍යාවශ්‍යෙයන්ම රැකියා නිර්මාණය කළ යුතු බවට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ එකඟ වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කට සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන නැවත ආරම්භ කළේය. නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අසමත් වූ සහ දැඩි සේ රැකියා සොයන තවත් දහස් ගණනක් වෙති. කඳුකරයේ තරුණයන් මෙන් දැන් රැකියා අහිමි වූ අය ද, අවිනිශ්චිත අනාගතයක් සමග නැවත සිය රට බලා ආ සංක්‍රමණික කම්කරුවෝ ද දහස් ගණනක් වෙති. ඔවුන්ට වෙනස් ආකාරවල රැකියා උවමනා ය.

‘‘උදාහරණයක් විදිහට කඳුකරයේදී ඔවුන්ට අගයඑකතු කරන කර්මාන්තයන් ආරම්භ කරන්න පුළුවන්. සියලුම තේ මෙහෙ නිෂ්පාදනය කරද්දී ෆැක්ටරිවලින් වැඩි කොටස කොළඹ තියෙන්නේ ඇයි?“ වතුකම්කරුවන් බහුතරයක් බැතිමතුන් වන මස්කෙළිය දේවස්ථානයේ අයිසැක් ඩැනියෙල් ඩික්සන් පියනම ප්‍රශ්න කරයි. ඔහුගේ මීසමේ, කොළඹ රැකියාවන් අහිමි වී මෑතකදී ගම්බිම් බලා ආ තරුණයන් ගණනාවක් සිටිති. ‘‘සමහරු ඔවුන්ගේ දෙමාපියන් වගේම ඒ තේ වතුවලම කම්කරුවන් බවට පත් වෙලා. ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන් කවදාක්වත් කරයි කියා නොහිතපු රැකියාවන් කරනවා..‘‘

මේ මාසයේදී නව ආණ්ඩුව පිහිටවූ වහාම අමාත්‍ය ධුර වෙන් කරනු ලැබිණි. එහිදී දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අවධාරණය කළේය. පාලක පක්ෂයේ ජාතිකවාදී, ජනතාවාදී මැතිවරණ සැලැස්මට ගැලපෙන තල්ලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. නායකයෝ දිළිඳු බව තුරන් කිරීමට ලබාදුන් ඡන්ද පොරොන්දු ඉටු නොකරති. අගෝස්තු 5 දා එනම් මහමැතිවරණයට පෙර දා සන්ධ්‍යාවේදී හම්බන්තොට දී ජනාධිපතිවරයා ‘‘ජනතාවට පූර්ණ හිමිකම ඇති ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක්‘‘ ගොඩනංවන බවට පොරොන්දු දුන්නේය.

පොරොන්දුවක් ප්‍රතිපත්තියකට සහ වඩාත් තීරණාත්මක ලෙස ක්‍රියාවකට පරිවර්තනය කිරීමේදී වැදගත් වන්නේ දේශපාලන ශක්තිය පමණක් නොවන බව ශ්‍රී ලාංකිකයෝ හොඳින් දනිති. රාජපක්ෂ සහෝදරයන්ගේ මීළඟ ලොකුම පරීක්ෂාව තිබෙන්නේ එහි ය.

– The Hindu පුවත්පතට මීරා ශ්‍රීනිවාසන් ලියූ In Sri Lanka, a people living off borrowed money ලිපියේ පරිවර්තනය

ඡායාරූප – The Hindu

මුල් ඉංග්‍රීසි ලිපිය – In Sri Lanka, a people living off borrowed money



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි