දේශගුණික විපර්යාස හේතුවෙන් දකුණු ආසියාවේ මිලියන 800 ක් දෙනා අවදානමට ලක් වන බව අලුත්ම ලෝක බැංකු වාර්තාවක් හෙළි කරන අතර, ඉහළම අවදානම සහිත රටවල් තුන වශයෙන් එහිදී හඳුනා ගැනෙන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව ය.
වසර 2050 වන විට මෙම අවදානම ඇති වන බව ද නවතම ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.
ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් සෑම 2 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මෙම තත්වය බලපානු ඇති අතර, වැඩිම අවදානමකට පාත්‍රවනු ඇත්තේ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාවට ද එහි විශාල බලපෑමක් සිදුවනු ඇත. මෙම රටවල් තුන හඳුනාගෙන තිබෙන්නේ කලාපයේ දේශගුණික විපර්යාස හේතුවෙන් ‘රත් වූ තැන්‘ හෙවත් ‘hotspots‘ලෙස ය.
දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වර්ෂාපතන රටා වෙනස් වීම සහ උණුසුම ඉහළ යාම, කලාපයේ දළ දේශීය ආදායම් පහළ හෙළීමට ද ප්‍රබල හේතුවක් වනු ඇත.
මේ අනුව වසර 2050 වන විට බංග්ලාදේශයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය 14.4%කින් පහළ යනු ඇතැයි අපේක්ෂිත ය. පරිසරයේ කාබනික වායු ඉහළ යාම එයට බලපාන ප්‍රධාන වායුගෝලීය තත්වය වනු ඇත. මේ අතර ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9.8% ක්ද, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ක් ද දේශගුණික වෙනස්කම් හේතුවෙන් අහිමි වනු ඇත.
ඉන්දියාවේ කෘෂිකර්මාන්තයට දැවැන්ත හානියක් මෙමගින් සිදු වේ යැයි ද පැවසේ.
‘‘ඉන්දියාවේ දේශගුණික වශයෙන් ‘හොට් ස්පොට්ස්‘ වශයෙන් හඳුනා ගන්නා ස්ථානවල වසර 2050 වන විට මිලියන 600 ක ජනතාවක් ජීවත් වීමට නියමිතයි. ඔවුන්ගේ ජීවන තත්වයට මෙයින් විශාල බලපෑමක් සිදුවේවි.“ යැයි ද එම වාර්තාව සඳහන් කරයි. දේශගුණය වෙනස් වීමේ රටා අනුව ඉන්දියාවේ මධ්‍යම, උතුර සහ වයඹ පළාත් මෙයින් අවදානමට ලක් වනු ඇත.
පාකිස්ථානයේ කරච්චි වැනි නගරවල පවතින දැඩි උණුසුම එහි ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවයට කැපී පෙනෙන බලපෑමක් සිදුකරනු ඇත. එසේම දැනටමත් ආසියාවේ උණුසුම් අධිකතම ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති බටහිර ඇෆ්ගනිස්ථානය සහ ගිනිකොණදිග පාකිස්ථානය පත්වනු ඇත්තේ දැඩි අවදානම් තත්වයකට ය.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම තත්වය වළක්වා ගැනීමට නම් යුහුසුළු ව ‘පරිසරයට සංවේදී ප්‍රතිපත්ති‘ හඳුන්වා දිය යුතු බවයි.
මේ අතර නේපාලය වැනි සිසිල් රටවල් වසර 2050 වන විට ද වැඩි වෙනසක් නොමැතිව ඒ අන්දමින් ම පවතිනු ඇතැයි මෙම නවතම දේශගුණික වාර්තාව පෙන්වා දෙයි.
දකුණු ආසියාවේ සාගරබද රටවලට ද මෙම දේශගුණික විපර්යාසයේ බලපෑම දැනෙනු ඇත්තේ සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙනි. මාලදිවයින වැනි කුඩා දූපත් රාජ්‍යයන් ට මෙම අවදානම ඉතා ඉහළ වේ.
කෙසේ නමුත් වසර 2050 දී මෙම තත්වය උදාවීම වළක්වා ගැනීමට තවමත් කාලය තිබෙන බව ද පැහැදිලිව මෙම වාර්තාවෙන් දැක්වේ. එනම්, 2015 පැරිස් සම්මුතියෙන් එකඟ වූ පරිදි දකුණු ආසියාතික කලාපය හරිතාගාර වායු විමෝචනය වළක්වා ගැනීමට සහ වාර්ෂික උෂ්ණත්ව ඉහළ යාම සෙල්සියස් අංශක 2 දක්වා සීමා කර ගැනීමට සමත් වන්නේ නම් එයින් ඔබට සිතාගත නොහැකි තරම් හොඳ ප්‍රතිඵලයක් අත් වනු ඇත. මෙම නවතම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, එසේ සිදුකර ගැනීමට කලාපය සමත් වන්නේ නම්, වසර 2050 වන විට දකුණු ආසියාවේ දේශගුණික වෙනස්වීම නිසා අවදානමට ලක් වීමට නියමිත ව සිටින මිලියන 800 ක ජනගහනය, මිලියන 375 දක්වා පහළ බසිනු ඇත.
atimes.com ඇසුරෙනි.