×

ශ්‍රී ලංකාවේ විශාලම සමූහ මිනී වළ බවට මන්නාරම සුසානය පත් වේ.

මන්නාරම් සමූහ මිනී වළෙන් තවත් ඇටසැකිළි 130 ක් මතුවෙයි. දැන් ගණන 230 යි!


පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූයේ මන්නාරම සමූහ මිනී වළෙන් ඇටසැකිළි 90කට වඩා තිබෙන්නේ යැයි විශ්වාස කෙරෙන බව ය. නවතම වාර්තාවලට අනුව මෙම ඇටසැකිළි සංඛ්‍යාව 230 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. මේ අනුව රටේ දැනට හඳුනාගෙන ඇති විශාලතම සමූහ මිනී වළ බවට මන්නාරම සමූහ සුසානය පත් වේ. පහත දැක්වෙන්නේ අද (22) BBC පුවත් සේවයේ ඒ පිළිබඳ පළ වන Sri Lanka mass graves: 230 skeletons found at country’s largest site වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.

***
වයඹදිග මන්නාරම නගරයෙන් මේ වසර මුලදී හමුවූ සමූහ සුසානය, රටේ විශාලතම සමූහ මිනී වළ බවට පත් ව ඇතැයි ශ්‍රී ලාංකීය විශේෂඥයෝ පවසති.

අතීත යුධ කලාපයක් තුළ පිහිටා තිබෙන මෙයින්, පසුගිය අගෝස්තුවේ සොයාගත් ඇටසැකිළි සංඛ්‍යාව වන 90 ක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව 230ක් ඉක්මවා ගොස් ඇත.

2009 වසරේ අවසන් වූ ශ්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධ සමයේදී මිනිසුන් 20,000 කට වඩා අතුරුදන්ව ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

වසර 26 ක් හමුදාව සහ බෙදුම්වාදී දමිල ගරිල්ලන් අතර පැවති යුද්ධයෙන් අවම වශයෙන් මිනිසුන් 100,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.

මේ වසර මුලදී නව ගොඩනැගිල්ලක් සෑදීම සඳහා අත්තිවාරම් හාරමින් සිටින අවස්ථාවේදී නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල අතීතයේ පිහිටා තිබූ තොග ගබඩාවක් වූ මෙම ස්ථානයෙන් මිනිස් අවශේෂයන් හමුවීමෙන් පසුව, මෙම ස්ථානය සම්පූර්ණයෙන්ම කැණීම්වලට ලක් කරන ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී ඇත.

කෙසේ නමුත් මෙම වින්දිතයන් කවුද හෝ ඔවුන් මිය ගියේ කෙසේද යන්න තවම පැහැදිලි නැත.

‘‘අප මේ දක්වා ඇටසැකිළි 230කට වඩා කැණීම්වලින් මතුකරගෙන තිබෙනවා“ යැයි ක්ෂේත්‍රයේ කැණීම් කණ්ඩායම මෙහෙයවන කැලණිය සරසවියේ වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. ‘‘මගේ අත්දැකීමේ හැටියට මෙය තමයි මේ තාක් කාලයකට කණින ලද විශාලතම සමූහ මිනී වළ..“

මිනිස් අවශේෂයන්ට අමතරව පුරා විද්‍යාඥයන් විසින් පෝසිලේන්, සෙරමික් සහ ලෝහ භාණ්ඩ ද එසේම වින්දිතයන් විසින් පැළඳගෙන සිටි ආභරණ ද සොයාගෙන ඇති බව ඔහු පැවසීය.

‘‘ඇටකටු විසිරී ගොස් තිබෙනවා. ඒ නිසා ඒවායින් ශරීරවල උස ප්‍රමාණය යනාදිය හඳුනාගැනීමට අපහසුයි.“ යනුවෙන් ද මහාචාර්ය සෝමදේව බීබීසී පුවත්සේවය සමග පැවසීය. ‘‘ඒ වගේම සමහර අස්ථී මෙම ස්ථානයේ නැහැ.. එය ව්‍යාකූල තත්වයක්‘‘

මන්නාරම නගරයේ වැඩි වශයෙන් ජීවත් වූයේ වාර්ගික දමිල සුළුතරයයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව සහ දමිල කොටි ගරිල්ලන් අතර දශක ගණනක් පැවති යුද්ධයේදී ප්‍රදේශයේ සිය ගණන් දෙනා අතුරුදහන් වූ බව ප්‍රජා නායකයෝ පවසති.

AFP

AFP

සිවිල් යුද සමයේදී මන්නාරම නගරය ප්‍රධාන වශයෙන් හමුදා පාලනය යටතේ පැවතිය ද, ඒ වටා පිහිටි ප්‍රදේශවල සහ දිස්ත්‍රික්කයෙන් වැඩි කොටසක දමිල කොටි ගරිල්ලෝ වැඩි වශයෙන් සිටියහ. දස වසරකට පෙර දරුණු සටන් අවසානයේ හමුදාව විසින් සම්පූර්ණ දිස්ත්‍රික්කයම අල්ලා ගනු ලැබිණි.

මිනිස් අවශේෂයන් සොයාගැනීමෙන් පසුව ඒවා මන්නාරම අධිකරණ භාරයට යවා තිබේ. කැණීම් කටයුතු සම්පූර්ණ වීමෙන් පසු ඒවාට කුමක් කළ යුතුද යන්න එහිදී තීරණය වනු ඇත.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ අතීත යුධ කලාපයන්වලින් සමූහ සුසාන ගණනාවක් සොයාගනු ලැබිණි.

මන්නාරම දිස්ත්‍රික්කයේම වෙනත් ස්ථානයකින්, එනම් ප්‍රසිද්ධ හින්දු කෝවිලක් වන තිරුකේතීස්වරම් කෝවිලට යාබදව 2014 වසරේදී පුද්ගලයන් 96 දෙනෙකුගේ අවශේෂයන් සොයාගනු ලැබිණි.
නමුත් වසර හතරකට පසුව ද, එම අවශේෂයන්ගේ හිමිකරුවන් කවුද හෝ ඔවුන් ව ඝාතනය කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ කිසිදු පැහැදිලිතාවයක් නැත.

හමුදාව සහ පරාජිත දමිල කොටි සාමාජිකයන් යන දෙපිරිසම විසින් සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනය කළ බවට මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කරති.

නමුත් සිවිල් මරණ හෝ අතුරුදන්වීම්වලට සිය හමුදාවන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසමින් ආණ්ඩුව හැමවිටම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. එසේම සොල්දාදුවන් සහ මන්නාරම සමූහ සුසානයන්ගෙන් සොයාගත් සිරුරු අතර සම්බන්ධයක් ඇති බවට කෙරෙන සියලු යෝජනාවන් ද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

වසර ගණනාවක අන්තර්ජාතික පීඩනයෙන් පසු ආණ්ඩුව, අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මේ වසරේ මුල භාගයේ ‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය‘ (OMP) යනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීය. මන්නාරම සිදුකරන කැණීම්වලට වැයවන අරමුදල්වලින් කොටසක් මෙම අතුරුදන්වූවන්ගේ කාර්යාලය මගින් සපයා තිබේ.

ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න..

Sri Lanka mass graves: 230 skeletons found at country’s largest site



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි