×

ලෝකයේ පහෙන් එකක පරිසර පද්ධති විනාශයේ මාවතේ ! – පරිසර පද්ධති සහ ආර්ථිකයන් එකට ගළපන ලෝකයේ පළමු පර්යේෂණයේ හෙළිදරව්ව

ලෝකයේ රටවල්වල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන ගණන් රඳා පවතින්නේ ඒ රටවල පරිසර පද්ධති මත ය.


වනජීවීන් සහ ඔවුන් ගේ වාසස්ථාන විනාශ වීම හේතුවෙන් හේතුවෙන් ලොව රටවලින් පහෙන් එකක්, එම රටවල පරිසර පද්ධතිය බිද වැටීමේ අවදානමක සිටින බව රක්ෂණ ආයතනයක් වන Swiss Re විසින් කරන ලද විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.

ස්වභාවික “සේවාවන්” ලෙස සැලැකෙන ආහාර, පිරිසිදු ජලය, වාතය සහ ගංවතුරෙන් ආරක්ෂණය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් හානි වී ඇත.

ගෝලීය දළ දේශීය නිශ්පාදනයෙන් අඩකටත් වඩා එනම් ට්‍රිලියන 42කටත් වඩා රඳා පවතින්නේ මනාව ක්‍රියාත්මක වන ජෛව විවිධත්වය මත බව මේ වාර්තාව පෙන්වා දෙයි. එහෙත් එය බිඳී යාමට ආසන්න සීමාව ළං වෙමින් පවතියි.

Swiss Reහි පරිසර පද්ධති සහ ස්වභාවික සේවාවන් බිඳ වැටීමේ අවදානම සහිත රටවල් අතර මුල් තැන ගෙන ඇති රටවල් පහත පරිදි වේ.

ඕස්ට්‍රේලියාව
ඊශ්‍රායලය
දකුණු අප්‍රිකාව

මේ අතර ඉන්දියාව, ස්පාඤ්ඤය සහ බෙල්ජියම වැන රටවල් ද විශේෂ කොට දක්වා තිබේ. බිඳෙනසුලු පරිසර පද්ධති සහ විශාල වගා අංශ ඇති පකිස්ථානයට සහ නයිජීරියාවට ද අනතුරු අඟවා ඇත.

 පරිසර පද්ධති මත ආර්ථිකමය වශයෙන් යැපෙන රටවල්

බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටවල පීඩාවකට පත් නොවූ පරිසර පද්ධති විශාල වශයෙන් තිබුණ ද ඒ රටවල් ආර්ථික වශයෙන් මේ පරිසර පද්ධති මත දැඩිව යැපෙති. එවන් වාතාවරණයක ඒ රටවල පරිසර පද්ධති රැකබලා ගැනීමේ වැදගත්කම Swiss Re අවධාරණය කරයි.

මේ පර්‍යේෂණයේ ප්‍රධාන කතුවර ඔලිවර් ෂෙල්ස්කි පවසන පරිදි, මේ පරිසර පද්ධති සේවාවන් තවදුරටත් පිරිහුණහොත් ඒවායේ ‘භංගුර සීමාව‘ හෙවත් බිදී යන සීමාව ආසන්නයට ළඟා විය හැකි ය.

Swiss Re දර්ශකයේ විශේෂත්වය

“අප දන්නා පරිදි ලොව පුරා ජෛව විවිධත්වයේ සහ පරිසර පද්ධතීන්වල දර්ශක සන්සංදනය කර ඒවා ඒ ඒ රටවල ආර්ථිකයන් සමග යා කළ පළමු දර්ශකය මෙය යි”, යැයි Swiss Reහි ප්‍රධාන පර්‍යේෂක නිලධාරී ජෙෆ්‍රි බෝන් පවසයි.

පරිසර ආරක්ෂකයන්ට පරිසර පද්ධති අවදානම් ඇගැයීමට සහ ඒ හරහා විවිධ ව්‍යාපාර රක්ෂණයන් සඳහා මගපෙන්වීම් සැකැසීමට මේ දර්ශකය නිර්මාණය වුව ද, එය ව්‍යාපාරවලට සහ රජයන්වලට තම ආර්ථිකමය තීරණ ගැනීමේ දී ජෛවවිවිධත්වය සහ පරිසර පද්ධති සැලැකිල්ලට ගැනීමට ද උදව් වනු ඇතැයි බෝන් පවසයි.

ලෝකයේ රාජ්‍ය්‍යන්, ජෛව විවිධත්ව අහිමිවීම් වළක්වාගැනීම පිළිබඳ එකදු ඉලක්කයක් හෝ සපුරාලීමට පසුගිය වසර 10 තුළ සමත් වී නැත. එක්සත් ජාතින් ගේ සංවිධානය ඒ බව හෙළිදරව් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය. මේ අතර 2019 දී, ලොව ප්‍රධානතම විද්‍යාඥයෝ පෘථිවියේ ස්වභාවික ජීව සහායක පද්ධතීන්වල පිරිහීමක් ඇති බවටත්, මේ හේතුවෙන් මනුෂ්‍යයන් අනතුරුදායක තත්වයකට මුහුණ දී ඇති බවටත් අනතුරු ඇඟවූහ. එම විනාශය නතර කරන්නට 60කට අධික රටවල නායකයන් ප්‍රතිඥා දී තිබේ.

Swiss Re දර්ශකය ලොව විද්‍යාඥයන් හඳුනාගෙන ඇති ප්‍රධාන පරිසර පද්ධති සේවාවන් 10ක් මත සෑදී ඇත. තවදුරටත්, එය විද්‍යාත්මක දත්ත භාවිතයෙන් වර්ග කිලෝමීටරයට එකක නිශ්චය කිරීමකට මේ සේවාවන් සිතියම්ගත කරයි. මේ සේවාවන් අතර පිරිසිදු ජල සැපැයුම, වාතය, ආහාර, දැව, පරාගණය, සරු පස, ඛාදනය වැලැක්වීම, සහ වෙරළ ආරක්ෂා කිරීම ආදිය වන අතර වාසස්ථානවල පීඩාවට පත් වී නොමැතිබව ද සැලැකිල්ලට ගෙන ඇත.

බිම් ප්‍රමාණයෙන් 30%කට වඩා බිඳෙනසුලු පරිසර පද්ධති සහිත රටවල් එම පරිසර පද්ධති බිඳී යාමේ අවදානමෙහි සිටින බව සලකා ඇත. රටවල් හතෙන් එකක ප්‍රමාණයකට තම බිම් ප්‍රමාණයෙන් 30%කට වඩා පීඩාවට පත් ව නොමැති පරිසර පද්ධති ඇති බව වාර්තා වේ.

G20 රටවල් කණ්ඩායම අතර ඉදිරියෙන් ම සිටින ආර්ථිකයන් අතර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව මේ අවදානමට ලක්ව සිටින බවට වාර්තා වේ. G20 කණ්ඩායමේ සභාපතිත්වය මේ වන විට දරන්නේ දකුණු අප්‍රිකාව විසින් වීම ද විශේෂත්වයකි. චීනය 7වන ස්ථානයේ ද, එක්සත් ජනපදය 9වන ස්ථානයේ ද එක්සත් රාජධානිය 16 වන ස්ථානයේ ද් සිටින බව වාර්තා වේ.

ස්වභාව ධර්මයෙන් අපට ලැබෙන දේ පිළිගැනීමෙන් පමණක් නොව අපේ පෞද්ගලික සහ පොදු ක්‍රියා පිළිබද ද වගබලාගැනීමෙන් දේශීය මෙන් ම ගෝලීය සමාජ මීට වඩා හොදින් කටයුතු කරනු ඇතැයි එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ඇලෙක්සැන්ඩර් ෆාෆ් පවසයි.

පරිසර පද්ධති බිඳ දමන්නට පෙර එහි ආර්ථික බලපෑම සොයාබලන්න!

පරිසර පද්ධති බිඳවැටෙන්නට ප්‍රථම එහි ආර්ථික බලපෑම දැනගන්නට ලැබීම වැදගත් බව මහාචාර්‍ය ෆාෆ් පවසයි. “ප්‍රශ්නය සොයාගැනීම පිළිතුරෙන් අඩක් පමණයි; එහි අනෙක් අඩ ක්‍රියාත්මක වීමයි,” හේ පවසයි.

ජෛවවිවිධත්වය අහිමි වීමට දියුණුවන රටවල් මෙන් ම දියුණුවෙමින් පවතින රටවල් ද ලක්ව ඇති බව Swiss Re කියයි. උදාහරණයක් වශයෙන්, ජල හිඟතාවය නිපැයුම් අංශයට, දේපළට සහ සැපැයුම් දාමවලට බලපායි.

වගා හානි සහ ගංවතුරෙන් වන හානි සම්බන්ධ අවදානම් ඇගැයීමට ලක්කිරීමට මේ වාර්තාව උපයෝගි කරගත හැකි බව ඔහු තව දුරටත් කියා සිටියි.

මුල් ලිපිය – The Guardian – Fifth of countries at risk of ecosystem collapse, analysis finds



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි