×

නීති විරෝධී සංක්‍රමණිකයන් සොයා ටැන්සානියාවේ ‘ගෙන් ගෙට මෙහෙයුම්‘

‘‘එක්කෙනෙක් හරි මගඇරුණොත්, මගෙ රස්සාව ඉවරයි‘‘ ලෝකයේ නින්දිතම මෙහෙයුමකට යොදවා ඇති මේ නිලධාරීහු කියති.


ටැන්සානියානු බලධාරීන් සංක්‍රමණික භීතිකාවකින් ආතුර වී තිබේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුමක් අරඹා ඇත.

සුප්‍රසිද්ධ මහාවිල් වලින් සුසැදි කලාපය (Great Lakes region) තවදුරටත් ඔවුන්ට සැඟවී ගන්නට සෙවණ සදන්නේ නැත. එහි සීමාව ඔවුන්ගේ දැඩි සුපරික්ෂාවට ලක් වේ.

පරීක්ෂාවන් සිදුකරන්නේ ගෙයින් ගෙට ය. කිසිවෙකුට ගැළවීමක් නැත.

ස්වදේශ කටයුතු ඇමති කන්ගි ලුගෝලා ( Kangi Lugola) ආගමන නිලධාරීන්ට ලබා දී තිබෙන නියෝගය වන්නේ කගේරා සහ කිගෝමා කලාපවල ගෙයක් ගෙයක් පාසා ගොස් ඉතිහාසයේ කිසියම් දිනෙක ටැන්සානියාවට නීති විරෝධී ලෙස පැමිණි අය සිටියිදැයි පරීක්ෂා කර බලන ලෙස ය.

රුවන්ඩාව, උගන්ඩාව, බුරුන්ඩි සහ කොංගෝව යන රටවල් සමග ටැන්සානියාවේ දේශසීමාව සාදන්නේ ඉහත කී පළාත් ය.

Continental Outdoor
ටැන්සානියානු දේශසීමාව කෙන්යාව, බුරුන්ඩි, මලාවි, සැම්බියා, උගන්ඩාව සහ කොංගෝවෙන් සලකුණු වේ. | Continental Outdoor

ජූලි මාසයට දින නියම කර තිබෙන පළාත් පාලන මැතිවරණය වන විට මේ ‘සුද්ද කිරීම‘ අවසන් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

මේ මෙහෙයුමට සමගාමීව තවත් දෙයක් සිදු වේ. එනම්, නව ජාතික හැඳුනුම්පත් එම ප්‍රදේශවල වැසියන්ට නිකුත් කිරීමයි. ඒවා නිකුත් කිරීම සඳහා පදිංචිය සනාථ කරන සියලු විස්තර සැපයීමට සිදුවන නිසා සංක්‍රමණික දඩයම වඩාත් පහසු වී තිබේ.

‘‘අල්ලස් අරන් අහුවෙන්න එපා‘‘ යැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එක්තරා රැළියකදී අවධාරණය කළේ නිලධාරීන් අකුරට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නොකියා කියමිනි.

පසුගිය සතියේ ද ටොයොටා මිනි වෑන් රියක නැගී උපන් දේශයේ ජීවත් වන්නට ඉඩක් නැති නිසා පණට ආදරයෙන් පළා ආ සෝමාලියානුවන් 11 දෙනෙක් මෙම මෙහෙයුමේදී අල්ලා සිරගත කරන ලදී.

පෙනෙන්නට තිබෙන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් ටැන්සානියාවේ පළමු ප්‍රශ්නය බවට පත්කරගෙන ඇති බව ය. අප්‍රිකාවේ උසම කන්ද වන කිලිමන්ජාරෝ පිහිටා තිබෙන්නේ මෙහි ය. සුප්‍රසිද්ධ මහාවිල් තිබෙන්නේ ද මෙහි ය. මෙය අප්‍රිකාවේ සංචාරක පාරාදීසයකි. භාෂා 100කට වඩා වහරන ටැන්සානියාව බහුභාෂා විවිධත්වය වැඩිම අප්‍රිකානු රට ද වේ. නමුත් අප්‍රිකානු රටවල් 27 අතරින් වැඩිම මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන පළමු රට ටැන්සානියාවයි. ඇලි මිනිසුන් (ඇල්බනිසම් නමැති නිලීන ජාන රෝගයෙන් පෙළෙන්නන්) සොය සොයා මරා දමන රට ද ටැන්සානියාවයි.

හිම බැඳුණු කිලිමන්ජාරෝ කඳු සිරස පෙනෙන මානයේ නිදහසේ ඇවිද යන මේ අප්‍රිකානු හස්තියාට තිබෙන නිදහස, ටැන්සානියාවේ මිනිස් ජීවිතවලට නැත. Photo Wikipedia

පසුගිය සතියේ ටැන්සානියාවේ මොරොගොරෝ ඉරින්ගා අධිවේගී මාර්ගයක තිබී අත්හැර දමන ලද කන්ටේනරයක් හමුවිය. ඒ තුළ සිටියේ සංක්‍රමණිකයන් 26 දෙනෙකි. 13 දෙනෙක් පණ පිටිනි. තවත් 13 දෙනෙක් මිය ගොසිනි. රට තුළ සිටින සංක්‍රමණිකයන් කර කියා ගත හැකි දෙයක් නොමැති තැන ටැන්සානියාවෙන් පළා යාමට හෝ රට තුළම සැඟවීමට තැත් කරන්නේ එසේ ය.

කල දුටු කල වළ ඉහ ගන්නා මිනිස් ජාවාරම්කරුවන්ට ද නීතිවිරෝධී සංක්‍රමණිකයන් ටැන්සානියාවෙන් පිටමං කිරීමේ නව ව්‍යාපාරික අවස්ථාව උදා වී තිබේ.

ටැන්සානියානු බලධාරීන් මේ සංක්‍රමණික විරෝධය ගැන කියන්නේ මෙසේ ය. ‘‘ඔවුන් රටේ සමාජයීය හා ආර්ථික ස්ථාවරත්වයට බාධාවක්.. ආරක්ෂාවටත් බාධාවක්..“

ටැන්සානියාවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසර තුළ නීති විරෝධී ලෙස එරට රැඳී සිටි සංක්‍රමණිකයන් 12,600 ක් සිරගත කර තිබේ. ඔවුන්ගෙන් බහුතරය බුරුන්ඩි සහ මොසැම්බික් ජාතිකයන් ය. එයින් 6,918 දෙනෙක් නැවත ඔවුන් පැමිණි රටවල් කරාම බලෙන් පටවා යවා තිබේ. 2499 දෙනෙකු සිරගත කර නඩු දමා තිබේ. ඒ, රටේ ආගමන නීති උල්ලංඝනය කිරීමේ බරපතළ වරදට ය.

‘‘බැරි වෙලාවත් අපි ගෙයින් ගෙට සෝදිසි කරද්දී එක් කෙනෙක් හරි අතහැරුණොත් අපිට රස්සාව නැති වෙනවා..“ යැයි මේ කාර්යයට පත් කර සිටින නිලධාරීහු කියති. කිලිමන්ජාරෝ ප්‍රෙදේශයේ සිදුකළ සෝදිසි වැටලීම්වලදී 1972 වසරේ දී ටැන්සානියාවට පැමිණ, නීති විරෝධී අන්දමින් රැඳී සිටි පුද්ගලයන් ද හමුවිය. ඔවුන්ව ද වහාම අත්අඩංගුවට ගැනිණි.

ටැන්සානියාවට මනුෂ්‍ය ජීවිත එතරම් වටින්නේ නැත. විදේශිකයන් ද මනුෂ්‍යයන් බව ඔවුන් සිතන්නේ නැත. නීතිවිරෝධී ලෙස රටකට පැමිණෙන මනුෂ්‍යෙයක් වුවත් කල් යත්ම ඒ රටට වැඩදායක ‘රටවැසියෙක්‘ විය හැකි බව ඔවුන් සිතන්නේ නැත. ඇතැම්විට, නිසි සමාජ පිළිගැනීම හා නීතිමය පිළිගැනීම ලබාදෙන්නේ නම්, බෝට්ටුවකින් හෝ ඔටුවන් පිට නැගී ඒ පැමිණෙන්නේ තවත් බිල් ගේට්ස් කෙනෙක් හෝ ස්ටීව් ජොබ්ස් කෙනෙක් වීමට ද බැරි නැත. නමුත් ඒ තරම් දෙයක් සිතාගැනීමට තරම් විසල් හදවත් ඔවුන්ට නැත.

දන්නා ඉතිහාසය තුළ ටැන්සානියාවට පළමු සංක්‍රමණිකයන් පැමිණියේ යාබද ඉතියෝපියාවේ සිට ප්‍රාග් ඓතිහාසික යුගයේ ය. නව නීතිය යටතේ, ප්‍රාග් ඓතිහාසික යුගයේ පැමිණි මිනිසෙකු පවා මේ තත්වය යටතේ අල්ලා පිටුවහල් කරන්නට බැරි කමක් නැත!

පුදුම වන්නට දෙයක් නැත. ටැන්සානියාවේ තිබෙන්නේ තනි පක්ෂ ආණ්ඩු ක්‍රමයකි. ජනපති
John Magufuli ගේ ඒකාධිපති පාලනය තුළ වෙනත් කිසිදු පක්ෂයකට රටේ ඉඩ නැත. නමුත් ඒ රට ද පාලන තන්ත්‍රය අනුව, ‘‘සමාජවාදී ජනරජය‘‘කි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි