×

The Crown: Wolferton Splash හෙවත් මංගල කථාංගය

කතාව ආරම්භ වන්නේ 1947 වසරේ බකින්හැම් මාලිගයෙනි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් වසර 2කට පසුවයි.


Netflix ප්‍රදර්ශකය ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත ගෙන එන The Crown කථා මාලාව අද වන විට ලොව පුරා විශාල කථාබහක් ඇති කිරීමට සමත්ව ඇත. 2016 වසරේදී Netflix Original කථා මාලාවක් ලෙස ආරම්භ වූ මෙය, මේ වන විට උප කොටස් (Seasons) 4ක් දක්වා ප්‍රදර්ශනය වෙමින් පවති. ප්‍රදර්ශන ශිල්පී පීටර් මෝගන් විසින් රචිත සම්මානලාභී නාට්‍යයක් වන The Audience නා​ට්‍ය මත පදනම්ව, මෙම අලංකාර, Netflix Original කථාමාලාව 1940 සිට නූතන යුගය දක්වා දෙවන එලිසබෙත් රැජිනගේ ජීවිතය විස්තර කරයි. මෙම කතා මාලාව ආරම්භ වන්නේ ඇගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු 25 හැවිරිදි එලිසබෙත් රැජින බලයට පත්වීමෙනි. කථාමාලාව ඉන් ඉදිරියට ගලා යන්නේ රජ පවුල හා බැදි සිදුවීම් සමුදායක් විදහා දක්වමිනි. පීටර් මෝගන්, ඇන්ඩි හැරිස්, ස්ටීවන් ඩෝල්ඩ්‍රි යටතේ නිෂ්පාදනය වන මෙම කථා මාලාව මේ වන විට 2017 වසරේ සිටම Golden Globe, Primetime Emmy, AFI Award, ASC Award, Excellence in Production Design Award ආදී සම්මාන උළෙල රාශියක සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් බොහෝමයක් ජයග්‍රහණය කර ඇත.

මෙහි තේමා සංගීත රචකයා වන්නේ හාන්ස් සිමර් වන අතර ක්ලෙයා ෆෝයි, මැට් ස්මිත්, වැනේසා කිරිබි, අයිලීන් ඇට්කින්ස්, ජෙරමි නෝර්තම් ආදී ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රසකගේ දායකත්වයෙන් නිම වී ඇත. අතිශය ජනාදරයට ලක්ව ඇති මෙම ආන්දෝලනාත්මක කථාමාලාව අද සිට කථාංග වශයෙන් ඔබ වෙත් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

Wolferton Splash හෙවත් මංගල කථාංගය

කතාව ආරම්භ වන්නේ 1947 වසරේ බකින්හැම් මාලිගයෙනි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් වසර 2කට පසුවයි. හයවන ජෝර්ජ් රජු(ජැරඩ් හැරිස්) සිය නාන කාමරය තුළ කසිමින් සිටියි. එම කැස්සත් සමඟ රුධිරය පිට වුවද ජෝර්ජ් රජු ඒ පිළිබදව තැකීමක් නොකරන බව පෙනෙයි, මක් නිසාද යත් ඔහුට අවධානය යොමු කිරීමට වෙනත් වැදගත් කාරණාවක් ඇති බැවිනි – ඒ සිය දියණිය වන එලිසබෙත් කුමරියගේ (ක්ලෙයාර් ෆෝයි) විවාහ උත්සවයයි.

සිය රුධිර බිදු පිරිසිදු කරන ජොර්ජ් රජු උසස් ගණයේ ඇදුම් පැළදුම් වලින් සැරසී සිටින්නන්ගෙන් පිරි පහළ මාලයේ පිහිටි කාමරයක් වෙත ගමන් කරයි. ඒ වන විට, ඔහුගේ දියණියගේ ග්‍රීක-ඩෙන්මාර්ක පෙම්වතා වන පිලිප් ඔහුගේ සියලු විදේශීය පදවි නාමයන් අතහැර දමා, ඔහුගේ රාජකීය පදවිය ලබා දීමට සිය මාමණ්ඩිය එනතෙක් එම කාමරය තුළ බලා සිටී. කතා මාලාව තුළ එලිසබෙත් කුමරියව දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මෙම කාමරයෙන් පිටත අසුන් ගෙන සිටින ඇය කාමරය තුළට එබිකම් කරමින් සිටියි. උත්සවය අවසන් වූ පසු, ඇය තම පෙම්වතා සමඟ තරමක් සමීප මොහොතක් බෙදා ගනී.

පිලිප්: මම අත්සන් කළා.

එලිසබෙත්: එහෙමද? නැතහොත් පෘථිවියේ විශාලතම ත්‍යාගය දිනා ගත්තා ද?

පිලිප්: නිසැකවම ඔවුන් සිතන්නේ එයයි. මම සිතන්නේද එලෙසයි.

උණුසුම් හාදුවකින් පසු පිලිප් නික්ම යන්නේ එලිසබෙත් හට සුවබර නින්දක් ප්‍රාර්තනා කරමිනි.

මෙම ආරම්භක දර්ශන කිහිපය පූර්ව දර්ශනවලින් පිරී ඇත. හයවන ජෝර්ජ් රජු නාන කාමරය තුළ ගත කළ කාලය සහ එඩින්බරෝ හි පිලිප් ආදිපාදවරයා නම් කිරීමේදී ඔහු හා ඉතා අපහසුවෙන් කතා කළ ආකාරය දන්වන්නේ ඔහුට ඇත්තේ තවත් කෙටි කාලයක් බවයි.

ඉන්පසු කථාංගය යළි විවර වන්නේ එලිසබෙත්ගේ විවාහ දිනයේදීයි. මෙහිදී නව මුහුණු කිහිපයක්ම නිරාවරණය වීම සිදුවේ. එයින් පළමුවැන්නා වන්නේ හයවන ජෝර්ජ් රජුගේ දකුණත් මිනිසා වන පීටර් (බෙන් මයිල්ස්)ය. ඔහු විවාහකයෙකු වන එලිසබෙත්ගේ බාල සොහොයුරිය වන මාග්‍රට් (වැනේසා කිරිබි) පිළිබදව කැමැත්තක් ඔහුගේ සිතෙහි ඇතිබව පෙනෙන්නේ මාග්‍රට් සමඟ රහසේ හුවමාරු කරගන්නා බැල්මන් හේතුවෙනි. එම දර්ශනය තුළ එලිසබෙත්, මව් රැජිණිය (අයිලීන් ඇට්කින්ස්) හා මේරි රැජිණිය (වික්ටෝරියා හැමිල්ටන්) සිටියි. මෙහි මේරි රැජිණ පිලිප්ගේ පවුල පහත් කොට සලකන අයෙකු බව දක්නට ලැබේ. ඉන්පසුව වින්ස්ටන් චර්චිල් (ජෝන් ලිත්ගෝ) දර්ශනයට එක්වෙයි. චර්චිල් සිය රථයෙන් ඉවතට පැමිණීමටත් පෙරසිටම ජනතාව උද්‍යෝගයෙන් ඔල්වරසන් දීම ඔහු දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලබාගත් ජනාදරය පෙන්නුම් කරවයි.

ඉන්පසුව දේවස්ථානයට ඇතුළු වන්නේ 6 වන ජෝර්ජ් රජු හා සුන්දර මනාලියක් ලෙස සැරසුණි එලිසබෙත් කුමරියයි. ජෝර්ජ් රජු ගීතිකා මධ්‍යයේ එලිසබෙත් කුමරියව අල්තාරය වෙත කැඳවාගෙන යයි.

මෙම කථාංගය තුළින් එලිසබෙත් පිලිප්ට ලබාදෙන විවාහ පොරොන්දු ඔස්සේ ඔවුන්ගේ අනාගත විවාහ ජීවිතයේ ඇති ආතතිය පෙන්නුම් කරයි. විවාහ මංගල්යයේදී ඇය පිලිප්ට ආදරණීය කීකරු බිරිදක් වීමට පොරොන්දු වෙයි. එහිදී පිළිබිබු වන තවත් දෙයක් වන්නේ වින්ස්ටන්ට් චර්චිල් විසින් එලිසබෙත් විසින් පිලිප්ට කීකරු බිරිඳක් වීමට තෝරාගත් බව පැවසීමයි. ඇය එම වගන්තිය ඉවත් කිරීමට අවස්ථාව තිබුණි; ඒ ඇය කවදා හෝ රැජිනක් වන නිසාවෙනි; නමුත් එය එම වගන්තියට යටත් වීමට තීරණය කර තිබුණි.

 

සිත් ඇදගන්නාසුළු ලෙස මෙහෙයවන ලද විවාහයෙන් පසුව, පවුලේ අය පින්තූර සඳහා එක්රැස් වෙයි. මෙහිදී මව් රැජිණිය හා මේරි රැජිණිය අතර කතාබහක් ගොඩනැගෙන අතර මේරි රැජිණිය විසින් පිලිප්ගේ ජර්මන් ජාතික පවුල පිළිබදව පහත් කොට කතා කරයි. එහිදී ඇය කන්‍යා සොයුරියක් ලෙස හැඳ මංගල උත්සවයට සහභාගී වී සිටි පිලිප්ගේ මවවද උපහාසයට ලක් කරයි. ඉන්පසු හයවන ජෝර්ජ් කුමරු තම දියණියට සිය මංගල තෑග්ග ලබාදෙයි; ඒ වීඩියෝ කැමරාවක් ය. “ඔබේ ජීවිතයේ රසමුසු තැන් ඔබට මගහැරෙනවාට මම කැමති නැහැ,” ඔහු පවසයි.

The Crown හී මංගල දර්ශනයේ පළමු කොටස අවසන් වන්නේ රාජකීය පවුල ඔවුන්ගේ යටත් වැසියන්ට බකිංහැම් මාලිගයේ බැල්කනියේ සිට සුබ පතන දර්ශනයකිනි, එහිදී රට වැසියන් ඉල්ලා සිටින්නේද සිය රජතුමාවයි. මෙහිදීද ජෝර්ජ් රජුගේ අසනීප තත්වය පිළිබදව පෙන්නුම් කෙරෙන අතර නමුත් ඔහු ඒ පිළිබදව එතරම් තැකීමක් නොකරයි.

එතැන් සිට, ප්‍රදර්ශනය වසර කිහිපයක් වේගයෙන් ඉදිරියට යන අතර එය නැවත විවර වන්නේ පිලිප් සහ එලිසබෙත් යුවල චාල්ස් කුමරු සහ ඈන් කුමරියගේ දෙමාපියන් ලෙස ය. පවුලේ සැම සිටින්නේ නාවික හමුදාව තුළ පිලිප් ලබා ඇති මවුන්ට්බැල්න් හී ලුතිනන් කමාන්ඩර්වරයා ලෙස ලද උසස්වීම සමරමිනි. මෙහිදී පිලිප් කුමරුට පදක්කම පැළදවීමට එලිසබෙත් කුමරිය විසින් තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ පුත් චාල්ස් කුමරු හා දියණිය වන ඈන් කුමරියයි. නමුත් ඔවුන්ව හදිසියේම ලන්ඩනයට කැඳවනු ලැබේ, ඒ ජෝර්ජ් රජුගේ පෙණහැල්ලක් ඉවත් කිරීමේ සැත්කමක් කිරීමට සිදුව ඇති හෙයිනි. ඔහු හොඳින් සිටින බව වෛද්‍යවරු පැවසුවද, එය එසේ නොවන බව පෙනී යයි.

මේ අතර 1951 දී නැවත අගමැති ධුරයට පත්වූ වින්ස්ටන් චර්චිල් ඇතුළු කිහිප දෙනෙකු විසින් ජෝර්ජ් රජුගේ දුර්වල සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුවත් වේ. රජුගේ සෞඛ්‍යය ගැන කුතුහලයෙන් සිටින චර්චිල් ඔහුව බැහැදකින්නට යන අතර ජෝර්ජ් රජු චර්චිල්ව මුණගැසීමට යන්නේ සිය දුර්වල ස්වරූපය වසා ගැනීමට මේකප් පැළදගෙනය. හමුවීම අතරතුර ජෝර්ජ් රජු විසින් චර්චිල්ට දැනුම් දෙන්නේ මෙවර එලිසබෙත් සහ පිලිප් පොදුරාජ්‍ය මණ්ඩලීය සංචාරයට යැවීමට තමා තීරණය කර ඇති බවයි.

ඉතිහාසයට අනුව දෙවන එලිසබෙත් රැජින පළමුවර සිංහාසනයට පත්වන විට ඇය හා චර්චිල් අතර සමීප සබඳතාවක් පැවති බව ප්‍රකටය, ඒ කරුණ මෙම මංගල කථාංගයේ සිටම ප්‍රදර්ශනය වේ. කථාංගය පුරාම චර්චිල් එලිසබෙත්ව ආමන්ත්‍රණය කරන්නේ “ඇය” ලෙසයි. චර්චිල්ගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන නිසා ඔහුගේ නව තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුගේ බිරිඳ ඔහුගෙන් ඉල්ලා සිටියි. නමුත් චර්චිල් එය ප්‍රතික්ෂේප කරන්නේ “ඇයට” ඔහුට අවශ්‍ය නිසාය.

කථාව ඉදිරියට ගලායාමේදී ජෝර්ජ් රජුගේ වෛද්‍යවරයා ඔහු හමුවේ පවසා සිටින්නේ රජුගේ පෙනහැල්ල ඉවත් කළ පසු සොයාගත් මාරාන්තික තත්වයක් පිළිබදවයි. එහිදී ඔහු පවසා සිටින්නේ රජුට ඉතිරිව ඇත්තේ තව අවුරුදු කිහිපයක් පමණක් බවයි. විශේෂ නිවාඩු දින ළඟා වෙමින් පවතින හෙයින්, මෙම පුවත තම පවුලේ අයගෙන් සඟවා තබා ගැනීමට රජු තීරණය කරයි. කෙසේ වෙතත්, මෙය ඔහුට විශාල බලපෑමක් සිදු කරන බව පැහැදිලිය. ඔහුගේ සිතෙහි ඇති ආතතිය පෙන්වන අවස්ථාවක් ලෙස නත්තල් සමයේදී කැරොල් ගායකයින් තමා හා තම පවුලේ පිරිස වෙත පැමිණ “ඉන් ද බ්ලීක් මිඩ්වින්ටර්” ගීතය ගායනය කිරීමේදී ඔහු කදුළු සැලීමට පටන් ගනියි.

ඉන්පසුව ජෝර්ජ් රජුට එලිසබෙත් හා පිලිප් දෙපළ පොදුරාජ්‍ය මණ්ඩලීය සංචාරයට සහභාගී විය යුතු බව එලිසබෙත් කුමරියට පැවසීමට කාලය එළබෙයි. එලිසබෙත් එය පිළිගන්නා නමුත් පිලිප් ඒ ගැන වැඩි කැමත්තක් නොදක්වයි, ඒ සිය දරුවන් දෙදෙනා මාස ගණනකට එංගලන්තයේ තනිකර දමායාමට සිදුවන හෙයිනි. “මගේ කාර්ය නාවික නිලධාරියෙකු ලෙස සේවය කිරීම මිස ඔබ රිබන් කපන අතරතුර වානරයකු මෙන් සිනාසීම නොවෙයි” ඔහු එලිසබෙත් කුමරියට කියා සිටියි. ඔහු දැනටමත් මෙම විවාහයේ අවශ්‍යතාවයන් ගැන අමනාප වීමට පටන් ගෙන ඇති බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, පිලිප් අවසානයේ එය පිළිගනී. රාජාණ්ඩුව නිසා ඔහුට ඔහුගේ අභිමානය පසෙකට දැමිය යුතු අවසාන අවස්ථාව මෙය නොවේ.

මිය යමින් සිටියද, ජෝර්ජ්ගේ තම කාලය සතුටින් ගත කරන බව පෙන්නුම් කරයි. කථාංගය අවසානයේදී, ඔහු වෙඩි තැබීමට චාරිකාවක් යාමට අලුයම් කාලයේදී පිලිප්ව අවදි කරයි. එහිදී පිලිප් නිරුවතින් ඇඳෙන් පනින දසුන හේතුවෙන් ජෝර්ජ් ඉමහත් විනෝදයක් ලබාගනියි. ඔවුන් දෙදෙනා චාරිකාව ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ජෝර්ජ් පිලිප්ට තම රාජකාරිය සිහිපත් කරයි, “ඇය තමයි රැකියාව. ඇය ඔබේ රාජකාරියේ හරයයි, ඔබ ඇයව ආරක්ෂා කළයුතුයි. ඇයට ආදරය ලබාදිය යුතුයි. ඔබට ඔබේ වෘත්තිය මග හැරෙනු ඇත, නමුත් මෙය ඇයට සහ මට වඩා විශාල දේශප්‍රේමී ක්‍රියාවක් හෝ ප්‍රේමයක් වනු ඇත.” ජෝර්ජ් රජු කියා සිටියි.

පිලිප් පවසන්නේ තමාට එය තේරෙන බවයි, පසුව ඔවුන්ගේ බෝට්ටු වෙඩිතැබීම සඳහා අඳුරු විලක පාවී යයි. මෙම අවස්ථාවේදීද ජෝර්ජ් රජුගේ අයහපත් සෞඛ්‍ය තත්වය පෙන්වයි. වෙඩි තැබීමේ ශබ්දයත් සමඟ එම දර්ශනය අවසන් වන අතර ඉන්පසු විවර වන්නේ එලිසබෙත් ජෝර්ජ්ගේ කාර්යාල මේසයේ හිදගෙන සිටින දසුනකිනි. ඇය ඔහුගේ මේසය මත හිඳගෙන, ඔහුගේ දෛනික රාජකාරීන් සදහන් පෙට්ටිය පරීක්ෂා කරයි, එහි “The King – රජු” ලෙස කැටයම් කර ඇත. එය නුදුරේදීම වෙනස් වන බව ප්‍රේක්ෂකයා දන්නා කරුණකි.

Hyde Park Corner හෙවත් දෙවන කථංග​ය නුදුරේදීම බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි