×

‘ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා’ – බොරිස් ජොන්සන්

'ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා'ට හොඳම නූතන උදාහරණය එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ය.


ඉල්ලා අස්වන්නට දහසක් හේතු තිබුණත්, ඔහු කිසි ලෙසකින්වත් ඉල්ලා අස් නොවෙයි. තමන්ගේම පක්ෂයේ අය, ඉතිරි සායමවත් රැකගෙන ඉල්ලා අස්වෙන ලෙස බල කරද්දීත්, බොරිස් ජොන්සන් අහවල් වාර්තාව ලැබෙන තෙක් ඉන්නැයි කියයි. ඒ වාර්තාව ලැබුණු පසු ඊළඟ වාර්තාවත් ලැබෙන තෙක් ඉන්න යැයි කියයි.

මෙය තක්කඩි කම නොවේ නම් ‌වෙන කුමක්ද?

කෝවිඩ් වසංගතයෙන් එක්සත් රාජධානියේ දහස් ගණනක් මිය යන විට, එවැනි වසංගතයක් ගැන මතක ඇති ඉතිහාසයේ අත්දැකීම්‌ නොතිබුණු ලන්ඩන් නුවරුන් පණ බයෙන් ලොක්ඩවුන් සමයක් ගත කරන විට වරක් නොව කිහිප වරක්ම බොරිස් ජොන්සන්, අංක 10, ඩවුනින් වීදිය ලිපිනයේ නොහොත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ බෝතල් පාටි දැමූ බවට මහා ආන්දෝලනයක් නැගිණි. ලංකාව වැනි රටවල්වල නැතත්, දේශපාලකයෙකු සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් නැගුණු විට එංගලන්තය වැනි රටවල එයට වගවීම සොයන යාන්ත්‍රණ තිබේ. මේ වන විට බොරිස් ජොන්සන්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය දැඩි විමර්ශන අරඹා තිබේ.

පහත දැක්වෙන්නේ බොරිස් ජොන්සන්ට එරෙහිව නැගුණු අලුත්ම ආන්දෝලනාත්මක නාටකයේ තීරණාත්මක කඩඉම් කිහිපයකි.

බොරිස් ජොන්සන් “bring your own booze” පාටිය දැමුවේ මුළු රටම කෝවිඩ් භීතියෙන් ඇළලී තිබියදී 2020 මැයි 20 වැනිදාය. එදා තමන් සාදයට ගියේ, එය ‘වර්කිං ඉවෙන්ට් එකක්’ හෙවත් රාජකාරි වැඩක් බව විශ්වාස කරමින් බව ජොන්සන්, පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ඇවිළුණු විට කීවේය. නමුත් ඔහු “bring your own booze” හෙවත් ‘තමන් බොන මත්පැන් බෝතලය අරන් එන්න’ යැයි කියා තිබෙන්නේ වැඩ කරන අතරේ හීනියට පදම් වීම ඔහුගේ සාමාන්‍ය ගතිය නිසා ද?

ඉන්පසු ඒ වසරේම ජූනි 19 වැනිදාට යෙදී තිබූ 56 වැනි උපන් දිනය දා ද ඔහු අගමැති කාර්යාලයේ මත්පැන් පාටියක් දැමුවේය.

හරි නම් බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණේ මැයි 20 සාදය ගැන හෙළිදරව් වූ වහාම ය. ජොන්සන්ගේ ළඟම ආධාරකරුවා වී සිටි ඩොමිනික් කමින්ස් ගෙදර ගිය විටත් ඔහු තවදුරටත් කමින්ස් ව රකිමින් ටිපිකල් දේශපාලකයෙකුගේ රංගනයේ යෙදුණේය. නොවැම්බර් 19 වැනිදා කමින්ස් ගෙදර යනදා ද බොරිස් ජොන්සන්, සිය මහල් නිවාසයේ කිහිප දෙනෙක් සඳහා සාදයක් දැමූ බවට තහවුරු නොකළ සාක්ෂි තිබේ. එදින සාදයේදී සුප්‍රකට ඇබා සංගීත කණ්ඩායමේ The Winner Takes It All ගීතය ද වැයුණු බවට සාක්ෂි තිබේ.

නරකම දෙය, ඔහු මිලියන ගණන් දෙනා භීතියෙන් යුතුව සිය නිවෙස්වල ලොක්ඩවුන් වී සිටියදී බොරිස්, මේ ‘පාටිගේට්’ සිද්ධි ගැන ජනතාව බොරු කිව්වේය. පාර්ලිමේන්තුවට බොරු කිව්වේය. සිය පක්ෂයේ අයට ද බොරු කිව්වේය. ඇමරිකාවේ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට තුඩු දුන් ‘වෝටර්‌ගේට් වෝටර්ගේට්’ සිද්ධිය සිහිපත් කරමින් මේ වන විටත් අගමැති කාර්යාලයේ සාද දැමීමේ සිද්ධියට බ්‍රිතාන්‍යයන් කියන්නේ ‘පාටිගේට් සිද්ධිය’ කියා ය.

2021 දෙසැම්බර් බොරිස් ජොන්සන් ඩවුනින් වීදියේ සාදයක් නොපැවැත්වුණු බව කීවේය.

‘මම නැවත නැවතත් සහතික වෙනවා, පාටියක් නොතිබුණු බවට.

(සභා ගැබේ මහා ඝෝෂාවකි)

”… ඒ වගේම කිසිම කෝවිඩ් රෙගුලාසියක් කඩ නොකළ බව. ඒක තමයි මම නැවත නැවතත් කියන්නෙ.”

(සභා ගැබේ කෑ ගැසීම් ය)

අනතුරුව ඔහු මෙසේ කීවේය.

‘මම ඔෆිස් යන ගමන් සාදයට ගියෙ විනාඩි 25 කට විතරයි. මම විශ්වාස කළා මේක ‘වර්ක් ඉවෙන්ට්’ එකක් කියලා..!”

ශ්‍රීමත් කෙයර් ස්ටාමර් විපක්ෂ නායකයා බොරිස් ජොන්සන් ව බිත්තියට හේත්තු කර ප්‍රශ්න අසා මෙසේ කීවේය.

”අගමැති තුමනි, සාදය හමාරයි!” ”The party is over, Prime Minister!”

(බොරිස් ජොන්සන් බිම බලා ගනියි)

”මහජනතාව අහන එකම දෙය, ඉල්ලා අස් වෙන එක විනීත කමක් නෙවෙයි ද කියලයි!”

(සභා ගැබේ මහා ඝෝෂාවකි)

”The party is over, Prime Minister!” – ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර්

ස්කොටිෂ් නැෂනල් පක්ෂයේ නායක ඉයන් බ්ලැක්ෆෝඩ්, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක එඩ් ඩේවි වැනි පාර්ලිමේන්තුවේ ප්‍රබල සාමාජිකයන් රැසක්ම ඔහුගෙන් ඇසුවේ එම ප්‍රශ්නයම ය. ”සාදය හමාර බව පිළිගෙන ඉල්ලා අස්වෙන එක විනීත කමක් නෙවෙයිද?””

නමුත්‌ බොරිස් ජොන්සන් දන්නා විනීත කමක් නැත. ලැජ්ජාවක් ද නැත. අනතුරුව ඔහුගේම කන්සවේටිව් පක්ෂයෙන් විශ්වාසභංගයක් ද යෝජනා විය. එය සිදුකිරීමට නම් ටෝරි සාමාජිකයන්ගෙන් අවම වශයෙන් 15%ක්වත් විශ්වාස භංගය ඉල්ලා සිටිය යුතුය. සාමාජිකයෝ 360 ක් පාර්ලිමේන්තුවේ වෙති. එයින් 15%ක් යනු 54 දෙනෙකි.

එසේ පක්ෂය විසින් නෙරපා හැරි ජනතා නාකයන් පිළිබඳ ඉතිහාසයක් ද එක්සත් රාජධානි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත. 1990 වසරේ ලෝකයේ යකඩ ගැහැණිය යැයි විරුදාවලි ලබා සිටි මාග්‍රට් තැචර් ගෙදර ගියේත්, 2018 වසරේදී තෙරේසා මේ ගෙදර ගියේත් මේ පසුබිම තුළ ය. නමුත් බොරිස් ජොන්සන්, මෙයින්වත් ගෙදර යැවිය හැකි යැයි ඔබ සිතනවාද? කොහෙත්ම නැත! මේ වන විට ලේබර් හෙවත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය බොරිස් ජොන්සන්ට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. මෙතරම් දැඩි පීඩනයක් එල්ල වී තිබියදීත් බොරිස් ජොන්සන් ගෙදර නොයයි.

ඔහු නිතරම කියන්නේ ”ඔප්පු වෙයිද බලමුකො’ වැනි වැල් වටාරම්’ ය. ඔහු දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තක්කඩි සෙල්ලමක යෙදී සිටියි.

වසංගතය විසින් මේ ලෝකයේ ඇතැම් දේශපාලකයන්ගේ රැකියා අවසන් කර තිබේ. ධුර කාලයට කලින් ඔවුන් ව ගෙදර යවා තිබේ. නමුත් මේ තරම් තක්කඩි වැඩක නිරත වී සිටින බොරිස් ජොන්සන්, තවමත් බ්‍රිතාන්‍යයේ අගමැති ය. ඔහු ඉල්ලා අස් නොවුණහොත් එය, නීතිය මත පාලනය ගැන ලෝකයේ හොඳම සාකච්ඡාව පවතින බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරකි. තක්කඩි කම තරම්, නූතන ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තවත් මරු පහරක් නැත.

මේ වන විට මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සිදුකරන විමර්ශනයට බොරිස් ජොන්සන් සාද දැමූ හැටි දැක්වෙන ඡායාරූප 300 ක් ලැබී තිබේ. මේ අතර ඩව්නින් වීදියේ සාද ගැන ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය විසින් පිටු 500 ක පමණ ලේඛන ලබාගෙන තිබේ.

බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් බොරිස් ජොන්සන් නොහොත් ‘බෝජෝ’ට සාදය හමාර බව නැවත නැවතත් මතක් කරමින් සිටියි. නමුත් ඔහු ගෙදර නොයයි. සිය පක්ෂය වෙනුවෙන්වත් ගෙදර නොයයි. ඔහුට ලැජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් නැත. ඒ අතින්, ලැජ්ජා නහර කපා දැමූ බොරිස් ජොන්සන් ඉපදෙන්නට තිබුණේ එංගලන්තයේ නොවේ, ලංකාවේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි