×

නිර්භයා මරා දමා වසර 6 ක් සපිරෙන දා දිල්ලියේ තුන් හැවිරිදි දැරියක් දූෂණය කරයි – මේ ඉන්දියාවයි!

ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී ගමන් කරන බස් රියක් තුළදී ‘නිර්භයා‘ යැයි පසුව අන්වර්ථ නම් ලද වෛද්‍ය සිසුවියක සමූහ දූෂණය කර මරා දැමීමේ 6 වන සංවත්සරය පසුගිය ඉරිදාට යෙදී තිබියදී, ඉන්දියාවෙන් එදිනම අසන්නට ලැබෙන්නේ වයස අවුරුදු 3 ක දැරියක් බරපතළ ලිංගික හිංසනයට ලක් කර දූෂණය කර ඇති බව ය.


දරුවා දූෂණය කළ බවට චෝදනා ලබා සිටින්නේ ඇය ජීවත් වන තට්ටු නිවාසයේ ආරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි පුද්ගලයෙකි. දැරියට රස කැවිලි ආදිය දී ඇයව ඔහු විසින් උපක්‍රමශීලීව නිවසින් පිටතට ගෙන ගොස් ඇත.

දැරිය සොයාගන්නා විට ඇය සිහි විසඥ වී සිටියාය. මේ වන විට ඇය රෝහල්ගත කර සැත්කමකට ලක් කර තිබේ. ඇය ජීවත් වේවිද යන්න පවා සැක සහිත බව ඇතැම් වාර්තාවක දැක්වේ.

දැරියගේ දෙමාපියන් මේ සිද්ධිය වන විට සුපුරුදු පරිදි එදිනෙදා ජීවිකාව සොයාගැනීම සඳහා කම්කරු රැකියා සඳහා ගොස් තිබිණි.

ස්වාති මලිවාල් (Swati Maliwal) හෙවත් දිල්ලියේ කාන්තා කොමිසම පවසන්නේ නිර්භයාගේ සිද්ධියට අති මහත් ප්‍රචාරයක් සහ අවධානයක් ලැබුණු නමුත්, මේ සිඟිත්තිය ලක්වූ අපරාධය සම්බන්ධයෙන් ඉන්දියානු සමාජය එතරම් සංවේදී බවක් නොපෙන්වූවා කියා ය.

ඔවුන්ගේ ට්විටර් සටහන මේ සමග පළ වේ.

සිද්ධිය හෙළිදරව් වූ විට ප්‍රදේශවාසීන් එකතු වී චූදිතයාට පහර දී ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ ‘ලිංගික වරදවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ පනත‘‘ (Protection of Children from Sexual Offences (POSCO) Act)යි. එහිදී චූදිතයා වරදකරු වුවහොත් මරණ දණ්ඩනය නියම කළ හැක.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය ශීර්ෂපාඨ පිරී ගියේ ඉන්දු කාශ්මීරයේ 8 හැවිරිදි දැරියක් බිහිසුණු ලෙස දූෂණය කර මරා දැමීම හේතුවෙනි. ජූනි මාසයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් සත් හැවිරිදි දැරියක් දූෂණය කළ බව වාර්තා විය. මේ අතර ජනවාරි මාසයේ වාර්තා වුයේ ඉන්දියාවේ මාස 8 ක් වයසැති බිළිඳියක් ඇගේ 28 හැවිරිදි ඥාති සහෝදරයා විසින් දූෂණය කළ බව ය. India outcry after eight-month-old baby raped

මේ අතර දිගින් දිගටම ඥාතියෙකු විසින් දූෂණය කරන ලද 10 හැවිරිදි දැරියක්, ගැබ්ගෙන ඇති බව චන්දිගාර් නගරයේ පසුගිය වසරේ අගෝස්තු මස වාර්තා විය.
India media storm over 10-year-old pregnant rape victim

පුරාතනයේ මාතෘ දෙවඟන පිදූ, ස්ත්‍රීත්වය දේවතාවියන් බවට නංවා පුද පූජා පවත්වන ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ මෙතරම් බහුල වන්නේ මන්ද යන්න අදටද තේරුම් ගත නොහැකි සමාජ ප්‍රපංචයක් බවට පත්ව තිබේ.

පහත දැක්වෙන්නේ වත්මන් ඉන්දියාවේ දැරියන්ගේ සහ ස්ත්‍රීන්ගේ අද තත්වය පිළිබඳ දුක්බර යථාර්ථයයි.

මේ ඉන්දියාවයි! ඉන්දියාවේදී, 

අවුරුදු 16ට අඩු දැරියක් සෑම විනාඩි 155කටම වරක් බැගින් දූෂණය වෙයි.

අවුරුදු 10ට අඩු දැරියක් සෑම පැය 13කටම වරක් බැගින් දූෂණය වෙයි.

  • 2012 – දරුවන් දූෂණය කිරීම් 8,541
  • 2016 – දරුවන් දූෂණය කිරීම් 19,765
  • 2015 වසරේදී දරුවන් 10,000 කට වඩා දූෂණයට ලක්ව තිබේ.
  • ඉන්දියාවේ ස්ත්‍රීන්ගෙන් මිලියන 240 ක් අවු. 18කට පෙර විවාහ වෙති.
  • දරුවන්ගෙන් 53.22% ක් ජීවිත කාලය තුළ ලිංගික අපචාරවලට ලක් වෙති.
  • ඒ අතරින් 50%කට වඩා අතවරයට ලක් වන තිබෙන්නේ ළඟම හෝ විශ්වාසනීය අයෙකු විසිනි.

Sources: Indian government, Unicef

ප්‍රධාන ඡායාරූපය – ISTOCK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි