×

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සියලු පදක්කම්, පරණ ජංගම දුරකථනවලින් සාදයි!

2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ව තිබෙන ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගවල ජයග්‍රාහකයන්ට පිරිනැමෙන පදක්කම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රත්තරන්, රිදී සහ ලෝකඩ, භාවිතයෙන් ඉවත් කර විසිකර දමා ඇති පරණ ජංගම දුරකථන ආදියෙන් ලබාගැනීමට තීරණය කර තිබේ.


එම පදක්කම් සඳහා අවශ්‍ය ලෝහ ප්‍රමාණය ටොන් 8 කි. එනම්, රත්රන් කිලෝ 30.3 ක්, රිදී කිලෝ 4,1000 ක් සහ ලෝකඩ කිලෝ 2,700 ක් මෙම පදක්කම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වේ.

ඒවා, ලෝකයේ ලොකුම ගොඩබිම් පරිසර දූෂකයෙකු බවට පත්ව තිබෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් ලබාගැනීමට ජපානය කල්පනා කරයි. මෙය, ඔවුන් විසින් ගනු ලැබූ අද්වීතීය පරිසරහිතකාමී තීරණයක් ද වේ.

මෙම ව්‍යාපෘතිය ඔවුන් මුලින්ම අත්හදා බලන්නේ 2017 වසරේදී ය. පරණ ස්මාට්ෆෝන් සහ ලැප්ටොප් මේ සඳහා යොදා ගැනිණි.

එම ව්‍යාපෘතිය සාර්ථක වී ඇති අතර, තරග සංවිධායකයන් පවසන්නේ 2019 මාර්තු මාසය වන විට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට හැකි බවයි. 2018 ජූනි මාසය වන විට අවශ්‍ය ලෝකඩ ප්‍රමාණය ලබාගත් බවත්, අවශ්‍ය රත්තරන්වලින් 90%ක් සහ රිදීවලින් 85%ක් 2018 ඔක්තෝබර් මාසය වන විට ලබාගැනීමට හැකි වූ බවත් ඔවුහු පවසති.

මෙම ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ලබාගෙන තිබෙන්නේ ජපනුන් විසින් විසි කර දමා තිබූ ඉලෙක්ට්‍රොනික උපාංගවලිනි.

ඒ අනුව 2018 නොවැම්බරය වන විට ජනතාව විසින් ඉවත් කර තිබූ උපාංග ටොන් 47,488 ක් ඔවුන් විසින් එක්රැස් කර ගැනිණි. භාවිතා කරන ලද ජංගම දුරකථන මිලියන 5 ක් ඔවුන් විසින් මේ සඳහා ලබා දී තිබේ.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද ප්‍රදානය කළ රිදී සහ ලෝකඩ පදක්කම්වලින් 30%කට අවශ්‍ය ලෝහ ප්‍රමාණය ලබාගෙන තිබුණේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපාංගවලිනි.

එක් ජංගම දුරකථනයක රත්තරන් කොපමණ තිබෙනවාද?

ජපානයේ මෙම ඔලිම්පික් පදක්කම් තීරණයත් සමග, ස්මාට් ෆෝන්වල අඩංගු රත්තරන් පිළිබඳ විශාල කථා බහක් ඇති වී තිබේ.

මේවා නිෂ්පාදනයේදී රත්රන් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්නා අතර, ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ඒවා නැවත වරක් මෙසේ පදක්කම් නිෂ්පාදනය සඳහා යොදාගැනීම සිදුකරයි.

සාමාන්‍යයෙන් ජංගම දුරකථන /ස්මාට් ෆෝන් 35-40 අතර ප්‍රමාණයකින් රත්තරන් ග්‍රෑම් 1 ක් ලබාගත හැකිය.

ලෝකයේ රත්තරන්වලට ඇති ඉල්ලුම ගැන ද මෙහිදී සලකා බැලිය යුතුය.

දිනකට ලෝකයේ රත්තරන් නිධිවලින් රත්තරන් ටොන් 7.4 ක් නිස්සාරණය කර ගැනේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි