සාගරයේ යුනිකෝන්, මත්ස්‍යයෙක් නොවේ. කිරි බී වැඩෙන්නෙකි. හෙවත් ක්ෂීරපායී සතෙකි. තව ද තල්මස් පවුලේ සාමාජිකයෙකි. හනුවේ ඉහළ වම් කෙළවරෙන් විහිදෙන උගේ අනන්‍යතාව, කුමක් පිණිස හටගත්තාදැයි විද්‍යාඥයෝ සැමදා කල්පනා කළහ. කල්පිත ගොඩ නැංවූහ. ඔවුන්ගේ අලුත් ම අදහස වන්නේ එහි පරම කාර්ය, සංවේදක ඉන්ද්‍රියයක් ලෙස කටයුතු කිරීම බවයි.
අලුත උපන් නර්වාල් පැටියෙක් පවා මීටර එකහමාරක පමණ දිගින් යුක්ත ය. ඒ මදිවාට රාත්තල් 175 සිට 220 දක්වා බරැති වන්නට ද පුළුවන. ඒ පැටවා පරිණත වියේදී ටොන් එකක් දක්වා වුවත්, උස් මහත් වන්නට සොබාදහමෙන් බාධාවක් නැත.
එවිට උගේ යුනිකෝන් අඟ ඇත් දළ පැහැයට හැරෙයි. එය ‘දතක්’ වෙනුවට ‘සමක්’ ලෙස හැසිරෙන්නට පටන් ගනියි. එහෙත් මේ අසිරිය වඩාත් ප්‍රකට වන්නේ පිරිමි නර්වාල් සතුන් අතර ය.
නර්වාල් අඟනුන් පෙම් කෙළිය සඳහා පොලඹවා ගැනීමටත්, උන් වසඟ කර ගැනීමටත් නර්වාල් පිරිමින් විසින් එය සෝබන මෙවලමක් ලෙස පාවිච්චි කරන බව මෙතෙක් විශ්වාස කෙරිණි. උන් කෙල්ලන් නිසා ගහමරා ගන්නා විට සටන් අවිය වූයේ ද තමන්ටත් අවසඟ තරමට දිගු යුනිකෝන් අඟයි.
කෙසේ නමුත් පිරිමි සතුන් අතර පමණක් තිබෙන මේ අඟෙහි මූලිකම කාර්ය ඒ සියල්ලට අමතරව පරිසරය පිළිබඳ සංවේදනය කිරීම බව දැන් පෙනෙන්නට තිබේ. විද්‍යාඥයන්ට අනුව එය පරිසරයේ උෂ්ණත්වය සහ ලවණතාවට ඉතා සංවේදී ය. පිරිමි සතුන් පන්සියයකගෙන් එකකට, එනම් කලාතුරකින් පිරිමි සතකුට අඟ දෙක බැගින් ද පිහිටා තිබෙන්නට පුළුවන.
බරෙන් කිලෝ 10 ක් පමණ වන නර්වාල් අඟ තුළ තිබෙන්නේ කුහරයකි. එය බහුස්ථරික ය. බාහිරම ස්ථරය සවිවර ය. එනම් සිදුරු සහිත ය. එම සිදුරු හරහා කරදිය ඇතුළු වෙයි. ඊළඟ ස්ථරයේ තිබෙන නාල පද්ධතියක් මගින් එම කරදිය, අඟෙහි අභ්‍යන්තරම ස්ථරය කරා ගෙන යයි.
එම ස්ථරය සමන්විත වන්නේ රුධිර නාල සහ මොළය වෙත කෙළින්ම දිවෙන ස්නායු වලිනි. එමගින් ලබාදෙන මුහුදු ජලය පිළිබඳ සංවේදන, මොළය මගින් පණිවුඩ බවට හරවා නර්වාල් ව පරිසරය ගැන දැනුවත් කර තබයි.
ඒ සංවේදන හරහා උහු පෙම් කෙළීම සඳහා කෙල්ලන් සොයාගනිති. කෑම තිබෙන ඉසව් වටහා ගනිති. ආක්ටික් ධ්‍රැවයේ තැන තැන රස්තියාදු වීමෙන් පසු නැවත ගෙදර යන පාර පවා සොයාගනිති.
වර්ෂ 1577 දී ඉංගී‍්‍රසි ජාතික ගවේෂකයකු වූ මාටින් ෆ්රොබිෂර් මිනිසුන් 150 ක කණ්ඩායමක් යොදවා කැනඩාවේ ගවේෂණ කටයුතු කරමින් සිටියේය. ඔහුට ඇවැසි වූයේ පළමුව, ඉන්දියාවට යන කෙටි මඟක් සොයාගැනීම ය. දෙවැනුව, රත්රන් සොයාගැනීම ය. එහෙත් ඒ දෙකම වෙනුවට ඔහුට හමුවූයේ පෙර නොවූ විරූ දෙයකි. ඒ පිළිබඳ ඔහු සිය ජර්නලයේ මෙසේ ලීවේය.
“මම දැවැන්ත මළ මසකු සොයාගතිමි. අයිස් තුළ ගල්වී සිටි ඌ මුහුදු ඌරකු වැනි ය. අඩි දොළහක් දිග ය. උගේ නාසයෙන් හෝ හොම්බෙන් යාර දෙකක් පමණ දිග අඟක් විහිදුණේය. එය සෘජු සහ දඟර වැටුණු එකකි. මම මුහුදු යුනිකෝන් ව සොයාගත්තා යැයි සිතමි.”
නැවත එංගලන්තයට ගිය විට ෆ්රොබිෂයර් උදක් ම එළිසබෙත් මහ රැජින හමුවීමට ගොස් සිය මාහැඟි සොයාගැනීම ඇයට තෑගි කළේය. එය දැකීමෙන් ප්‍රමුදිත වූ මහරැජින නියම කළේ එය සිය කිරීට ආභරණ එකතුවේ තැබීමට ය.
කෙසේ නමුත් ෆ්රොබිෂර්ගේ දේශාටනයට තරමක කාලයක පෙර සිටම නර්වාල් අඟ යුරෝපයේ සුපිරි භාණ්ඩයක් බවට පත්ව සංසරණය වෙමින් තිබුණේය. තත්කාලීන ලෝකයේ ඇතැම් යුරෝපා රජවරු පවුම් දසදහසක් පමණ ගෙවා නර්වාල් අං සිය අබරණ ගොඩට එක් කර ගත්හ. එකල පවුම් දසදහසක් යනු රාජකීය බලකොටුවක මිල විය.
මේ අතර සැහැසිකමට නම් දරා සිටි වයිකිංවරු උතුරු අත්ලාන්තික් සාගරය පීරමින් නර්වාල් සතුන් දඩයම් කර උන්ගේ අං කපාගත්තේ මධ්‍යතන යුගයේ සිට ය. පසුකාලීන ව යුරෝපියානු ස්වභාවවේදීන් සොබාදහමේ අසිරිය සාමාන්‍යකරණය කරන විට නර්වාල් අඟට තිබූ මහා ඉල්ලුම වියැකී ගිය ද අදටත් ඒ සඳහා සෑහෙන වෙළෙඳපොළක් තිබේ.
දැන්, වසර දහහතරක් මුළුල්ලේ ආක්ටික් ධ්‍රැවය වෙත යමින් එමින් මහත් වෙහෙසක් දරමින්, හාවඩ් සරසවියේ දන්ත වෛද්‍ය විද්‍යාඥ මාටින් එන්වීවා, නර්වාල් අඟෙහි සැබෑව ගැන නූතනම හෙළිදරව්ව කර තිබෙන බව සැබෑ ය. .
එහෙත් දඩයක්කරුවන්ට මේ කිසිවක් අදාළ නැත. සත්ව රාජධානියේ විශාලතම රදනක දත් දරන්නා වන නර්වාල් අදටත් ඒ දත නොහොත් අඟ නිසා වැනසෙයි. උගේ වසර 50 ක පරමායුෂ දැන් දැන් පුරාවෘත්තවලට පමණක් සීමා වෙමින් තිබේ.