×

කැවෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට!

ලිංගික අපචාර සම්බන්ධයෙන් FBI පරීක්ෂණයකට ද ලක් කළ බ්‍රෙට් කැවෙනා, පසුගිය සෙනසුරාදා සෙනෙට් සභාව විසින් එම චෝදනාවලින් නිදහස් කළ අතර, අද (9) ඔහු ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය.


කැවෙනාට එරෙහිව පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට සෙනෙට් සභාව ෆෙඩරල් රහස් ඔත්තු සේවය හෙවත් FBI වෙතින් ඉල්ලා සිටියද, ඔවුන් පවත්වා තිබුණේ පූර්ණ විමර්ශනයක් නොවේ.

මේ අතර, කැවෙනා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුව නිර්දෝෂී කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අයුරු ද දක්නට ලැබිණි.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මහත් සේ විවේචනය කළ මෙම සිදුවීමේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඔහුට සහ ඔහුගේ පවුලට මුහුණ දෙන්නට සිදුවූ අපහසුතාවය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කිරීමෙන් නොනැවතී ඔහුගෙන් සමාව ද ඉල්ලා සිටීම අතිශය ආන්දෝලනාත්මක සිදුවීමකි.

එසේම ඔහු මෙහිදී පවසන්නේ කැවෙනා සම්පූර්ණයෙන් අහිංසක බව ය. “You, sir, under historic scrutiny, were proven innocent,” යැයි එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙය සාවද්‍ය ප්‍රකාශයක් වන්නේ කැවෙනාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් FBI විසින් පූර්ණ විමර්ශනයක් නොපැවැත්වූ නිසා ය.

මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ මෙයට සති 13කට පෙර ට්‍රම්ප් විසින් කැවෙනා ව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නාම යෝජනා කළ ඊස්ට් රූම් හිදී ම ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරු ද මෙම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

කැවෙනාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ද මෙම අවස්ථාවට එක් ව සිටියහ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් මෙයට සහභාගි වෙතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළ නමුත් ඇය පැමිණ සිටියේ නැත.

බ්‍රෙට් කැවෙනාට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ල කළේ මේ වන විට මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වශයෙන් සේවය කරන ක්‍රිස්ටියන් බ්ලැස්ලි ෆෝඩ් විසිනි. (සම්පූර්ණ ලිපිය මෙතැනින්)

පසුගිය සෙනසුරාදා ඇමරිකානු සෙනෙට් සභාව විසින් ‘ඔව්‘ යැයි ප්‍රකාශිත ඡන්ද 50 ක් සමග ඔහුගේ නාම යෝජනාව සම්මත කළේය. නමුත් මෙය, නුතන යුගයේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විසින් ලබාගත් අවම ඡන්ද ප්‍රමාණයයි. ඒ අනුව කැවෙනා යනු, නූතන ඇමරිකානු ඉතිහාසයේ බිහි වූ අපකීර්තිමත්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වශයෙන් ද හඳුන්වා දිය හැක.

විචාරකයන් විසින් කැවෙනාට එරෙහිව සිදුකළ ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පැවසුවේ, එය ඇමරිකානු ඉතිහාසය දේශපාලනික වශයෙන් සොළවා තබන පරීක්ෂණයක් බවට පත්වනු ඇත කියා ය. ට්‍රම්ප් විසින් සිය නාම යෝජනාව සම්බන්ධයෙන් කොතරම් දැඩි ලෙස පෙනී සිටින්නේද යන්න, ඔහු අද දින දිවුරුම් දීමේ උත්සවයේදී කළ කතාවෙන් ද සනාථ වේ. මෙය, ට්‍රම්ප් විසින් තමන්ට උවමනා විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගැනීමක් ලෙස බොහෝ අය සලකති. ෆෙඩරල් රහස් ඔත්තු සේවය විසින් පුර්ණ පරීක්ෂණයක් නොපැවැත්වීමේ ගැටළුව ද ඉදිරි දිනවලදී කතා බහට ලක් වනු ඇත. ඇතැමුන් මෙය, ට්‍රම්ප් පරිපාලනයේ ජයග්‍රහණයක් ලෙස සැලකුවද ජාත්‍යන්තර විචාරකයන් මෙය දක්වන්නේ, ඇමරිකානු විධායකය අධිකරණයේ ස්වාධිපත්‍යයට හා ස්වාධීනත්වයට කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් මැදිහත් වීම් කරන්නේ ද යන්නට වඩාත්ම නූතන උදාහරණය ලෙස ය.

පෙර ලිපිය-
ට්‍රම්ප්ගේ කැවෙනා සහ මහාචාර්යවරියකට කළ ලිංගික අපචාර



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි