×

ට්‍රම්ප් ළදරුවෙක් බවට පත්වෙමින් සිටියිද?

“ට්‍රම්ප් මේ දැන් අත් දෙකෙන්ම වතුර වීදුරුව අල්ලාගෙන පොඩි ළමයෙක් වගේ වතුර බීගෙන බීගෙන ගියා..”


ඔබ මොන්ටිසෝරි දරුවෙකුව සිටියදී වීදුරුවකින් වතුර බිව් හැටි ඔබට මතකද? එය මතක නැති නම්, ඔබ දැකිය යුතුව තිබෙන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධ වේදිකාවේදී වීදුරුවකින් වතුර බොන අන්දමයි. මේ දෙක අතර ඒ හැටි වෙනසක් නැත.

මේ දෙකම සමාන යැයි ද කෙනෙකුට කියන්නට පුළුවන. පසුගියදා වොෂින්ටන් ඩී.සී. හිදී ආරක්ෂක සේවා සාමාජිකයන් හට ට්‍රම්ප් සිය අලුත්ම රාජ්‍ය ආරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳ කතාවක් පවත්වමින් සිටියේය. ඔහු වතුර ටිකක් බීම සඳහා හිටිහැටියේම කතාව මදකට නතර කළේය. නමුත් ඔහු ඒ වතුර ටික බිව්වේ කොහොමද? සිව් හැවිරිදි දරුවෙකු මෙන් වීදුරුව දෑතින්ම බදා අල්ලා ගනිමිනි. මෙය කොතරම් අසාමාන්‍ය සහ විකාරරූපී ලෙස පෙනී ගියාද කියන්නේ නම් විනාඩි කිහිපයක් ඇතුළත ට්විටර් සමාජ ජාලය පිරී ගියේ ට්‍රම්ප්ගේ අසාමාන්‍ය වතුර බීම ගැන කතා දස දහස් ගණනකිනි. “ට්‍රම්ප් මේ දැන් අත් දෙකෙන්ම වතුර වීදුරුව අල්ලාගෙන පොඩි ළමයෙක් වගේ වතුර බීගෙන බීගෙන ගියා..” “සැබෑ ජනාධිපතිවරු සභාවකදී වතුර ටිකක් බොන්නේ ආත්ම විශ්වාසයකින්. හැබැයි ට්‍රම්ප් වතුර බොන්නෙ සිපි කප් එකකින් වතුර බොන අවුරුදු 4 ක දරුවෙක් වගේ..” ’‘ජාතිය අමතමින් සිටින ජනාධිපතිවරයෙක් අත් දෙකෙන්ම වීදුරුව අල්ලාගෙන වතුර බොනවා..

ඔහු ජනාධිපතිවරයා ද නැතිනම් පෙර පාසල් දරුවෙක්ද..? තවත් අයෙක් ට්‍රම්ප් විසින් වතුර බොන ලීලාව සමාන කළේ ඇමරිකානු දඬු ලේනෙක් (චිප් මන්ක්) අත් දෙකින්ම අල්ලාගෙන යමක් කටේ ඔබා ගන්නා ආකාරයට ය. තවත් අයෙක් විසින් එය, ‘ද හොබිට්’ කතා මාලාවේ ගෝලම් නමැති අපරරූපියා මාළුවෙක් ගිල දමන ආකාරයට සමාන කර තිබිණි. තවත් අයෙක් ට්‍රම්ප් සහ හිටපු ජනපති ඔබාමා විසින් වීදුරුවකින් වතුර බොන ආකාරය ඡායාරූප සමගම සසඳා තිබිණි. මේ කතා කිසිවක් ගැන ට්‍රම්ප් තඹ දොයිතුවකටවත් මායිම් නොකරන බවට සැක නැත. මීට පෙර ද ඔහු ප්‍රසිද්ධ වේදිකාවේදී දෑතින්ම අල්ලාගෙන වතුර බෝතල් ‘සූප්පු කර’ තිබේ. නමුත් ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප්ගේ මෙම හැසිරීමෙන්, එසේත් නැතිනම් ඔහුගේ ශරීර භාෂාවෙන් ඔහු ලෝකයට ඉඟි කරන කතාන්දරය තුළ තිබෙන ඛේදවාචකයයි. ඔහු දැඩි ආතතියකින් පෙළෙමින් සිටින්නේද? ඩිමෙන්ෂියා හෝ වෙන යම් රෝගයකින් පෙළෙමින් සිටිනවාද? මෙය සැබවින්ම සිනාවට කරුණක් නොවන්නේ ලෝකයේ සුක්කානම මේ මිනිසා විසින් වරින් වර භයානක ලෙස හසුරවමින් සිටින නිසා ය.

ට්‍රම්ප් පදවි ප්‍රාප්තියට පත් වූ දිනයේ ඔහු කළේ සිය තීරණ දැනුම් දෙමින්, පෑන් මාරු කරමින් තඩි අකුරින් අත්සන් කිරීමයි. එයින් නොනැවතුණු ඔහු, එසේ අත්සන් කළ පෑන්, තමන් වටා සිටි අය වෙත බෙදා දුන්නේය. ඒ හැසිරීමේ පවා එදා කිසිදු වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ගතියක් පෙනුණේ නැත. කෙටියෙන් කියනවා නම් මොන්ටිසෝරි ළමයෙකුට පෑනක් සහ කොළයක් ලැබුණු විට ඔහු එය එහි තඩි අකුරින් තමන්ගේ නම ලියන්නේ කෙසේ ද ට්‍රම්ප් ද එසේ ය. ඔහු එයින් අසාමාන්‍ය වින්දනයක් ද ලබන බවක් පෙනේ. මේ අතර වොෂින්ටන් පෝස්ට් පුවත්පත දෙසැම්බර් 12 වැනිදා ට්‍රම්ප්ගේ ආහාර චර්යාවන් ගැන විද්‍යාත්මක පදනමින් යුත් දීර්ඝ ලිපියක් පළකරයි. එහිදී හෙළි වන පරිදි ට්‍රම්ප් දිනකට ‘ඩයට් කෝක්’ 12 ක් බොමින් සිටියි! ඒ මදිවාට ඔහු වෙන්ඩි සහ මැක්ඩොනල්ඩ්ස් කෑමවලට ඇබ්බැහි වූ අයෙකි. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරවාරයේ පවා ඔහු ෆිෂ් ෆිලට්ස් සහ බිග් මැක්ස් වරින් වර ආහාරයට ගන්නා ආකාරය දැකගත හැකි විය. සැබවින්ම ට්‍රම්ප් ජන්ක් ෆුඩ්ස් හෙවත් කෘත්‍රිම හා ක්ෂණික කෑම සඳහා ඇබ්බැහි වූ අයෙකි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව ට්‍රම්ප් ජන්ක් ෆුඩ් ගිල දමා ඒවා ඩයට් කෝක්වලින් සෝදා දමන්නෙකි. ට්‍රම්ප් තමන්ට දිනකට ඩයට් කෝක් හෙවත් ඩයට් සෝඩා 12 ක් අවශ්‍ය බව නිල වශයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බව හෙළි කරන්නේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතයි. ඇමරිකාවේ සාමාන්‍ය කෝක් කෑන් එකක තිබෙන අවුන්ස 12 ක පානය තුළ කැලරි 140 ක් සහ සීනි ග්‍රෑම් 39 ක් තිබේ.

දැන් සාමාන්‍ය කෝක් වෙනුවට ඩයට් කෝක් කෑන් 12 ක් පානය කිරීම මගින් ට්‍රම්ප් දිනකට කැලරි 1680 ක් සහ සීනි ග්‍රෑම් 468 ක් පරිභෝජනය කර ගැනීම නවත්වා ගනියි. මේ අඩු සීනි, අඩු කැලරි බීම ඉතින් හොඳයි නේදැයි ඔබට සිතෙන්නට පුළුවන් නමුත් ඇත්ත කතාව කැරකැවෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය. ඩයට් සෝඩා වැනි පානයක සෞඛ්‍යමය හානිය දීර්ඝ කාලීන ය. විශේෂඥ පර්යේෂණවලින් හෙළි වන ආකාරයට ඩයට් සෝඩාවල ඇති පැණිරස ඇතිකරන stevia, sucralose, tagatose, yacón powder සහ xylitol වැනි කෘත්‍රීම රසකාරක මගින් සෞඛ්‍යයට කරන හානිය තවම සොයාගෙන පවා නැත. එයින් අදහස් වන්නේ ට්‍රම්ප්ගේ සෞඛ්‍යය යම් දිනෙක, හේතුවක් සොයාගන්නට බැරි තරමට පිරිහීමට පවා ඉඩ ඇති බවයි. අනෙක් අතට ඩයට් සෝඩා වුණත් දිනකට කෑන් 12 ක් බැගින් ගිල දැමීමට සිත් පහළවීම ම, රෝගියෙකුගේ ලක්ෂණයක් නොවන්නේද…? පහත දැක්වෙන්නේ දැනට විද්‍යා ලෝකය මගින් සොයා තහවුරු කර ගත් කාරණා කිහිපයකි. දිනපතා ඩයට් සෝඩා බොන අයගේ මොළයේ ලේ කැටියක් හිර වීම නිසා ආඝාතය හෙවත් අංශභාගය ඇති වීමේ අවදානම, එසේ නොබොන අයට වඩා තුන් ගුණයකින් වැඩි ය. ඩිමෙන්ෂියාව හෙවත් මතකය අහිමි වීමට ද එය එපමණටම හේතු වේ.

මූලාශ්‍රය: http://stroke.ahajournals.org/content/early/2017/04/20/STROKEAHA.116.016027 ඇත්තම කතාව නම් ට්‍රම්ප් යනු වයස අවුරුදු 70 ක මහල්ලෙකි. වයස අවුරුදු 45ට වැඩි අය මෙවැනි කෘත්‍රිම පානයන් ඉවක් බවක් නැතිව ගැනීම නිසා ඔවුන් ආඝාතයට ලක්වීමේ අවදානම තවදුරටත් ඉහළ යයි.

මූලාශ්‍රය: https://www.bumc.bu.edu/busm/2017/04/20/daily-consumption-of-sodas-fruit-juices-and-artificially-sweetened-sodas-affect-brain/ දිනකට කෘත්‍රිම රසකාරක යෙදූ බීමක් බොන අයෙක් සහ සතියකට එක් වතාවක් එසේ කරන අයෙක් සැලකූ විට ‘නහර බ්ලොක් වීම’ හෙවත් රුධිර නාල අවහිර වීමේ අවදානම තුන් ගුණයකින් වැඩි වේ.

තවද එවැනි අය, ඇල්සයිමර් රෝගය හේතුවෙන් ඇතිවන ඩිමෙන්ෂියා තත්වයට තුන් ගුණයක් වැඩියෙන් ගොදුරු වෙති. දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය වැනි තත්වයන් පාලනය කරගෙන සිටින අයෙක් සම්බන්ධයෙන් පවා මේ තත්වය එලෙසම ය. මූලාශ්‍රය: https://www.washingtonpost.com/news/morning-mix/wp/2017/04/21/study-links-diet-soda-to-higher-risk-of-stroke-dementia/?utm_term=.7cca0b18f28e මේ ලෝකයේ නිරෝගී වැඩිහිටියන් සම්බන්ධයෙන් ‘ආරක්ෂිත’ යැයි සිතාගෙන සිටින කැෆේන් මාත්‍රාව වන්නේ දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 කි. එය සමාන වන්නේ එක්කෝ කෝපි කෝප්ප 4කට ය. එසේත් නැතිනම් සෝඩා කෑන් 10ක අඩංගු කැෆේන් ප්‍රමාණයකට ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ට්‍රම්ප් බොන ඩයට් සෝඩාවල පෙර කී අහිතකර කිසිවක් නැතිව කැෆේන් පමණක් තිබෙනවා යැයි උපකල්පනය කළත්, ට්‍රම්ප් දිනකට තවත් කැෆේන් මිලිග්‍රෑම් 80 ක් බැගින් ගිල දමමින් අවදානම් කලාපයේ ළදරුවෙකු සේ හිටගෙන සිටියි.

කැෆේන් පමණට වඩා ගත් විට එය කොහෙත්ම සෞඛ්‍යයට හොඳ නැත. ඉරුවාරදය හෙවත් මිග්‍රේන්, නින්ද නොයාම හෙවත් ඉන්සොම්නියා, ගතට හා සිතට අවිවේකී බව දැනීම සහ ඇඟ වෙව්ලීම හෙවත් මස්පිඬුවල කම්පනය ඒ නිසා ඇති වේ. මේ වසරේ ජූලි මාසයේ කැනේඩියානු වෛද්‍ය සංගමයේ ජර්නලයක් හෙළි කර සිටියේ කැලරි රහිත රස කළ පාන මගින් බර අඩුවීම වළක්වන බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් තරබාරුව වැඩි කරන බවයි. දැන් ඒ බව මේ ලෝකයේ තහවුරු කළ කාරණයකි. තරබාරුව සමග අත්වැල් බැඳගන්නා සෙසු රෝග වන්නේ අධික ආතතිය, පරිවෘත්තීය සහලක්ෂණය, දෙවන ගණයේ දියවැඩියාව සහ ආඝාතයයි. මේ අතර වයස අවුරුදු 65 ට වැඩි, නිතර නිතර හෝ දිනපතා ඩයට් කෝක් පරිභෝජනය කරන්නන් එසේ නොවන අයට වඩා තුන් ගුණයකින් උදරය වටේ මේදය තැන්පත් වන බව ද හෙළි ව තිබේ. මූලාශ්‍රය: http://www.uthscsa.edu/ පුරා අවුරුදු 10 විටින් විට ඩයට් කෝක් රස බලනවුන්ගේ උදරය හෝ ඉණ වටා තැන්පත් වන මේදය හේතුවෙන් ඉණ අඟල් 1.82 කින් වැඩි වනු ඇත.

දිනපතා ඩයට් කෝක් බොන ට්‍රම්ප්ගේ වර්ගයේ අය, අවුරුදු 10ක්ම මේ ආකාරයෙන් කළොත් ඔවුන්ගේ ඉණ, අඟල් 3.16කින් වැඩි වනු ඇත. ඩයට් කෝක් බොන කෙට්ටු අයෙක් තමන් කිසිදා දැක නැතැයි මේ අතර කියා තිබෙන්නේ ද ට්‍රම්ප් ම ය. ඩයට් සෝඩා බොන නිසා තමන්ට ආහාර රුචිය ඇති වන බවත් ට්‍රම්ප් කියා ඇත. ඔන්න, ඔහු හිතන හැටි? ඩයට් සෝඩා පානයන් හේතුවෙන් ලිම්ෆෝමා හෙවත් වසා ගැටිති පිළිකා සහ ලියුකේමියා හෙවත් ලේ පිළිකා අවදානමක් ඇති විය හැකි බවට යෝජනා කරන වෛද්‍ය පර්යේෂණ ද මේ අතර හමු වේ.

‘‘You are what you eat‘‘ යන්න ඇමරිකාවේ ප්‍රකට කියමනකි. එයින් අදහස් වන්නේ ඔබ කන දෙයින් ඔබ කවුරුද කියා හෙළි වන බව ය. දැන් ට්‍රම්ප් කන දෙය ඔබ දනියි. ට්‍රම්ප් කරන දෙය ද ඔබ දනියි. මේ කන බොන දේවල් නිසාත් ට්‍රම්ප්ගේ මොළය මඤ්ඤං වී ඇති බවත්, එය කිසිසේත්ම සිනාවට කාරණයක් නොව අනුකම්පා සහගත දෙයක් බවත් දැන්ම සිහි තබාගැනීම වටියි. නමුත් දැන් ප්‍රශ්නය වන්නේ මේ ළදරු ගති නිසා මේ ලෝකයේ කී දෙනෙක් අනාගතයේ විඳවනු ඇත්ද යන්නයි.

ඇමරිකාව කොහොමටත් ලෝකයේ ලොකුම සීනි පරිභෝජකයා ය. ඇමරිකාවේ ඉහළම සෞඛ්‍ය අධිකාරීන් මේ වන විටත් නිර්දේශ කර තිබෙන්නේ ‘ඇමරිකන් ජාතියේ සීනි කෑම හැකි ඉක්මනින් අවම කළ යුතුය කියාය. බාගදා ට්‍රම්ප්, ඩයට් සෝඩාවලට මාරු වුණේ තමන් ‘නියම ඇමරිකන් කාරයෙක්‘ බව ජාතියට පෙන්වීමට වන්නටත් බැරි නැත. නමුත් ඇතැම් පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ ඉහත කී කෘත්‍රිම පැණිරස කාරක මගින්, කැලරි ප්‍රමාණය ගැන නොසිතා තව තවත් පැණිරස සඳහා ඇබ්බැහි වීමක් ඇති කරන බවයි. එහි දෙවැනි හානිය ඊටත් වඩා භයානක ය. බරපතළ ය. මෙබඳු ආහාර නිසා මොළයේ සහ ශරීරයේ සංඥා පරිවහනයට එනම්, අන්තර් ඉන්ද්‍රිය සමාලෝචනයට බාධා ඇති විය හැකි බව ය. එහිදී අවසානයේ සිදුවන්නේ වැරදි පණිවුඩ මොළයට යාමයි. ඉතින් වැරදි පණිවුඩ මොළයට යන විට හරි තීරණ ගන්නට හෙවත් සියල්ල විමසා බලා නිවැරදි තීරණ ගන්නට මොළයට හැකියාවක් නැත. ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ ආහාර රටාව අතර ඇති සම්බන්ධය ලිහා ගැනීමට මීට වඩා හොඳ මාවතක් තිබේද? ට්‍රම්ප් මහා වීර ක්‍රියාවක් යැයි සිතාගෙන කළ එවැනි අලුත්ම වැඩය වුණේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි ප්‍රකාශයට පත් කිරීමයි. සාමාන්‍යයෙන් රටක අගනුවරක් නම් කළ යුත්තේ ඒ රටේ ජනතාවයි. නමුත් දැන් ට්‍රම්ප් නිසා ඊශ්‍රායලයේ මෙතෙක් අගනුවර වශයෙන් පැවති ටෙල් අවිව් නගරයට ඇඩ්‍රස් නැති වෙන්නට යයි. ඔහු මේ හිතුමතේ තීරණය ගනු ලබන්නේ ලෝකයේ අනෙකුත් රටවල්වල මතය ගැන කිසිදු තැකීමක් නොකරමිනි.

අඩුම වශයෙන් පලස්තීන අර්බුදය හමුවේ 1967 වසරේ පටන් මැදපෙරදිග කතර පුරා වැගිරුණු ලේ ධාතුව ගැනවත් ඔහු සිතිය යුතුව තිබුණේය. ට්‍රම්ප් එන්න එන්නම ‘සෝබන ගොන් වැඩ’ කරන බවට ආසන්නතම උදාහරණය ඔහු විසින් කෙංග්‍රසයේ ආනුභාවයෙන්, 51 දෙනෙකුගේ අත ඉස්සීමෙන් සම්මත කර ගත් බදු ප්‍රතිසංස්කරණ පනත හෙවත් නව බදු නීතියයි. මේ නව නීතිය නිසා ඇමරිකානු ආර්ථිකයට වාර්ෂිකව ත්‍රිලියන 1 ක ණය බරක් එක් වෙයි. එපමණක් නොවේ. මිලියන 30 ක ජනතාවට වෛද්‍ය රක්ෂණය ද අහිමි වෙයි. ට්‍රම්ප් සාමාන්‍ය වැඩ කරන පන්තියේ ජනයාව මේ සෙමෙන් සෙමෙන් දක්කන්නේ කනත්තට ය. තවද මෙම නව බදු සැලසුම අනුව 35%කට තිබූ ව්‍යාපාර බද්ද 21%ට අඩු වෙයි. සාමාන්‍යයෙන් ලංකාව වගේ නොව, ඇමරිකාවේ බදු ආදායමෙන් ජීවත් වන්නෝ, සුබසාධන පහසුකම් ලබන්නෝ රටේ වැඩ කරන ජනතාවයි. ට්‍රම්ප් කෙළින පිස්සු නිසා අවසානයේ ඇමරිකාවේ ඉතිරි වනු ඇත්තේ ධනවාදයේ වෙස්මුහුණ පැළඳගත්-ලාභය පරමාර්ථ කරගත් වහල් සේවයක් පමණි. ‘‘You are what you eat‘‘ යන්න ඇමරිකාවේ ප්‍රකට කියමනකි.

එයින් අදහස් වන්නේ ඔබ කන දෙයින් ඔබ කවුරුද කියා හෙළි වන බව ය. දැන් ට්‍රම්ප් කන දෙය ඔබ දනියි. ට්‍රම්ප් කරන දෙය ද ඔබ දනියි. මේ කන බොන දේවල් නිසාත් ට්‍රම්ප්ගේ මොළය මඤ්ඤං වී ඇති බවත්, එය කිසිසේත්ම සිනාවට කාරණයක් නොව අනුකම්පා සහගත දෙයක් බවත් දැන්ම සිහි තබාගැනීම වටියි. නමුත් දැන් ප්‍රශ්නය වන්නේ මේ ළදරු ගති නිසා මේ ලෝකයේ කී දෙනෙක් අනාගතයේ විඳවනු ඇත්ද යන්නයි.

ඉතින්, මේ ලෝකයේ කිසිම නායකයෙක් අත් දෙකින්ම අල්ලාගෙන ගුඩු ගුඩු ගාමින් වතුර බොනු ඔබ දැක තිබේද? දිනකට පැය 4 ක් බැගින් ටී.වී. බලන නායකයෙක් ඔබ දැක තිබේද? ඉන්පසු නින්ද නොයාම නිසා රෑ මැදියමේ අවදි වී නිදි විකාරයෙන් ට්වීට් කරන ලෝක නායකයෙක් ඔබ දැක තිබේද? මොන්ටිසෝරි ළමයෙක් මෙන් ලොකු අකුරින් නම ලියන රාජ්‍ය නායකයෙක් ඔබ දැක තිබේද? අත්සන වෙනුවට තඩියට නම ලියා, පෑන් බෙදන ලොක්කෙක් ඔබ දැක තිබේද? ඔව්, ඔබ දැක තිබේ. ඒ ට්‍රම්ප් ය. මේ සියල්ලෙන් අපට ඉඟි කර සිටින්නේ ට්‍රම්ප් දැන් ළදරුවෙක් බවට පත්වෙමින් යන බවද? ඔව්!!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි