×

මොහොතින් මොහොත ඉහළ යන තුර්කියේ හා සිරියාවේ මරණ සංඛ්‍යාව 21,000 ඉක්මවයි(Latest Updates)

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඩාල කරමින් කලාපයට තවත් අයහපත් කාලගුණයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සිරියා දේශසීමාවේ තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවකින් සහ එහි පසු කම්පනවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට තුර්කියේ අවම වශයෙන් මරණ 18,342 ක් වාර්තා වී ඇති අතර, සිරියාවේ පුද්ගලයින් 3,377 ක් මියගොස් තිබේ.

අඛණ්ඩව ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්ම වන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත. පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් තත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඩාල කරමින් කලාපයට තවත් අයහපත් කාලගුණයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය වන ගැසියන්ටෙප් නගරය තුර්කියේ ජීවත් වන මිලියන සංඛ්‍යාත සිරියානු සරණාගතයින්ගේ නිවහනයි. මේ වන විටත් එහි නිවාස අහිමි වූවන් දහස් ගණනක් අධික ශීතලෙන් නවාතැන් නොමැතිව සිටින බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා තිබුණේ භූමිකම්පාවෙන් විපතට පත් පළාත් 10 ක වාසය කරන මිලියන 15 ක ජනතාවගෙන් මිලියන 1.7 කට වැඩි පිරිසක් සිරියානු සරණාගතයින් බවයි.

මානුෂීය කණ්ඩායම් වාර්තා කර තිබුණේ වයඹ දිග සිරියාවේ මිලියන 4.1 ක පමණ පිරිසකට ආධාර අවශ්‍ය වන බවයි. කාලාන්තරයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් යටිතල පහසුකම් විනාශ වී යාමත් භූමිකම්පාව හේතුවෙන් සිදුව ඇති බරපතල හානිකර තත්වයනුත් හේතුවෙන් සහන කණ්ඩායම්වලට ව්‍යසනයට පත් පුද්ගලයන් වෙත යාම අසීරු වී ඇත.

කෙසේ නමුත්, ඊයේ දිනයේ(09) දී තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ, රටවල් 70කින් පමණ තුර්කියට ආධාර ගලා එන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි