×

දේශගුණික විපර්යාස නිසා සුදු ගොවියෝ අසරණයි?

අයහපත් කාලගුණය නිසා බීජ වල ගුණාත්මය බැහැලා.. ගොවීන් ගේ අස්වැනු සරු නැහැ!


දේශගුණික විපර්යාස මේ දින වල කා අතරත් කතාබහට ලක්ව තිබේ. දේශගුණික විපර්යාස හමුවේ විවිධ රට වලට මුහුණ පෑමට වී ඇති අභියෝග ලොව නන් දෙසින් වාර්තා වේ.

එක් පසකින් දේශගුණ විපර්යාස හමුවේ කවට සිනා පාන ඩොනල්ඩ් ට්‍රම්ප් ය. තව පසකින් අඩුපාඩු පෙන්වා දුන්නේ යැයි කුකුල් කේන්ති යන බොල්සනාරෝය.

කල්ලියේ නවතම කවටයා ලැව්ගිනි හා දේශගුණ විපර්යාස අතර සබඳතාවක් නැතැයි කියන ස්කොට් මොරිසන් ය.

දේශගුණික විපර්යාස හා උවදුරු පිළිබඳ කතිකාවත දශක ගණනක් මුළුල්ලේ පවතින්නට ඇත. එහෙත් මේ දින වල දේශගුණික විපර්යාස හා උවදුරු පිළිබඳ කතිකාවත උත්සන්න වූයේ තවත් එක් සුවිශේෂී සිදුවීම් මාලාවක් නිසාය.

ඒ ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් නුවර පැවති කොප්25 සමුළුවයි!

පුංචි පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් හා දේශගුණික උවදුරු වලට එරෙහි තරුණ ව්‍යාපාර ඇතුළු දේශගුණික අධිවාචනය පුළුල් මුහුණුවරක් ගැනීම මෙම වසරේ සුවිශේෂී විය.

සුදු ගොවීන් අසරණයි?

දැනට වාර්තා වන අන්දමට දේශගුණික විපර්යාස හේතුවෙන් ගොවීන්ට නිශ්පාදනය කළ හැකි ආහාර ප්‍රමාණය පහත වැටී තිබේ.

මෙම පුවත වාර්තා වන්නේ සුදු මහත්තුරුන්ගේ දේශයෙනි. එක්සත් රාජධානියේ මෙම වර්ෂයේ සරත් සෘතුවේ බෝග වගාව බෙහවින් පමා වූ බවට වාර්තා වේ. ඒ තෙත් කාලගුණය හේතුවෙන් භෝග හානී වැඩිවීම නිසාය.

තවද ඕස්ට්‍රේලියාවේ බෝග වගාවට නියඟය හේතුවෙන් බොහෝ හානි පැමිණ තිබේ.

දේශගුණික විපර්යාස වගාවන් සඳහා යොදා ගන්නා බීජ වලටත් බලපෑම් එල්ල කිරීමට සමත්ව ඇති බවට වාර්තා වේ.

විදෙස් රට වල භෝග වගාවෙන් ජීවත් වන ගොවි ප්‍රජාවන් හට බලපා ඇති ප්‍රධානතම ගැටළුවක් ව තිබෙන්නේ දේශගුණික විපර්යාස මත බීජ වලට බලපෑම් ඇතිවී හටගන්නා පරිණත ශාක වල ගුණාත්මය හා ඵලදායීතාව පහත වැටීමයි.

එවන් භෝග වල හටගන්නා ඵල පරිභෝජනය සඳහා නුසුදුසුය. එමෙන්ම මිළක් නියම කිරීමට නොහැකිව ගොවීන් අපහසුතාවයට පත්ව තිබේ.

අධික උෂ්ණත්වය හෝ නියඟය මීට හේතු වී තිබේ. ප්‍රශස්ත උෂ්ණත්ව අභිබවා පරිසර උෂ්ණත්වය ඉහල යාම තුළින් බීජ වර්ධනය හා ගුණාත්මකභාවයට හානි පමුණුවයි.

ජාන තාක්ෂණය යොදා ගනිමින් දේශගුණික විපර්යාස වලට අනුවර්තනය විය හැකි බීජ ප්‍රභේද හඳුන්වා දීම සිදුවූයේ අද ඊයෙක නොවේෙ. එය කලක පටන් ක්‍රියාත්මක විය.

නමුත් ඇතැම් ගොවීන් ජාන තාක්ෂණය මඟින් නිපදවන වන බීජ භෝග වගාවට යොදාගැනීමට දක්වන අකමැත්ත ගැටළුවක් ව පවතී.

එසේ වුවද, වෙනස් වන දේශගුණය හමුවේ ජාන තාක්ෂණය යොදා ගනිමින් නිශ්පාදනය කළ වැඩිදියුණු කළ ප්‍රභේද භෝග වගාව සඳහා යොදා ගැනීමට අකමැත්තෙන් වුවද සිදුව තිබේ.

දේශගුණික විපර්යාස හමුවේ වැඩිදියුණු කළ බීජ සම්පත් ආනාගත පරිභෝජනය සඳහා බීජ සංරක්ෂණ බැංකු තුළ ගබඩා කිරීම සිදුවේ.

ජාන තාක්ෂණය හා බැඳි ආන්දෝලනාත්මක කතා දිග හැරීම සඳහා වෙනම ලිපියක් සැකසිය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි