×

Who Killed Sarah? එංගලන්තය කැළඹූ මිනීමැරුම් නඩුවේ පොලිස් කොස්තාපල් ට මරණ දඬුවම

2021 මාර්තු මාසයේ මුල සතියේ එංගලන්තය භීෂණයෙන් ඇළලී ගියේ මහමග තනියම ගමන් කරමින් සිටි යුවතියක පැහැරගෙන ගොස් දූෂණය කර, ගෙළ මිරිකා මරා දමා තිබීමේ පුවතත් සමග ය.


ඒ සමගම එක්සත් රාජධානියේ බොහෝ කාන්තාවෝ තමන්ට මහමගදී සිදුවන ලිංගික හිංසන ගැනත්, බලහත්කාරකම් ගැනත්, ආරක්ෂාවේ අයිතියක් නොමැති වීම ගැනත් සිය අත්දැකීම් විවෘතව හුවමාරු කර ගන්නට පටන් ගත්තේ, ශිෂ්ට සම්පන්න යැයි කියන ‘මහත්වරුන්ගේ රට‘ක වුවත් තවමත් සැඟවී තිබෙන අඳුරු හිංසනයේ පැතිකඩක් හෙළිදරව් කරමිනි.

ලොක්ඩවුන් තත්වයන් තුළ පවා ස්ත්‍රීන්ට, සුළුතරයන්ට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වීමට විරෝධය පළ කරමින් කෙන්ට් ඇතුළු නගර ගණනාවක උද්ඝෝෂණ ද පැවැත්විණි.

සිද්ධිය ට සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් කොස්තාපල්වරයෙකි. 48 හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරයා, නඩු විභාගයේදී සිය වරද පිළිගත්තේය. සාරා එඩ්වඩ්ස් නමැති එම යුවතියගේ මිනීමැරුම් නඩුවට ඔහු සම්බන්ධ වූයේ කුප්‍රකට බෙල්මාෂ් බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ය.

‘‘මැඩම්.. මම වරද පිළිගන්නවා..‘‘ යැයි ඔහු බිමට හැරුණු හිසින් යුතුව මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ කීය.

ඝාතක පොලිස් නිලධාරියා

පොලිස් කොස්තාපල් වේයින් කූසෙන්ස්, සාරා එඩ්වඩ්ස් ව වීදියේ දී පැහැරගෙන තිබෙන්නේ කුලියට ගත් මෝටර් රථයකිනි. එය පදවා තිබෙන්නේ ද ඔහුම ය. සාරා එඩ්වඩ්ස් එවිට සිටියේ සිය මිතුරියක බැලීමට ගොස් ආපසු එන ගමනේ ය.

33 හැවිරිදි සාරා එවාඩ් මළ සිරුර, එයින් සතියකට පසු කෙන්ට් පෙදෙසින් හමු වන්නේ චූදිත වේයින්ට අයත් ඉඩමකට මීටර කිහිපයක් නුදුරෙනි.

CCTV දර්ශන සහ කුලී මෝටර් රථ සමාගම හරහා විමර්ශකයන්ට වැඩි කල් නොගොස්ම ඔහුව නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි විය.

මාර්තු 9 වැනිදා ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ සිය ජංගම දුරකථනයෙන් අදාළ දත්ත මකා දැමීමෙන් විනාඩි කිහිපයකට පසුව ය.

සාරා

ලංකාවේ මෙන් නොවේ

ලංකාවේ මෙන් නොව, පොලිස් හැසිරීම පිළිබඳ ස්වාධීන කාර්යාලය යනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අවකල් හැසිරීම් පිළිබඳ අධීක්ෂණය කරනා වෙනම කාර්යාලයක් එක්සත් රාජධානියේ තිබේ. එම කාර්යාලයට අනුව, සාරා එඩ්වඩ්ස් නඩුවට අදාළව චූදිත පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් චෝදනා 12 ක් නැගී තිබේ. එයට, මීට පෙර අවස්ථා දෙකකදී ඔහු විසින් සිය ශරීරාංග අශෝභන අන්දමින් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධි 2 ක් ද අයත් ය. මේවා සිදුව තිබෙන්නේ වසර 6 කට පෙර ය. එක්සත් රාජධානියේ පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට මෙම සිද්ධිය නිසා මහත් අපකීර්තියකට පත් ව සිටියි. ‘විනය‘ භාරව සිටින පොලිස් නිලධාරීන් ශිෂ්ට සම්පන්න කිරීමේ අභියෝගය ඔවුන් ලංකාවට වඩා බරපතළ ලෙස භාර ගනිමින් සිටිති.

කෙසේ නමුත් මේ සිද්ධියේදී සාරා එවාඩ් මරා දැමූූ බව පිළිගැනීම හැරුණු විට ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඝාතකයා හෙළි කළේ නැත. 48 හැවිරිදි පොලිස් නිලධාරියාට සැප්තැම්බර් 29 වැනිදා දඬුවම් නියම කිරීමට නියමිත ය. එම තොරතුරු හෙළි කිරීමෙන් පලක් වේද යනුවෙන් ද කෙනෙකුට ඇසීමට පුළුවන. එම තොරතුරු වින්දිතයාගේ පවුලේ උදවියට සහ ඇයගේ සමීපතමයන්ට කම්පනයක් සහ ශෝකයක් මිස කිසිවක් ඉතිරි නොකරනු ඇත.

මෙම සිදුවීමට ආසන්න දිනයකදී නෙට්ෆ්ලික්ස් සමාගම Who Killed Sara? යනුවෙන් රූපවාහිනී වෘත්තාන්ත මාලාවක් මුදා හැරියේය. ඒ සාරාගේ සහ මේ සරාගේ නමේ තිබෙන්නේ සුළු වෙනසක් පමණි. නෙට්ෆ්ලික්ස් සාරාගේ නමේ අගට එච් අකුරක් නැත.

කෙසේ නමුත් සාරා එවාඩ් මිය ගොසිනි. නමුත් අනාගතයේදී සාරා එවාඩ්ලා මෙසේ මිය නොයා යුතුය.

‘‘මේ වේදනාව මට උරුමයි‘‘ යනුවෙන් ඝාතකයා අවසාන වශයෙන් කියා තිබේ. ලංකාවේ මෙන් එංගලන්තයේ මිනීමැරුම් නඩු වසර ගණන් දික්ගැස්සෙන්නේ නැත. සතියක් ඇතුළත චූදිතයා අත්අඩංගුවට ගැණිනි. මාස 4 ක් ගත වන තැන නඩු විභාගය අවසන් විණි. සැප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව දඬුවම ක්‍රියාත්මක වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි