×

තුර්කි සාම සාකච්ඡා, එක්සත් ජාතීන් සහ සෙලෙන්ස්කිගේ ට්‍රාන්ස්ලේෂන් අකරතැබ්බය..

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ සාකච්ඡාවේදී සෙලෙන්ස්කි මුහුණ පෑ ඉංග්‍රීසි අකරතැබ්බය..


ඉකුත් දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් යුක්රේනය බලා පිටත් වන බව නිවේදනය කර තිබූ අතර, ඒ රුසියානු – යුක්රේන යුධ තත්ත්වයට දේශපාලන විසඳුමක් සෙවීම, යුක්රේන ධාන්‍ය අපනයනය පිළිබඳ සොයා බැලීම සහ යුක්රේන සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන ය.

ඇන්ටෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික හමුවට යුක්රේනය නියෝජනය කරමින් එරට ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි ද තුර්කිය නියෝජනය කරමින් එරට ජනපති තයිප් අර්දොගන් ද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී යුක්රේනය සහ රුසියාව අතර පවතින සන්නද්ධ ගැටුම අවසාන කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, මේ පිළිබඳ අදහස් දක්වමින් තුර්කි ජනපති තයිප් අර්දොගන් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනයට ඉඩ අවකාශ සකසා ගැනීම සුභවාදී කරුණක් බවයි. මෙමඟින් සාමය පැවැත්වීමට පදනමක් වැටෙනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම, යුක්රේනයේ සහ රුසියාවේ රැඳවුම්භාරයේ සිටින සිරකරුවන් නිදහස් කර හුවමාරු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ බවත්, මෙම කරුණ ඉදිරියේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සමඟ සාකච්ඡා කිරීමට ද තමා අපේක්ෂා කරන බවත් අර්දොගන් ජනපතිවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව අතරතුර යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිට කුඩා අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුව තිබේ.

තම මව් භාෂාව වන යුක්රේන භාෂාවෙන් මහජනතාව ඇමතීමට උත්සුක සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවන්වලදී තම කතාව ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තකයකු ළඟ තබා ගනී. තුර්කි ජනපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ පැවැත්වූ මෙම සාකච්ඡාව බටහිර බලවතුන් ඇතුළු ජාත්‍යන්තරයේ තියුණු ඇස ගැටෙන්නක් බැවින් ඊට ලබා දෙන මාධ්‍ය ආවරණය අතරතුරදී සෙලෙන්ස්කි ජනපතිවරයා තම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට භාෂා පරිවර්තකයකු ලබාගෙන තිබේ.

එහෙත් මෙම පරිවර්තකයා සෙලෙන්ස්කි පැවසූ දෙය නිසියාකාරයෙන් පරිවර්තනය නොකිරීම නිසා ඊට අමනාප වූ යුක්රේන ජනපතිවරයා ඔහු විසින්ම සිය ප්‍රකාශය ඉංග්‍රීසියට හරවා නැවත වරක් පවසා තිබේ.

සෙලෙන්ස්කිට ලබාදුන් පරිවර්තකයා ඔහුගේ කතාව සාරාංශගත කොට පැවසීම තුළින් තමාට අවශ්‍ය වූ දෙය නිසියාකාරව සන්නිවේදනය නොවූ බව පවසමින් යුක්රේන ජනපතිවරයා මෙසේ පවසා ඇත;

“…ඒ වගේම මම කිව්වේ සම්භාවිතා සහිත කවුළුව ගැන. මම කිව්වේ, අප හැමදාම රුසියානු පාර්ශවයෙන් තුවක්කු සහ වෙඩි අත්දකින බැවින් එය විසඳීමට නොහැකි බවයි.. ඒ වගේම මම කිව්වේ ස්ලාවා යුක්රේනි කියලා. ඒ කියන්නේ යුක්රේනයට කීර්තිය කියලා… බොහොම ස්තූතියි. එය ඉතාම වැදගත්..”

ඒ සමඟම පරිවර්තකයා ද යුක්රේනයට කීර්තිය යනුවෙන් පවසා සිය වරද නිවැරදි කරගෙන ඇත.

ඡායාරූප: ඒඑෆ්පී

සබැඳි ලිපි:

මගේ න්‍යෂ්ඨික බලාගාරය ආරක්ෂා කරලා දෙන්න, සෙලෙන්ස්කිගෙන් ආයෙත් ජාත්‍යන්තර අඳෝනාවක්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යුක්රේනය බලා…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි