×

බවුසරයකින් වතුර ගෙනගොස් කාන්තාර සතුන්ගේ පිපාසාව නිවන කෙන්යාවේ ජල රජු

කෙන්යාවේ දුර බැහැර කාන්තාරබද ගමක, වතුර බවුසරවලින් වන සතුන්ට නියං සමයේ වතුර ලබාදෙන මිනිසෙකු සිටියි.


කාන්තාරයේ වෙසෙන සතුන් වැසි නැති සමයේදී පිපාසාව නිවාගන්නේ, ජලාශයකට පිරෙන ඔහුගේ ජල කඳෙනි.

ඔහුගේ සෞඛ්‍යය ද හොඳ මට්ටමක නැත. ඒ මදිවාට ඔහු මේ සියල්ල කරන්නේ තමන්ගේ පොකට්ටුවේ තිබෙන මුදල්වලිනි. පුරා වසර 5 ක් ඔහු දැන් මේ සත් කාර්යයයේ නියැළෙයි.

‘‘මගෙ නම පැට්‍රික්. මම සත්තු නියං කාලෙට මැරෙන එකෙන් වළක්වගන්නවා..‘‘ ඔහු කියයි.

‘‘කෙන්යාවේ ජල රජු‘‘.. ඔහුව දැන් හඳුන්වන්නේ එලෙස ය. ඔහුගේ නම පැට්‍රික් ම්ලුවා (Patrick Mwalua) ය.

කතාව ඇරඹෙන්නේ මෙයට වසර 5 කට පෙර ය. පැට්‍රික් දිනපතා වැඩට යා යුත්තේ කාන්තාරබද පෙදෙසක් හරහා ය. දිනක් එසේ වැඩට යමින් සිටින අතර ඔහු දුටුවේ පිපාසාව නිසා බිම ඇද වැටී මිය යන්නට ආසන්නව සිටි කුළු මීමෙකි. හිරු රැසින් පිච්චෙන කාන්තාරය මැද සතා අසරණව වැටී සිටියේය. ඒ කාන්තාරබද පාර ඔස්සේ දිනපතා යන්නේ පැට්‍රික් පමණක් නොවේ. ඔවුන් ද සත්වයා ව දකින්නට ඇත. ඉන්පසු අහක බලාගෙන යන්නට ඇත. නමුත් පැට්‍රික් වෙනස් මගක් ගත්තේය. ඔහු එතැන නතර වී සතාට පිපාසයට ජලය දී, එතෙකින් නොනැවතී තවත් මෙවැනි සතුන් කාන්තාරය තුළ කොතරම් නම් සිටිනවා විය යුතුදැයි සිතුවේය.

කෙන්යාව අද වන විට දේශගුණික වෙනස්කම්වල අනිටුඵල විඳිමින් සිටියි. කෙන්යාවේ සුරැකී තිබූ ජල උල්පත් වේගයෙන් සිඳී ගොස් ඇත. ගංගා ද අතුරුදන් වෙමින් ඇත.

‘‘අපි කුඩා කාලෙදි නිතරම වැසි වැස්සා. නමුත් මෑත කාලයේ දේශගුණය වෙනස් වෙලා. වැස්ස හරිම හිඟයි..‘‘ පැට්‍රික් කියයි. කාලගුණික රටාවන් පෙර අනාවැකි කිව නොහැකි ලෙසට වේගයෙන් වෙනස් විය.

වතුර ලීටර දස දහසක් සමග කිලෝමීටර සියයක්

තනි මිනිසෙකු ලෙස ඔහුට කළ හැක්කේ මොනවාද? ඔහු තීරණයක් ගත්තේය. ඔහු ළඟ ඉතිරිකරගත් මුදලක් විය. ඔහු බවුසරයක් කුලියට ගත්තේය. එහි මිරිදිය ජලය පුරවාගත්තේය. ඉන්පසු එය කාන්තාරය මැදට ගෙන ගොස් වියැලී ගිය ජලාශයකට එහි වූ ජල කඳ හැලුවේය. ඉඩෝර කාලයට එක දිනක්වත් නෑර ඔහු මෙසේ කළේය. ඔහු වතුර ලීටර දස දහසක් ගෙන නිවසේ සිට කිලෝමීටර 100 ක් දුරට රිය පදවාගෙන යයි. ඉන්පසු තනිවම, සද්දන්ත හෝස් බටවලින් ඔහු ජලාශය පුරවයි. එක ගමනකට ඔහුට ඩොලර් 100 ක් වැය වේ.

මුලින් වන සතුන් ඔහු දෙස බැලුවේ සැක මුසුව ය. මනුසතා විශ්වාස කළ නොහැක.

‘‘මම මැරෙන සතුන්ට ජීවිතය දීම තෝරාගත්තා..‘‘ ඔහු කියයි. ‘‘ඒ සතුන්ටත් ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා..‘‘

ඔව්, එය නිතරම තෝරාගැනීමකි. එක්කෝ ඔබට අහක බලාගෙන යා හැකිය. නැතිනම් ඒ වෙනුවෙන් යමක් කළ හැකිය.

දිනපතා මෙසේ කරන විට සත්තු ඔහු ගැන විශ්වාසය තබන්නට පටන් ගත්හ. අප්‍රිකානු අලි, කුළුමීමන්, චීටාවන්, අනතුරුදායක හිපෝ පමණක් නොව හයිනාවෝ ද පැට්‍රික්ගෙන් වතුර බොන්නට ආහ. වන සතුන්ට මැදි ව සිටියදී පැට්‍රික්ට මුලින් බය සිතිණි. නමුත් කාලයත් සමග උන් පැට්‍රික්ව තේරුම්ගත්තා වැන්න.

 

පැට්‍රික් යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින්නෙක් නොවේ. ඔහු ඇවිදින්නේ මදක් කොර ගසමිනි. අට අවුරුද්දක් තිස්සේ ඔහු වකුගඩු රෝගයකින් පීඩා විඳියි. ඉඩෝර සමයේදී සිය සියලු ඉතුරුම් වියදම් කරගනිමින් දිනපතා මහා මෙහෙයක් කරයි. පුරා වසර 5ක්… අවුරුදු පහක් යනු සුළුපටු කාලයක් නොවේ. මේ සමග පළවන වීඩියෝව 2017 වසරේදී රූගත කළ එකකි. නමුත් මේ වසරේ කෙන්යාවේ ඉඩෝර සමයේදී ද පැට්‍රික් එදා මෙන්ම වන සතුන්ගේ පිපාසය නිවමින් සිටියි.

Unsung Heros හෙවත් ගුණ නොවැයෙන සැබෑ විරුවන් මෙවැනි මිනිසුන් ය.

2019 වසරේ පැට්‍රික්…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි