×

Update: රුසියානු විපක්ෂ නායක නවාල්නිට නොවිචොක් වස ශරීරගත වෙලා – ජර්මානු චාන්සලර්වරියගෙන් රුසියාවට දැඩි විරෝධයක්

‘කිසියම් අයෙක් නවාල්නිව ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා. මේ බරපතළ ප්‍රශ්නවලට උත්තර දිය හැක්කේත් උත්තර දිය යුත්තේත් රුසියාවයි!‘‘ - ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්


රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි, නොවිචොක් නමැති ස්නායු විෂ ශරීරගත වීමට ලක්ව ඇති බව ජර්මානු ආණ්ඩුව අද සනාථ කළේය.

රුසියායේ සයිබීරියානු කලාපයේදී ගුවන් ගමනක් අතරතුර හදිසියේ රෝගාතුර වූ නවාල්නි, බර්ලිනයට ප්‍රතිකාර සඳහා ගෙන එනු ලැබුවේ පසුගිය මාසයේ ය. එතැන් පටන් ඔහු තවමත් කෝමා තත්වයේ පසුවෙයි.

නවාල්නි ජර්මනියේදී රෝහල්ගත කළ අවස්ථාව

නවාල්නිගේ කණ්ඩායම පවසන්නේ පුටින්ගේ නියෝග පරිදි නවාල්නි හට වස දෙන්නට ඇති බවයි. කෙසේ නමුත් ක්‍රෙම්ලිනය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

2018 වසරේදී එක්සත් රාජධානියේදී හිටපු රුසියානු ඔත්තුකරුවෙකු වූ සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය ද නොවිචොක් වස ශරීරගත වීමට ලක්ව තිබිණි. ඔවුන් දිගු කලක් රෝහල්ගත වී මරණයෙන් බේරුණ ද පසුව තවත් කාන්තාවක් මෙම වස වර්ගය හේතුවෙන් මරණයට පත් විය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මෙසේ පවසයි.

‘‘නවාල්නි මිනීමැරුම් උත්සාහයක වින්දතයෙකු බවට පත්ව තිබේ. රුසියානු ආණ්ඩුවට පමණක් පිළිතුරු දිය හැකි සහ ඔවුන් පිළිතුරු දිය යුතු බරපතළ ප්‍රශ්න පැන නැගී ඇත.‘‘

‘‘යම්කිසි අයෙක් ඔහුව නිහඬ කරන්නට උත්සාහ කළා. මුළු ජර්මානු ආණ්ඩුව වෙනුවෙන් මම මෙය දැඩි සේ හෙළා දකිනවා..‘‘

ජර්මානු චාන්සලර්වරිය මේ සිදුකර තිබෙන්නේ රහස් ප්‍රකාශයක් නොවේ. නමුත් මේ අතර ක්‍රෙම්ලිනය මේ ප්‍රකාශය ද බැහැර කරයි. ඔවුන් පවසන්නේ නවාල්නි හට නොවිචොක් ස්නායු විෂ ශරීරගත වී ඇති බවට ජර්මනියෙන් කිසිදු පුවතක් ලැබී නැති බවයි!

ඇන්ජෙලා මර්කෙල් තවදුරටත් පවසා තිබෙන්නේ ජර්මනිය, යුරෝපා සංගමය සහ නේටෝ සංවිධානය වෙත නවාල්නිගේ තත්වය පිළිබඳ විධිමත් දැනුම්දීමක් සිදුකිරීමට නියමිත බව ය.

නවාල්නි, සයිබීරියානු ගුවන්තොටුපොළේදී හෝ ගුවන් යානය තුළදී වස ශරීරගත වීමට ලක්වන්නට ඇති බව පෙර වාර්තාවලින් පැවසුණි.

මේ අතර රුසියාව මුල පටන්ම ප්‍රකාශ කරන්නේ, නවාල්නිට ඇට්‍රෝපින් (atropine) නමැති ස්නායු විෂ සමග ප්‍රතික්‍රියා කරන ඔසුවක් රුසියාවේදී ලබාදුන් නමුත් ඔහුට වස ශරීරගත වීම පිළිබඳ කිසිදු හෝඩුවාවක් රුසියාවේදී නොලැබුණු බවයි.

කෙසේ නමුත් මේ සියලු හතරබීරි කතා මැද නවාල්නි දැන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිහිසුන්ව බර්ලිනයේ වැතිර සිටියි.

මොකක්ද මේ නොවිචොක් ස්නායු විෂ?

නොවිචොක් ස්නායු විෂ කාණ්ඩයට ද තිබෙන්නේ වෙනත් ස්නායු විෂ වල තිබෙන ලක්ෂණයන්ම ය. ඒවා ස්නායුවල සිට මාංශපේශී දක්වා පණිවුඩ හුවමාරු වීම වළක්වා දමයි. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ කායික ක්‍රියාවලීන් අඩපණ වීමක් සිදුවිය හැකිය.

නොවිචොක් ස්නායු විෂ, දියර වශයෙන් මෙන්ම ඝන ද්‍රව්‍ය වශයෙන් ද දැකගත හැකිය. එයින් අදහස් වන්නේ ඒවා අතිශය කුඩා කුඩු වශයෙන් ද පැවතිය හැකි බවයි.

නොවිචොක් විෂ, අනෙක් සියලුම රසායනික අවිවලට වඩා විෂ සහිත බව කියැවේ. ඇතැම් නොවිචොක් විෂ වර්ග, තත්පර 30 සිට විනාඩි 2 ක් දක්වා කාලයකදී මුළු ශරීරයම අඩපණ කර දමයි.

රුසියානු බසින් ‘අලුත පැමිණි‘ හෙවත් ‘”newcomer” යන අරුත දෙන නොවිචොක්, 1970 සහ 1980 දශකවලදී සෝවියට් සංගමය විසින් විශේෂ රසායනාගාරවලදී කළ සොයාගැනීමකි.

නවාල්නි ගැන මේ හැටි තරහක්?

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකි, පුටින් අධිකාරියට එරෙහිව රට පුරා විරෝධතා දියත් කළ අයෙකි. ඔහු පුටින්ගේ පක්ෂය ‘හොරුන් හා වංචනිකයන්ගේ තැනක්‘ යැයි කියා තිබේ.

‘‘ඔවුන් රුසියාවේ ලේ උරා බොනවා..‘‘ යැයි ද නවාල්නි වරක් පැවසීය.

නවාල්නි පුටින්ගේ තරගකරුවා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටියත් ඔහුට එයට අවස්ථාව නොලැබී ගියේ, පුටින් පරිපාලනය විසින් ඔහු ව මුදල් වංචාවක වැරදිකරුවෙකු බවට පත් කිරීම මගිනි. ඒ ක්‍රෙම්ලිනය තමාගෙන් පළිගන්නා හැටි යැයි නවාල්නි ඒ ගැන කියා තිබේ.

පෙර ලිපිය –

ස්ක්‍රිපාල්ට දුන් වස වර්ගයම නවාල්නිටත් දීලා ! – රුසියානු විපක්ෂ නායකයා අසාධ්‍ය තත්වයෙන් ජර්මනියේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි