සංගීතය පුපුරා යයි. රොකට් හඬ ගිගුම් දෙයි. පෑන්කේන් ලහි ලහියේ පිළියෙළ වෙයි. ඒ, රුසියාවේ ඈත පෙරදිග, සැප්තැම්බර් 9 වැනිදා පැවති තත්වයයි. උතුරු කොරියානු හමුදා වාද්‍ය වෘන්දය ඇමරිකන් ධජ පිළිස්සෙන පින්තූර සමග දේශාභිමානී ගී වයති. මේ අතර වයඹ දිගට සැතපුම් සිය ගණනක් දුරින් රුසියානු, චීන සහ මොන්ගෝලියානු භට ඛණ්ඩ සිය හවුල් යුද සරඹ සඳහා සූදානම් වෙති. මේ සියල්ල සිදුවන්නේ ව්ලැදිමීර් පුටින් විසින් සංවිධානය කරන ලද තුන් දින වාර්ෂික ආර්ථික හමුව වන නැගෙනහිර ආර්ථික සංසදය රැස්වීමට සමගාමීව ය.Vladivostok Brother enemy
පැසිෆික් සයුරේ වෙරළ මත පිහිටා ඇති කුඩා වරාය නගරයක් වන ව්ලැදිවොස්කොත් සමග දිස්නය ගසන කුඩා පාලමකින් සම්බන්ධ වන රස්කි දූපතේ පුටින් සහ චීන ජනපති ෂී ජින් පින් කළු පැහැති කැවියර් මාළු බිත්තර රස බැලූහ. යහමින් වොඩ්කා පානය කළහ. රුසියානු තරුණියෝ පැරණි සෝවියට් යුගයේ පොප් ගීතවලට අනුව නර්තනයේ යෙදුණහ.
මේ සියල්ලෙන්ම සංකේතවත් වූයේ චීනය සමග රුසියාව විසින් අලුත්කරගෙන තිබෙන හාදකමයි. 2014 වසරේ ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමග බටහිර ලෝකය රුසියාව සමග පසමිතුරු වීම සහ අනතුරුව පැනවූ සම්බාධක නමැති හේතුව විසින් මේ මිතුරුකමට නව ජවයක් ලබා දී තිබේ. චීනයටද, ඇමරිකාව සමග පැටලී සිටින වෙළඳ යුද්ධය නිසා, චීනයට ද දැන් පුටින් සමග හාදකම අලුත් කරගන්නට හේතු තිබේ.
පුටින් විසින් නැවත නැවතත් ආසියානු යෝධයාට පොරොන්දු වී ඇති ආකාරයට ජනශුන්‍ය ඈත පෙරදිග චීනයට ඉතා වැදගත් ය. මේ දක්වා ඒ පොරොන්දු ඉටු නොවූ බව ඇත්තකි. නමුත් දෙදෙනාගේ යාළු කම, යුධමය ක්‍රියාන්විත සහ දේශපාලන මිතුරන් බවට පත්වීමට අමතරව පුද්ගලික හිතවත්කම වඩවා ගැනීම දක්වා ද දුරදිග ගොස් ඇත. මේ ආර්ථික හමුවේදී කෙරුණු එකම වැදගත් නිවේදනය ලෙස සැලකිය හැක්කේ චීන ඊ කොමර්ස් දැවැන්තයෙකු වන අලිබබා සමාගම සහ ක්‍රෙම්ලින් හිතවාදී ධන කුවේරයෙකු සමග රුසියාවේ වෙළඳ එකඟතාවක් ඇති වීම පමණි.
මෙම ධනකුවේරයාගේ නම ඇලිෂර් උස්මානොව් ය. චීනයේ ෆේස්බුක්වලට විකල්පයක් ලෙස පවතින සමාජ ජාලයේ හිමිකරු ඔහු වන අතර, රුසියාව තුළ ද ෆේස්බුක් වෙනුවට එවැනි විකල්පයක් අවශ්‍ය බව පුටින් විශ්වාස කරයි. මේ අනුව පෙනී යන්නේ චීනයේ මුදල් බලයට වඩා චීන තාක්ෂණය ගැන පුටින් බලාපොරොත්තු තබන බවකි.
රුසියාව චීනය වෙත නැඹුරු වීමේ ප්‍රධාන වාසිය ලැබෙන්නේ පුටින්ට වඩා පුටින් වටා සිටින ඔහුගේ සහචර ධනකුවේරයන් හට ය. ගෑස්ප්‍රොම් සහ රොස්නෙෆ්ට් වැනි රාජ්‍ය තෙල් සහ ගෑස් ඒකාධිකාරයේ දැවැන්තයන් හට ය. චීනය විසින් රුසියාවේ සිදුකර ඇත්තේ සාපේක්ෂව මධ්‍යස්ථ ආයෝජනයක් යැයි කියන්නට පුළුවන. නමුත් චීනය බොහෝ විට සිදුකරන පරිදි, ඒ ඉලක්කම් අපහැදිලි ය. එයට හේතුව, චීනය සෘජු ආයෝජනවලට වඩා, සිංගප්පූරුව වැනි රටවල සිට අක්වෙරළ සමාගම් හරහා ආයෝජන සිදුකිරීමට කැමැත්තක් දක්වන හෙයිනි. කෙසේ නමුත්, අවම වශයෙන් 1991 වසරේ පටන් මේ දක්වා චීනය විසින් රුසියාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 40 ක් පමණ ආයෝජනය කර ඇති බව පැවසේ. එයින් ඩොලර් බිලියන 20ක්ම ආයෝජනය කර තිබෙන්නේ ගත වූ වසර 6 ක කාලය තුළ ය.
මේ ආයෝජනය, යුරෝපය විසින් රුසියාව තුළ මේ තාක් කාලයකට සිදුකර ඇති සියලු ආයෝජන පරදවයි. මේ අතර, යුරෝපය තුළ චීනය විසින් පවා මෙපමණ ආයෝජනයක් සිදුකර නැත.
මේ අතර, රුසියාවට යොදවා ඇති චීන සල්ලිවලින් ඈත පෙරදිග රුසියාව වෙත ළඟා වන්නේ ඉතා සුළු කොටසක් පමණි. එහිදී ද චීනයේ මැදිහත්වීම කුඩා නිෂ්පාදකයන් හා ගොවිපොළ හිමියන් වෙත පමණක් සීමා වී තිබේ.
ඈත පෙරදිග රුසියාවේ පුද්ගලික ව්‍යාපාරවල සාර්ථකත්වය ගැන අසන්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි.
චීනය තවමත් බලශක්තිය සහ අමුද්‍රව්‍ය පිළිබඳ කදිම මූලාශ්‍රයක් වශයෙන් රුසියාව දෙස බලයි. ඇමරිකාව සමග චීනයේ පවතින වෙළඳ යුද්ධය නිසා ද චීනය රුසියාව දෙසට වැඩිපුර නැඹුරු වී තිබේ. රුසියාවේ සෝයාබෝංචි පිළිබඳ චීනය ඉතා උනන්දු ය. සෝයාබෝංචි වගා කිරීම සඳහා රුසියාවෙන් හෙක්ටයාර මිලියන 1 ක භූමියක් ලබාදෙන බවට රුසියානු බලධාරීහු නිතර නිතර පොරොන්දු වෙති. නමුත් ව්ලැඩිවොස්ටොක් හි චීන විශේෂඥයෙකු වන ඉවාන් සුවෙන්කෝ පෙන්වා දෙන පරිදි එතරම් භූමි ප්‍රමාණයක් ලබාදීමට රුසියාවට හැකියාවක් පවා නැත. එසේම රුසියාවේ සෝයා බෝංචි නිෂ්පාදනය මේ වන විට එහි උපරිමය වෙත ළඟා වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. ඒ අනුව රුසියාව විසින් චීනයට ලබාදෙන මෙවැනි පොරොන්දු, ‘කරන බව අනුකරණයෙන් පෙන්වීමට‘ වඩා වැඩි දෙයක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි. මෙවැනි ‘ඩීල්‘ එකක් සිදුවුවහොත්, එය චීනය රැවටීමක් ද වනු ඇත.
ඇතැම් රුසියානු සමාගම් පැමිණිලි කරන්නේ චීනය සිය නිෂ්පාදනවලට වෙළඳ තහංචි දමා ඇති බවයි. මේ අතරම රුසියානු වෙළඳපොළ ද චීන බඩු භාණ්ඩවලින් පිරී ඉතිරී ගොස් තිබේ. රුසියාවේ සහයෝගිතා රාජ්‍යයක් ලෙස පවතින ඈත කිර්ගිස්ථානය වැනි පළාත්වල මේ තත්වය අති බහුල ය.
මේ සියල්ල අතරවාරයේ රුසියාව සහ චීනය අතර දේශසීමා මායිම් පිළිබඳ පවතින්නේ අනෝන්‍ය අවබෝධයක් නොවන බව ද පෙනේ. චීනයත් රුසියාවත් යා කරමින් දේශසීමා මායිම්වල යෝධ පාලම් දෙකක් තැනීමට ලබාදුන් පොරොන්දු ද මේ වන විට කල් ඉකුත් වෙමින් තිබේ.
එයින් එකක් වන රේල්වේ පාලම, මුලින්ම යෝජනා වූයේ මෙයට දශකයටත් ඉහතදී ය. දේශසීමාව තනන අමූර් නදිය දක්වා චීනය සිය ඉදිකිරීම් කොටස සම්පූර්ණ කළේය. නමුත් එයට වඩා අඩු වැඩ කොටසක් අවසන් කිරීමට තිබියදී පවා රුසියාව, තමන්ගේ කොටස නිමා කිරීමට ඉක්මන් වුණේ නැත. අවසන් දින ගණනාවක් ඉක්ම යාමෙන් පසුව රුසියාව, මීළඟ ගිම්හානය වන විට එහි වැඩ අවසන් කරන බවට අලුත් පොරොන්දුවක් ලබා දී ඇත. සෝවියට් යුගය අවසන් වීමෙන් පසු අදත් වැඩි වෙනසක් නොපෙන්වන බ්ලාගොව්ෂෙන්ස්ක් පළාතට ඉහළින් දිවෙන විට මෝටර් රථ වාහන සඳහා වෙනම මංතීරු දෙකක් සමග එය ඉදිකරන්නට ද රුසියාව අලුතෙන් පොරොන්දු විය.
චීනය සහ රුසියාව අතර අනෝන්‍ය සබඳතා උපක්‍රමශීලී ලෙස සහ සැකයක් දරාගෙන පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නේ රුසියාවේ ආරක්ෂක අංශවල තත්වය නිසා ය. රුසියානු ආරක්ෂක අංශය විසින් චීනය තවම දකින්නේ සැකකාරයෙකු ලෙස ය. නමුත් රුසියානු මහජනයාගේ මතය මෙයට වඩා මදක් වෙනස් ය. ඔවුන් චීනය දකින්නේ තර්ජනයකට වඩා, අවස්ථාවන් රැසක් ලබාදිය හැකි මිතුරෙකු ලෙස ය. ඈත පෙරදිග කලාපය වෙත මොස්කව් පාලනය දක්වන යටත්විජිතවාදී මන්දෝත්සාහීත්වය ගැන ඔවුහු කළකිරී සිටිති.
ඈත පෙරදිග උගතෙකු ලෙස සැලකෙන වික්තර් ලැරින්ට අනුව, මෙහි වෙසෙන ජනතාවගෙන් 1/3ක්ම මොස්කව් ප්‍රතිපත්ති සලකන්නේ සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙස ය. අන්තර්ජාතික ත්‍රස්තවාදයට නොදෙවෙනි බලපෑමක් එයින් ඇතිවන බව ඔවුහු සිතති. මොස්කව් පාලනය විසින් ඈත පෙරදිගට ලබා දී ඇති බදු සහන පවා මිනිසුන්ට ‘දැනෙන‘ ඒවා බවට පත්වී නැත.
ඈත පෙරදිග ජනතාවගේ මේ අපේක්ෂා භංගත්වය කදිමට පෙනී ගිය අවස්ථාවක් වූයේ පළාත්බද මැතිවරණයයි. පසුගියදා පැවති පළාත්බද මැතිවරණයේදී ක්‍රෙම්ලිනයේ සහාය ලද අපේක්ෂකයන් ජනතා මනාපය ලබා තිබුණේ ඉතා දුර්වල ලෙස ය. එය පුටින්ගේ මධ්‍යම රජයට ගැසූ අතුල්පහරක් බඳු විණි.
ඈත පෙරදිග රුසියාවේ ජනයා චීනය දකින්නේ වෙනස්ම මුහුණුවරකිනි. තමන්ට බටහිර පන්නයේ ජීවන රටාවක් වෙත ඇදී යාමට ඇති පාලම චීනය සේ ඔවුහු දකිති. එපමණක් නොව, පුදුමයකට මෙන් මානව හිමිකම් සහ දේපළ අයිතිය ද ඔවුන් දකින්නේ චීනයේ මැදිහත් වීමකින් ලබාගත හැකි දේවල් ලෙස ය!. රුසියාවේ දේපළ අයිතිය අතිශය දුර්වල තත්වයක පවතින්නේත් පුටින්ගේ බලපෑම නිසා ය. දේපළ අයිතිය පුරවැසියන්ට ලබාදීමට පුටින් පාලනය ඉතා මැලි ය. මේ අතර, චීනයේ මානව හිමිකම් වාර්තාව ලොවම දනියි. එසේ තිබියදීත් ඔවුන් චීනය වඩාත් මානවවාදී යැයි සිතීමෙන් පෙනී යන්නේ, රුසියාවේ පුටින් පාලනය කොතරම් ඒකාධිපති ද යන්න විය යුතුය.
සැබවින්ම උතුරු කොරියාවේ ගීතිකා, වොඩ්කා හෝ රොකට් මිසයිල ගැන සිත් කරදර කර ගන්නවාට වඩා ඈත පෙරදිග ජනතාවට පුටින් සමග බේරාගැනීමට විශාල ප්‍රශ්න තිබේ.
‘ද ඉකොනොමිස්ට්‘ ඇසුරෙනි.