×

“Wham” සමඟින් පොප් සංගීතයේ මිහිර සොයා ගිය ගමන!

පොප් සංගීතයෙන් හොලිවුඩය මුසපත් කළ ඩබලක් වන George Michael සහ Andrew Ridgeley සමඟ බිහි වූ “Wham” සංගීත කණ්ඩායම ඉලක්ක කරමින් මෙම වසරෙහි Netflix තුළින් ඔබ අප අතරට ආ “Wham” ගැනයි මේ සටහන… 1983 වසරේදී කරළියට ආ ඔවුන්ගේ පළමු ඇල්බමය වන Fantastic හි 40 වන සංවත්සරය සනිටුහන් කරමින් මෙම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ. මෙම නිර්මාණය […]


පොප් සංගීතයෙන් හොලිවුඩය මුසපත් කළ ඩබලක් වන George Michael සහ Andrew Ridgeley සමඟ බිහි වූ “Wham” සංගීත කණ්ඩායම ඉලක්ක කරමින් මෙම වසරෙහි Netflix තුළින් ඔබ අප අතරට ආ “Wham” ගැනයි මේ සටහන…

1983 වසරේදී කරළියට ආ ඔවුන්ගේ පළමු ඇල්බමය වන Fantastic හි 40 වන සංවත්සරය සනිටුහන් කරමින් මෙම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ. මෙම නිර්මාණය ක්‍රිස් ස්මිත් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මූලික වශයෙන් චිත්‍රපටය පුරාවට George Michael සහ Andrew Ridgeley දෙදෙනාගේ දුර්ලභ දර්ශන පට, සම්මුඛ සාකච්ඡා දර්ශන, ඔවුන්ගේ රූපවාහිනී දර්ශන, ප්‍රසංග දර්ශන, පෞද්ගලික නිවහනෙහි වීඩියෝ දර්ශන සහ තිරය පිටුපස සිදු වූ කතාබස් සහ පවුලේ අයවලුන්ගේ අදහස් එක් කොට බිහිවුණු හරි අපූරු නිර්මාණයකි. John Battsek , Chris Smith, Simon Halfon, Alex Black නිෂ්පාදනයෙන් දායක විය. මිනිත්තු 92 පුරාවට හරි අපූරුවට දිවෙන මෙම නිර්මාණය ජෝර්ජ් මයිකල් ගේ මතකයට නව පණක් එක් කරයි.

“Wham”
Michael සහ Ridgeley ඔවුන් එකිනෙකාට සිනහ නඟමින් ගත් වීඩියෝ දර්ශනයකින් පිවිසුමක් ගත් මෙය අනෙක් නිර්මාණවලට සාපේක්ෂව හාත්පසින්ම වෙනස් වූවකි. 1975 දී බුෂේ මීඩ්ස් පාසලේදී ප්‍රථම වරට මුණගැසුණු Ridgeley සහ Michael ගේ කතාව පටන් ගැම්මක් ලෙස දක්වමින් වීඩියෝ සහ කිසිදා නොදුටු සංරක්ෂිත දර්ශන ඇතුළත්ව ඔවුන්ගේ ගමන ආවරණය කරයි.

චිත්‍රපටිය පුරාම Ridgeley ගේ මව විසින් එකතු කරගත් සටහන් සහ පින්තූර සහිත ස්ක්‍රැප් පොත් භාවිතා කරමින් චිත්‍රපටය ගැටගසාගෙන යාමට ඒවා උදවු කරගෙන ඇත. ඔවුන් “Wham Rap!” හි සම්පූර්ණ අනුවාදයක් සමඟින් ඔවුන්ගේ පළමු demo ටේප් එක සකසන ආකාරය පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කරයි. Ridgeley ගේ ඉදිරිපස කාමරයේ “කෙයාර්ලස් විස්පර්” හි කොටසක් පටිගත කරන ලද අතර, 1982 මාර්තු මාසයේදී Innervision Records සමඟ වාර්තාගත ගිවිසුමක් අත්සන් කිරීමත් පෙන්වා දෙයි.



ඔවුන්ගේ පළමු ගීතය වන “Wham Rap! (Enjoy What To Do)” නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ එවකට පැවති ගීත ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයකට ඒමත් සමඟ සංගීත කණ්ඩායමට නව හැරවුම් ලක්ෂයක් ඇති විය.1982 වසරේ දී නිකුත් වූ “Young Guns (Go for It)” යන නිර්මාණය ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබේ.

1984 වන විට “Wham” ඔවුන්ගේ පළමු අංක 1 ගීතය වන “Wake Me Up Before You Go-Go” හි විශාල සාර්ථකත්වයක් සටහන් කරපු අයුරුත් මෙහිදී සඳහන් කෙරේ.



චිත්‍රපටය ඇත්තටම මොවුන් තාමත් ජීවමානය යන්න අපට පසක් කර දීමට සමත්කම් දක්වන අතර අවසානය හරි ලස්සනට පසුබිම් සංගීතයට “I’m Your Man” යන ගීතය සහ එහි වීඩියෝ දර්ශන එක් කරමින් ලස්සන අවසානයක් සනිටුහන් කරයි.


මිනිසුන් මැකී ගියත්, තවමත් මතකය සුවඳ දෙනවා වගේම සංගීතය කියන්නෙත් නොමැරෙන මතකාවර්ජනයක් කීවොත් මා නිවැරදිය. “Wham” කියන අකුරු හතරට හරි රහක් එකතු කරමින් Netflix ඇතුළු ආයතන සමූහය කළ මේ රසවත් නිර්මාණය අපි අගය කර සිටිමු!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි