×

වසර 2041 දී ඉන්දියාවට මාරක තාප රැල්ලක් ! – ‘ද ඉකොනොමිස්ට්‘ අනාවැකිය දකුණු ඉන්දියාවේ අසල්වැසි ලංකාවටත් අදාළ ද?

‘ද ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ What if a deadly heatwave hit India? ලිපියේ පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයයි.


ද ඉකොනොමිස්ට් සඟරාව සිය What If? විශේෂාංගය යටතේ පළ කරන මෙම ලිපිය ඓතිහාසික කාරණා, වත්මන් පෙරැයීම් (අනාවැකි) සහ සත්‍ය විද්‍යාව භාවිතා කරමින් අනාගතය ගැන සිදුකරන අනාවැකියකි.

* * *

ඉන්දියවේ නවදිල්ලි අගනුවර මහා මාර්ග උණු වී වැගිරෙන්නට පටන් ගෙන තිබේ. නගරයේ උණුසුම සෙල්සියස් අංශක 49.3ට (ෆැරන්හයිඩ් අංශක 120.7)ට වැඩි වී ඇත්තේ රටේ ඉතිහාසයේ මාරකම තාප රැල්ල එහි තුන්වැනි සතියත් බල පැවැත්වෙන බැවිනි. මේ අතර ජූනි 23 වැනිදා අන්ද්‍රා ප්‍රදේශ් හි මාර්කපූර් වෙතින් වාර්තා වූ සෙල්සියස් අංශක 52.1 ත් සමග ඉන්දියාවේ දකුණ, මීටත් වඩා රත් වී තිබේ. නමුත් අර්බුදයේ කේන්ද්‍රය වන්නේ චෙන්නායි ය. රෝහල්, අධිතාපය සබැඳි හෘද රෝගවලට ගොදුරු වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත. ජවහර්ලාල් නේරු රෝහල අසලදී 11 දෙනෙකු මිය ගොස් ඇත්තේ පෝලිම් ගැසී සිටින අතරවාරයේ අධික තාපයට නිරාවරණය වීම නිසා ය.

චෙන්නායි හි සැබෑ ඝාතකයා තෙතමනයයි. වායුගෝලයේ තාපය සහ තෙතමනය විසින් ‘තෙත්-බල්බ උණුසුම‘ක් ඇති කර තිබේ. ඒ අනුව මතුපිටින් වාෂ්පීභවනය වීම තුළ එය ඇතැම් විටෙක සිසිල් විය හැකි වුවත්, මිනිස් සිරුරේ උණුසුම වන සෙල්සියස් අංශක 37 බැවින්, සිරුර සිසිල් කර ගැනීම සඳහා ද මිනිසුන්ට දහදිය හෙළීමට සිදු වේ. නමුත් තෙත් බල්බයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 හෝ ඊට ඉහළ අගයක් ගන්නා විට ‘බොහෝ කායික ශ්‍රමයන් යෙදවීම අනාරක්ෂිත විය හැකි‘ යැයි ටෙනසීස් හි වායුගෝලීය භෞතික විද්‍යාඥයෙකු වන මොයෙටාසිම් අෂ්ෆාක් කියයි. තෙත් බල්බ උණුසුම සෙල්සියස් අංශක 35 ට වඩා වැඩි වූ විට දිවි රැක ගත හැක්කේ මිනිසුන් ස්වල්පයකට පමණි. ගතවූ දශකය තුළ චෙන්නාහි හි තෙත් බල්බ උණුසුම ක්‍රමයෙන් සෙල්සියස් 32 ට වඩා වැඩි විය. නමුත් ගතවූ සතියේ වැඩි හරියකදී මෙම උණුසුම මාරක අංශක 36 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මූලික වශයෙන්, තාපයෙන් පැන යා නොහැකි අය මරණය වෙත ගොනු වෙති. විශේෂයෙන්ම නගරයේ සිටින නිවෙස් නැති ජනතාව. නමුත් වායු සමීකරණය සඳහා නගරයේ බලශක්තියෙන් වැඩි කොටස උරා ගන්නා විට පැය ගණන් විදුලිය විසන්ධි වීම් සිදු වේ. එහිදී ජෙනරේටරයක් නැති සියලු දෙනා මාරක තාපයට නිරාවරණය වෙති. නිල දත්තවලට අනුව තාප රැල්ල ඇරඹීමෙන් පසු චෙන්නායි හි 17,642 දෙනා මරණයට පත් ව තිබේ. එය ඉන්දියාවේ ජාතික මරණ සංඛ්‍යාව වන 52,348 න් 1/3 කි. මේවා කම්පනය ඇති කරවනසුලු සංඛ්‍යා දත්ත වන නමුත් අසල හයිද්‍රාබාදයේ අත්දැකීම මෙයටත් වඩා බිහිසුණු විය හැකිය.

මෙම නගර දෙකම මිලියන 10කට අධික ජනගහනයක් ජීවත් වන සමාන පරිසරවලින් යුක්ත ය. නමුත් හයිද්‍රාබාදයෙන් වාර්තා වන්නේ ලියාපදිංචි මරණ 26 ක් පමණි. එය, දකුණු ඉන්දියාවේ ඕනෑම නගරයක අඩුම මරණ සංඛ්‍යාවයි. එය නිල දත්ත වැරදීමක් නොවේ. ‘‘හයිද්‍රාබාදය පමණක් මෙයට මුහුණ දෙනවා‘‘ යැයි චෙන්නායි නගරාධිපති රාමනාද ශ්‍රීනිවාසන් කියයි. හයිද්‍රාබාදය නියත වශයෙන්ම රටේ පමණක් නොව ලෝකයේම තාප තරංග පාලනයේ නියමුවා බවට පත් ව සිටියි. සැබවින්ම ඔවුන් අනෙක් අයට වඩා වෙනස් ලෙස කරන්නේ කුමක්ද?

ඉන්දියාවේ වත්මන් තාප තරංගය, විවිධ සාධකවල අවාසනාවන්ත බලපෑමේ ප්‍රතිඵලයකි. අසාමාන්‍ය ලෙස ප්‍රබල වයඹදිග සුළං පාකිස්තානය දෙසින් හමන්නේ බෙංගාල බොක්කේ තෙතබරිත වා තලය උප මහද්වීපය වෙතට තල්ලු කරමිනි. එහි ප්‍රතිඵලක් ලෙසට කලාපයේ චිරාගත පූර්ව මෝසම් වැසි මේ වසරේ සක්‍රිය වී නැත. එනිසා දකුණු ඉන්දියාවෙන් වැඩි කොටස වියළි සහ අසාමාන්‍ය කර්කශ බවකට පත් කර තිබේ. වත්මන් වියළි සෘතුවේ පෙර අනාවැකි කිව නොහැකි වූ දික්ගැස්සීම මගින් තත්වය සංකීර්ණ කර තිබේ. සාමාන්‍යයෙන් මෝසම ඇරඹෙන්නේ ජූනි මස මුල නමුත් මෙවර එය එසේ නොවේ. ප්‍රබල එල්නිනෝ බලපෑමක් විසින් තාප උණුසුම තවත් දරුණු කර ඇත.

මෙය, මාරක බවින් අඩු වුවත් මෙයට වසර 26කට පෙර හයිද්‍රාබාදයට පැන නගරය සිසිල් කළ තාප තරංගයම වේ. 2015 වසරේදී තෙලඟනාව සහ ඒ අවට නගරවල වැසියෝ 585 දෙනෙක් සමේ තාප බුබුළු දැමීම ඇතුළු ගැටළුවලින් මරණයට පත් වූහ. එතැන් පටන් නාගරික තාපය අඩුකරන තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ සම්බන්ධයෙන් හයිද්‍රාබාදය තීරණාත්මක තැනක් බවට පත් විය.

බොහෝ තාප තරංගවලදී ඉහළම උෂ්ණත්වය වාර්තා වන්නේ නගර සහ සෙසු නාගරික පෙදෙස්වලිනි. මෙවිට තාපය අඩු කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ එහි පරාවර්තනය හෝ ඇල්බිඩෝව (“albedo”) අවමකර ගැනීමයි. සූර්ය විකිරණයෙන් වැඩි කොටස නගරයකින් ඈතට විසිරේ. අඩු කොටසක් තාප ශක්තිය ලෙස ප්‍රති-විකිරණය මගින් අවශෝෂණය කරයි. එනිසා හයිද්‍රාබාදයේ නගර සභාව වසර 2017 පටන් අඩු ආදායම්ලාභී නිවාස සහිත කලාපවල ‘සිසිල් වහල‘ ක්‍රමය (“cool roofs” programme) අත්හදා බැලුවේය.

එහි ප්‍රතිඵල අතිශය යහපත් විය. නිවෙස් තුළ උෂ්ණත්වය වියදම් අඩු, සුදු පොලිඑතිලීන් වැසුම් විසින් සෙල්සියස් අංශක 2 කින් අඩු කර දැමුවේය. ඒ අනුව වසර 2019 දී තෙළඟනාව ප්‍රාන්තය පුරාම “cool roofs” වැඩසටහන දියත් කළේ, වාණිජ සහ රජයේ ගොඩනැගිලිවලටත්, රජයෙන් ලබාදෙන අඩු ආදායම්ලාභී නිවාසවලටත් සිසිල් වහල ක්‍රමය යෙදීම අනිවාර්ය කරමිනි. වසර 2027 වන විට හයිද්‍රාබාදයේ ගොඩනැගිලි 8,000 කට වැඩි සංඛ්‍යාවක පියැසි සෙවිලි වී තිබුණේ ‘සිසිල් තහඩු‘වලිනි.

මෙම පරිශ්‍රමය වසර 2030 දී තවත් ව්‍යාප්ත කෙරුණේ ඉන්දියාවේ ජාතික ග්‍රාමීය රැකියා සුරක්ෂිත කිරීමේ පනත (nrega) හරහා ය. එය ග්‍රාමීය රැකියා සුරැකුම්කරණ වැඩපිළිවෙළකි. දුප්පත් නාගරික පෙදෙස් සඳහා ද එය ව්‍යාප්ත කරනු ලැබිණි. මෙම වැඩසටහන යටතේ හයිද්‍රාබාද් නුවර රැකියා විරහිත ප්‍ර දේශවාසීන් ව මුඩුක්කු සහ තාවකාලික නිවාසවල ද මතුපිට හුණු මිශ්‍රිත සුදු පාට ගෑම සඳහා යෙදවිණි. නිවාස 25,000 කට අධික සංඛ්‍යාවක් මේ අනුව උග්‍ර තාපයෙන් ආරක්ෂා කර ගත හැකි විය. හයිද්‍රාබාදය මෙම සංකල්පය ලබාගත්තේ, සිය ජීවිත වාෂ්පීභවනයෙන් සහ වායුගෝලීය තෙතමනයෙන් බේරා ගැනීම සඳහා සෙවණ සදන ගස් මිලියන 2.5 ක් සිටවූ දකුණු අප්‍රිකාවෙනි.

හයිද්‍රාබාද් සරසවිය විසින් සිදුකළ විශ්ලේෂණයකින් සොයාගත්තේ මේ සියලු මුලපිරීම් විසින්, 2020 දශකයේ මුල පටන් මේ දක්වා නගරයේ දළ බාහිර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.9 කින් සමස්තයක් ලෙස අඩු කර ඇති බවයි. එය විශාල අගයක් ලෙස පෙනී යා නොහැකි වුවත්, දැන් චෙන්නායි හි පවතින තත්වයට අනුව කුඩා වෙනසකින් පවා විශාල විපර්යාසයක් කළ හැකි බව පෙනේ. 2030 දශකය වන තෙක් චෙන්නායි පැවතුණේ මාරක තාප තරංගවලින් වියුක්ත කලාපයක් ලෙස ය. එය සාගරය අසලින්ම පිහිටා තිබීම එයට හේතු විය. නමුත් ගතවූ වර්ෂවලදී තාප තරංගවලට නිතර නිතර සහ වඩාත් තීව්‍ර ලෙස චෙන්නායි ගොදුරු වූයේ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස ය.

මෙම තාප තරංගය අනාගතයේ පැමිණිය හැකි දේවල පෙරනිමිත්තකි. ලෝකය වසර 2062 වන විට කාබන් විමෝනය ශුන්‍යයක් බවට පත් කර ගැනීමට සැලසුම් කර ඇතත්, අතීතයේ සිදුකළ කාබන් විමෝචනවල විපාක තවත් දශක ගණනාවක් තිස්සේ දැකගත හැකි වනු ඇත. මාරක තාප තරංග ලබන සියවසේදී ද තව තවත් තීව්‍ර ලෙස හටගනු ඇතැයි අපේක්ෂා කෙරේ. විද්‍යාඥයෝ කලක් තිස්සේ මෙය දැන සිටියහ. 2020 දශකයේ මුල භාගයේ පටන් මැදපෙරදිග, දකුණු ආසියාවේ සහ වසර 2100 වන විට චීනයේ පොදු ලක්ෂණයක් වශයෙන් මාරක උණුසුමක් ඇති කරනු ඇතැයි විශේෂඥයන් කියා තිබේ. නමුත්, තාප තරංගවල බලපෑම බොහෝ ප්‍රතිපත්ති සාදන්නන් ව තවමත් මවිතයට පත් කරමින් ඇත.

හයිද්‍රාබාදය ගත් මග ගැනීමට නගර සුළු සංඛ්‍යාවක් මැදිහත්වීම් සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලයන් දැන් පැහැදිලි ය. වාසනාවකට මෙන්, යමක් ඇරඹීමට ප්‍රමාද වැඩිය කියා දෙයක් නැත. හැඩගැසීම (අනුවර්තන) පටන් ගැනීමට හොඳම කාලය වී තිබුණේ දැනට වසර 20කට පෙර කාලය වන වන නමුත්, එයට හොඳම දෙවැනි කාලය මෙයයි.

THE ECONOMIST සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
What if a deadly heatwave hit India?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි