×

වට්ස්ඇප් තාවකාලිකව පසුබසී – නව කොන්දේසි මාලාව අනුමත කිරීමේ අවසාන දිනය මැයි මස දී!

ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන් බිලියන 2ක් පමණ වේ. මෙම කොන්දේසි පණවන්නේ එකී සියළු පරිශීලකයන් වෙත ය.


ඉකුත් දින කිහිපය තුළ සමාජයේ වැඩි වශයෙන් ම කතාබහට ලක්වූ සමාජ මාධ්‍ය යෙදුම වූයේ වට්ස්ඇප් ය.

ඒ අන් කවරක් නිසා නොව, වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම විසින් හඳුන්වා දී තිබූ නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නිසා ය.

බැලූ බැල්මට කලකට වරක් මතුවන යාවත්කාලීනයක් මෙන් පෙනුන ද එහි අඩංගු කරුණු හොඳින් කියවා බැලූ විට පැහැදිලි වන්නේ එය ඔබගේ හිසට ගිනි අවියක් තබා කප්පම් ඉල්ලන්නාක් මෙන් බඳු ප්‍රතිපත්ති මාලාවක් බවයි.

එම ප්‍රතිපත්ති අඩංගු පණිවුඩය පහත දැක්වේ.

මෙම පණිවුඩය ඔබගේ ස්මාර්ට් දුරකතනයටත් පැමිණියා නේද?

මෙම පණිවුඩය ට අනුව එකී කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව එළඹෙන පෙබරවාරි 08 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි. මෙහිදී වට්ස්ඇප් යෙදුම ඔබට විකල්පයක් ලබා දෙන්නේ ද නැත.

ඒ් අනුව ඉහත ප්‍රතිපත්තීන් වලට එකඟ නොවන පරිශීලකයන් හට වට්ස්ඇප් යෙදුම තම දුරකතනයෙන් ඉවත් කිරීමට සිදුවේ.

ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන් බිලියන 2ක් පමණ වේ. මෙම කොන්දේසි පණවන්නේ එකී සියළු පරිශීලකයන් වෙත ය.

කෙසේ වෙතත්, මේ වන විට වට්ස්ඇප් සමාගම නිවේදනය කොට ඇත්තේ අදාළ කොන්දේසි සමඟ එකඟ වීම සඳහා ඇති අවසාන දිනය මැයි මස දක්වා දීර්ඝ කරන ලද බවයි.

වට්ස්ඇප් යෙදුම මඟින් ඉදිරිපත් කරන මෙම නව ප්‍රතිපත්ති මාලාව කෙරේ ලොව පුරා පරිශීලකයන් සිය බලවත් අප්‍රසාදය පළ කොට තිබිණි. ඊට ප්‍රධානම හේතුව වූයේ එකී කොන්දේසි වලට එකඟ වීම තුළින් ඔබ වට්ස්ඇප් යෙදුම හරහා සිදුකරන්නේ කුමක්ද යන්න අධීක්ෂණය කිරීමට අදාළ සමාගමට බලය ලබාදීම නිසා යි.

වට්ස්ඇප් යෙදුම මේ වන විට ෆේස්බුක් සමාගම විසින් මිළදී ගෙන තිබේ. ඒ අනුව ඉහත කොන්දේසි වලට එකඟ වීම තුළින් ෆේස්බුක් සමාගමට ඔබ පෞද්ගලික මට්ටමින් වට්ස්ඇප් යෙදුම හරහා සිදුකරන්නේ කුමක්ද යන්න අධීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ ය යන තර්කය ගොඩ නැඟිය හැක.

මේ සමඟ වට්සැප් සිය පරිශීලකයන් එම යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම අපේක්ෂා කරයි.

අනපේක්ෂිත අන්දමින් වට්ස්ඇප් ‌යෙදුමේ හටගත් මෙම යාවත්කාලීනය නිසා මිලියන සංඛ්‍යාත වට්ස්ඇප් පරිශීලකයන් දැනටමත් සිග්නල්, ටෙලිග්‍රෑම් වැනි විකල්ප යෙදුම් භාවිතා කිරීම ආරම්භ කර ඇත.

දැනට වාර්තා වන අන්දමට, වට්ස්ඇප් යෙදුම සිය පරිශීලකයන්ගේ පහත දැක්වෙන දත්ත ෆේස්බුක් සමාගම සමඟ හුවමාරු කිරීම සිදු වේ.

  • දුරකතන අංකය, සහ නම ඇතුළු වෙනත් ලියාපදිංචි තොරතුරු
  • දුරකතනය පිළිබඳ තොරතුරු – නිශ්පාදන සමාගම, මාදිලිය වැනි
  • ඔබගේ අන්තර්ජාල පහසුකමට අදාළ වන IP ලිපිනය
  • වට්ස්ඇප් හරහා මුදල් හුවමාරු කටයුතු කරන්නේ නම්, ඊට අදාළ තොරතුරු – බැංකු ගිණුම් විස්තර වැනි

මීට අමතරව, ඔබගේ සමීපතයන් සමඟ හුවමාරු කළ පෞද්ගලික පණිවුඩ ආදිය කේත (encrypted) කොට විවෘත නොකරන බවට වට්ස්ඇප් සමාගම පවසා ඇත.

කෙසේ වෙතත්, මෙම පණිවුඩ ඔබ යොමුව භාවිතා නොකර පැවතිය ද දින 30 ක කාලයක් මතකයේ තබා ගැනීමට වට්ස්ඇප් යෙදුම කටයුතු කරන බවට වාර්තා වේ.

ඉහත කොන්දේසි වලට එකඟ වීම තුළ එම තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත සංසරණය නොවන බවට සහතිකයක් සිදුකළ නොහැකි ය.

වානිජ අරමුණු තකා වට්ස්ඇප් යෙදුම මෙසේ සංශෝධනය වන බව පැවසේ. නොමිලේ යෙදුමක් ලෙස පරිශීලකයන්ගේ අතට පත්වන වට්ස්ඇප් යෙදුම සැබවින්ම නොමිලේ ම පරිශීලකයන් අතර පවතී ද යන පැණය මින් හට ගනී.

වට්ස්ඇප් යෙදුමේ නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවට එකඟ වන අවසාන දිනය මැයි මස දක්වා දීර්ඝ කිරීමෙන් එම කොන්දේසි වලට එකඟ නොවන පරිශීලකයන් ට මැයි මස දක්වා ඒ අන්දමින් ම යෙදුම පවත්වා ගත හැක.

එහෙත් මැයි මස යම් දිනයකින් පසුව වට්ස්ඇප් යෙදුම තබා ගන්නේ ද නැතහොත් තම දුරකතනයෙන් ඉවත් කර දමන්නේ ද යන තීරණය ගැනීමට සිදුවේ.

ඒ අනුව මෙම අවසන් දිනය දීර්ඝ කිරීම පැණයට කිසිලෙසකත් විසඳුමක් නොවේ.

ඔබ පෞද්ගලිකව සිදුකරනු ලබන යම් සංවාදයක ඔබ අතින් හෝ ඔබගේ සගයින් අතින් සඳහන් වූ යම් නිශ්පාදනයක්, හෝ ආයිතමයක් පිළිබඳව ම වෙළඳ දැන්වීම් මතුවූ අවස්ථාන් ට  ඔබ මුහුණ පා තිබෙනවා ද?

ඔව් නේද?

එසේ නම්, පෞද්ගලිකව සිදුකරනු ලබන යම් සංවාදයක් කේත කොට විවෘත නොකර තබා ගන්නේ යැයි වට්ස් ඇප් සමාගම ලබා දෙන සහතිකය විශ්වාස කළ හැකි ද?

එය බරපතල ගැටළුවකි! එය ඇතැම් තාක්ෂණය පදනම් ව නිර්මාණය වූ සංත්‍රාස චිත්‍රපට (Horror Movies) වල දැක්වෙන අන්දමේ “අන්තර්ජාලය ඔබ දෙස නෙත යොමා ගෙන සිටිනවා ද” යන භීතිය පවා ඇති කරන්නේ නම් පුදුම විය යුතු නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි