×

“Where Do We Go From Here?” කියමින් ABBA හි ඇග්නේතා ඉඟි කළේ කුමක්ද?

“+” ලකුණක් ද සමඟ “Where Do We Go From Here?” යනුවෙන් ඇග්නේතා අදහස් කළේ කුමක්ද? අපි ද නෙත් යොමාගෙන සිටිමු.




ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා 70 දශකයේ පොප් ගීත රසික රසිකාවියන්ට නෙතට කඳුලක් එක්කරමින් ස්වීඩන් ජාතික ගීත අමන්දානන්දය ABBA වසර 40 ක නිහැඬියාවකින් අනතුරුව සිය Voyage ගීත එකතුව මුදා හැරියේ ඉකුත් 2021 වර්ෂයේ ය. වසංගතයකින් ලොවක් පීඩා විඳි සමයක මෙය බාල මහළු ABBA රසික රසිකාවියන්ට 2021 වර්ෂයේ අසන්නට දකින්නට ලැබුණු හොඳම පුවත බවට පත්විය. ජාත්‍යන්තර පොප් සංගීතයේ රාජකීයත්වය ඉසිලි ABBA ගේ Voyage ගීත ඇල්බමය, ශ්‍රේණියක් ඉසිලීමට ඉතා අපහසු ඇමරිකාවේ බිල්බෝඩ් (Billboard) ගීත දර්ශකයේ අංක 02 ට මෙන්ම එක්සත් රාජධානියේ බීබීසී (BBC) ගීත දර්ශකය ඇතුළු ලොව පුරා රටවල් 15 ක නිල ගීත දර්ශකවල අංක 01 ට ශ්‍රේණිගත වූවා පමණක් නොව, 2022 වර්ෂයේ ග්‍රැමී (Grammy) සම්මාන සඳහා ද යෝජනා විය. එතැනින් ද නොනැවතුනු ABBA, රසික රසිකාවියන්ට නවමු අත්දැකීමක් එකතු කරමින් සිය තරුණ අවධියේ පෙනුම ප්‍රතිනිර්මාණය කරමින් Voyage නමින් ත්‍රිමාණ සජීවීකරණයෙන් යුතු හොලොග්‍රෑම් (hologram) සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කළේය.

ඒ සියල්ල එසේ තිබිය දී, ABBA රසික රසිකාවියන්ට අතිශයින් කුතුහලය දනවන නවතම පුවතක් ඊයේ (23) දිනයේ දී වාර්තා විය. ABBA සංගීත කණ්ඩායමේ ගායන අනර්ඝත්වය නිර්මාණය වී තිබෙන්නේ ඇසුවන් වසඟ කරවන ඉහළ පරාසයේ හඬක් හිමි ඇග්නේතා ෆෙල්ට්ස්කොග් (Agnetha Fältskog) සහ අති රමණීය පහළ පරාසයේ හඬක් හිමි ඇනිෆ්‍රිඩ් ලින්ස්ටඩ් (Anni-Frid Lyngstad) ගේ හඬ සුසංයෝගයෙන් බව ඕනෑම ABBA රසිකයෙකු හොඳින් දන්නා කරුණකි. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 08 ට පමණ ඇග්නේතා ගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල “+” ලකුණ සමඟ පහත දැක්වෙන වදන් පෙළ සඳහන් වී තිබිණි.

“Where Do We Go From Here?”

The guardian
rolling stone

මෙය හුදෙක් සමාජ මාධ්‍ය සටහනක් ලෙස නොව රූපීය සහ දෘෂ්‍ය වශයෙන් අලංකාර කරන ලද අනුරුවක් සහ කෙටි වීඩියෝපටයක් සහිතව පළකර තිබූ සටහනකි. මෙහි අරුත කුමක්ද යන්න පිළිබඳව ABBA රසිකයන් අතර දැඩි කතාබහක් ඇතිව තිබේ.

බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ ඇග්නේතා ඇගේ හඬින් පටිගත කරන ලද අලුත්ම ගීතයක් එළි දැක්වීමට සූදානමින් සිටින බවයි. තවත් පිරිසකගේ මතය වන්නේ, ඇග්නේතා අලුතින් ගීත ඇල්බමයක් ම එළි දැක්වීමට සූදානමින් පසුවන බවයි. ABBA සන්නාමයෙන් පරිබාහිරව ඇග්නේතා සෝලෝ ඇල්බමයක් අවසාන වරට නිකුත් කරන ලද්දේ 2013 වර්ෂයේ ය. ගීත 10 කින සමන්විත වූ එය “A” නමින් හැඳින්විනි.

මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් ඇග්නේතා හෝ ABBA විසින් නිල වශයෙන් ලබා දී නොමැති පසුබිමක, අන්තර්ජාලය තුළ ඉතිරිව පවතින්නේ මතවාද පමණි. කෙසේවෙතත්, රසිකයන් පුදුම කරවීමේ සහජ කුසලතාවය 70 දශකයේ පටන්ම ABBA සාමාජිකයන් සතු වූ බව නොරහසකි.

ඇග්නේතාගේ සෝලෝ ගීත මාවතේ ආරම්භය ABBA පුරාවෘත්තයෙන් ද ඔබ්බට යන්නකි. ඈ පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනා ගන්නා ලද්දේ, 1967 වර්ෂයේ දී නිකුත් කළ “Jag var så kär” නම් ගීතයෙනි. එවකට ABBA කණ්ඩායම්ගත වීමක් සිදුව නොතිබුණු අතර, පොප් සංගීත රාජ්‍යය ආක්‍රමණය කළ ද බීට්ල්ස් (The Beatles) ද වරක ස්වීඩනයේ ගීත ශ්‍රේණිගත කිරීම්වලින් පහතට ඇද දැමීමට ඇගේ කුළුඳුල් ගීතය සමත් විය. “Jag var så kär” ගීතයෙන් ඇග්නේතා පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනාගන්නා විට ඈ යම්තම් අවුරුදු 17 ක කෙල්ලකි.

ඇග්නේතා ගේ සෝලෝ ගීත මාවත තුළ ඈ විසින් තම මව් භාෂාව වන ස්වීඩිෂ් බසින් ගීත ඇල්බම 07ක් ද, ඉංග්‍රීසි බසින් ගීත ඇල්බම 05ක් ද පටිගත කර තිබේ. සෝලෝ ගායිකාවක් ලෙස ඇග්නේතා විසින් ගීත 100 කට ආසන්න සංඛ්‍යාවක් පටිගත කර තිබේ. 1968 වර්ෂයේ දී සිය නම භාවිතා කරමින් “Agnetha Fältskog” නමින් ගීත ඇල්බමයක් ද, 1969 වර්ෂයේ දී “Agnetha Fältskog Vol. 2” නමින් ගීත ඇල්බමයක් ද, 1970 දී “Som jag är’ නමින් ගීත ඇල්බමයක් ද, 1971 දී “När en vacker tanke blir en sång” නමින් ගීත ඇල්බමයක් ද, 1975 දී “Elva kvinnor i ett hus” නමින් ගීත ඇල්බමයක් ද, 1981 දී නත්තල වෙනුවෙන් සිය දියණිය ලින්ඩා සමඟ පටිගත කළ “Nu tändas tusen juleljus” නමින් ගීත ඇල්බමයක් ද, 1987 දී සිය පුතණුවන් වූ ක්‍රිස්ටියන් සමඟ පටිගත කළ “Kom följ med i vår karusell” නමින් ළමා ගීත ඇල්බමයක් ද, 1983 දී “Wrap Your Arms Around Me” නමින් ඇල්බමයක් ද, 1985 දී “Eyes of a Woman” නමින් ගීත ඇල්බමයක් ද, 1987 දී “I Stand Alone” නමින් ගීත ඇල්බමයක් ද, 2004 දී ඈ වඩාත් ප්‍රියකළ ගායක ගායිකාවන්ගේ ගීත ඈ විසින් ගායනා කොට (cover songs) පටිගත කළ “My Colouring Book” නම් ගීත ඇල්බමය ද, අවසාන වරට 2013 දී “A” නමින් ගීත ඇල්බමයක් ද ඇග්නේතා විසින් නිකුත් කර තිබේ.

මේ වන විට 73 වන වියේ පසුවන ඇග්නේතා මේ කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳව ABBA රසික රසිකාවියන් විසින් නිර්මාණය කරගන්නා ලද බොහෝ සමාජ මාධ්‍ය සංසද ඇතුළත මෙන්ම ඊට පරිබාහිරව ද කතාබහ ඇතිවෙමින් පවතී.

“+” ලකුණක් ද සමඟ “Where Do We Go From Here?” යනුවෙන් ඇග්නේතා අදහස් කළේ කුමක්ද? අපි ද නෙත් යොමාගෙන සිටිමු.

ඡායාරූප: අන්තර්ජාලය

පෙර ලිපි:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි