×

තනිකඩයි නම් – සුවඳ වෙනස් !

ප්‍රංශයේ 16 වැනි ලුවී රජ්ජුරුවන්ට සුවඳ විලවුන් උමතුවක් තිබුණා. වර්සායි මාළිගයේ හැම කාමරයකම ඔහු සුවඳ හමන මල් තබන්නට අණ කළා.


ඒ විතරක් නෙවෙයි, රජ මාළිගේ ගෘහ භාණ්ඩවලටත්, වතුර මල් වලටත් සුවඳ විලවුන් ඉසීම අනිවාර්ය වුණා. ඒ විතරක් නම් මදෑ… මාළිගයට ඇතුල් වන හැම අමුත්තෙක්ම සුවඳ විලවුන්වලින් නැහැවීමත් අනිවාර්ය වුණා. සමහර විට ලුවී රජ්ජුරුවො තමන්ගෙ ශරීරයෙ ස්වභාවික ගන්ධය ගැන අසතුටෙන් ඉන්න ඇති. එහෙමත් නැතිනම් සුවඳ විලවුන් එක්ක සෙල්ලම් කළා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දාසය වැනි ලුවී කියන්නෙ ‘සුවඳේ වැදගත්කම‘ දැන හිටිය රජෙක්. අද කාලෙ හිටිය නම් එයාගෙ ජනප්‍රියම ගීතය ‘සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්‘වගේ එකක් වෙන්නත් තිබුණා…

අපේ ශරීරවලට ආවේණික ගන්ධයක් තිබෙනවා. ගන්ධය කියන්නෙ ‘ගඳ‘ට සමාන වචනයක් වුණත් ඒක නරක වචනයක් නෙවෙයි. මොකද ගඳ, දුගඳක් වගේම සුගඳක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පොදුවේ ගන්ධය කියා කියමු.

කොහොම වුණත් කෙනෙක්ගෙ ශරීරයේ ගන්ධයෙන් ඒ කෙනාගෙ සෞඛ්‍යය ගැන කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොලරාව වැළඳුණොත් ඒක අමුතු ප්‍රසන්න ගන්ධයක් විදිහට දැනෙන්න පුළුවන්. දියවැඩියා රෝගීන් ව ගන්ධයෙන් හඳුනාගන්න පුළුවන් පුහුණු කළ සුනඛයො ඉන්නවා. ඒ වගේම ශරීරයට ආවේණික ගන්ධය මගින් ඒ කෙනාගෙ කෑම රටාව ගැනත් ඉඟි ලබාගන්න පුළුවන් බව පර්යේෂකයො කියනවා. ඔස්ට්‍රේලියාවෙ මැකියුරේ සරසවියෙ පර්යේෂකයන්ට අනුව මාංශ අනුභව කරන අයගෙ ශරීරවල ප්‍රසන්න සුවඳක් තිබෙනවාලු. මේ සියලු සුගන්ධයන් හෝ දුර්ගන්ධයන් නිපදවන්නෙ අපේ සමේ ජීවත් වන බැක්ටීරියා විසින්. බැක්ටීරියාවන් මිලියන ගණනක් එක වර්ග මිලිමීටරයක ඉන්නවා. ඒ ගැන අහිතක් හිතන්න එපා. මොකද ක්ෂුද්‍ර ජීවීන් කට ඇතුළෙ තියෙන කෙළවල පවා ඉන්නවා. ගිනි කඳු ඇතුළෙත් ඉන්නවා. උන් හැමතැනම! අපි ජීවත් වෙන්නේ උන් එක්කමයි!

විෂමරිසි බහුතර සම්බන්ධතා ගත්තාම පුරුෂයන්, ගැහැණුන්ගේ ශරීරවලින් හමන සුවඳක් ගැන කතා කරන්න කැමතියි. ආර්තව චක්‍රයේ එක විශේෂිත අවධියකදි කාන්තාවකගෙ සිරුරෙන් හමන ගන්ධය අතිශය ප්‍රසන්න බවටත් ඇය ඒ කාලයේදී ඉතාම ආකර්ෂණීය බවටත් මතයක් තිබෙනවා. මේක ගෝත්‍රික අදහසක් වෙන්නත් පුළුවන්. මොකද, ආදි කාලීන ගෝත්‍රික පිරිමි, ප්‍රජනනය ඒ කියන්නෙ දරුවන් බිහිකිරීම හොඳින්ම කළ හැකි කාන්තාවන් තෝරගත්තෙ සිරුරෙන් නික්මෙන සුවඳත් සැලකිල්ලට අරන් බවට ඉතිහාසයෙ සඳහන් වන නිසයි. මානව ශිෂ්ටාචාරයේ අන්ධකාර යුගවල ගැහැණියට සැලකුවෙ ‘දරුවන්ගෙ අම්මා‘ කියන අල්ලස දීල විතරක් නිසයි. අනෙක් අතට, පිරිමි ශරීරයේ ටෙස්ටෙස්ටරොන් මට්ටම වැඩි කරන්නටත් ගැහැණු සුවඳට පුළුවන්.

ආහාර වේල සහ සෞඛ්‍ය තත්වය හැරුණාම මිනිස් සිරුරට ආවේණික සුවඳට වැඩිම බලපෑමක් කරන්නේ ජාන…. අපේ ශරීරවලින් නික්මෙන සුවඳ ජාන නිසා සුවිශේෂී වෙනවා. මේ බව සම නිවුන්නුන් යොදාගෙන කළ පර්යේෂණවලින් තහවුරු කර තිබෙනවා.

අපි හැම වෙලාවකම සුවඳ විලවුන් තෝරාගන්නේ ජානවලින් නියම කරන විදිහට බවත් විද්‍යාඥයන් කියනවා. සමහරවිට දාසය වැනි ලුවී රජ්ජුරුවොත් ඒ විදිහට හැසිරුණේ ජාන සංසිද්ධියක් නිසා වෙන්න පුළුවන්.

‘‘හියුමන් ලියුකොසයිට් ඇන්ටිජන් අසමානතාවය‘‘ Human Leukocyte Antigen (HLA) dissimilarity ගැන මෙතැනදි කතා කරන්නම ඕනෙ. HLA එහෙමත් නැතිනම් මානව ලියුකොසයිට් ඇන්ටිජන් කියන්නෙ ප්‍රෝටීනයක්. ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපට හිමි සෛල හඳුනගන්න උදව් කරනවා. ඒක මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. HLA වලට වගකියන ජාන සංකීර්ණයේ නම MHC. ඒක අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරවලදිත් පාවිච්චි වෙනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොන වගේ ආරක්ෂාවක් ද දෙන්න පුළුවන් කියල හොයන්න විද්‍යාඥයන් මේක ෂෝට්කට් එකක් විදිහට යොදාගන්නවා.

ප්‍රතිශක්තිකරණ ප්‍රොෆයිලයත් එක්කනොගෙන් තවත් කෙනෙකුට වෙනස්. සමහරුන්ට මැස්සෙක් කැරකුණු කෑම එකක් දැක්කත් අසනීප වෙනවා. තවත් අයට කැරපොත්තො ඉන්න අපිරිසිදු කාමරේක වුණත් අසනීපයක් නොවී යහතින් ඉන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිශක්තිකරණ ප්‍රොෆයිලයට HLA profile කියලත් කියන්න පුළුවන්. බොහෝ විට අපේ HLA profile එක තවත් කෙනෙකුට වඩා ඉතාම වෙනස්.

කොහොම වුණත් කවුරු හරි කෙනෙක් තමන්ගෙ සහකාරයා හරි සහකාරිය හරි තෝරගන්නෙ ඉව කරල බලල නෙවෙයි. ඒ කියන්නෙ සුවඳින් නෙවෙයි. එහෙම කළේ සියවස් ගණනාවකට කලින්. නමුත් යම් කෙනෙක් මුණ ගැහුණාම හරි දැක්කාම හරි ‘මේ ඉන්නෙ මම පතාගෙන ආව කෙනා‘ කියල හිතෙන්න ජානමය සාධක බලපාන්න පුළුවන්.

වෙනත් විදිහකට කියනවා නම් HLA වලින් ඔබ කරන තෝරාගැනීම්වලට බලපෑමක් කරන්නෙ නෑ. නමුත් එයින් ලිංගික යහපැවැත්ම වැඩි දියුණු කරනවා. දැඩි ඇනොස්මියා තත්ව වලින් පෙළෙන අය, ඒ කියන්නෙ ගඳ සුවඳ නොදැනෙන අයගෙ කායික සම්බන්ධතා අසාර්ථක වෙන්න වැඩි ඉඩක් තිබෙන බව පර්යේෂකයන් කියන්නේ මේ අනුවයි. ඒ බව ජර්මනියෙ ඩ්‍රෙස්ඩෙන් සරසවියෙ පර්යේෂකයන් පිරිසක් සනාථ කරනවා.

දැන් තමයි කතාවෙ හොඳම හරිය. කවුරු හරි කපල් එකක HLA-dissimilarity එහෙමත් නැතිනම් HLA අසමානතාවය වැඩියි නම්, ඒ දෙන්නා ආකර්ෂණය වෙනවා බොහොම වැඩියි. හරියට ගින්දරයි, පුළුනුයි වගේ. ඒ වගේම ලිංගික තෘප්තියත් ඒ දෙන්නා අතර උපරිමයක්. දරුවන් ලබන්නත් බොහොම කැමතියි.

මේ කාරණාව කාන්තාවන්ට බොහොම අදාළයි. HLA සංකලනය බොහොම සමාන පිරිමින් එක්ක ජීවත් වන ගැහැණුන්ට ලිංගික තෘප්තිය හෝ ආකර්ෂණය දැනෙන්නෙ බොහොම අඩුවෙන්.

දැන්, සාමාන්‍යයෙන් පෙරදිග විෂමලිංගික සමාජවල සිද්ධ වෙන්නෙ පිරිමියා විසින් ගැහැණිය තෝරාගැනීම. නමුත් මේ HLA-dissimilarity සාධකය හොඳින්ම දැනෙන්නේ ගැහැණුන්ට නිසා, හරිම දේ මේකෙ අනික් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ගැහැණුන්ට තමන්ට ගැළපෙන සහකාරයා තෝරගන්න ඉවක් තියෙනවා. පිරිමින් ඒක තෝරගන්නෙ ඒ ඉවෙන් නෙවෙයි. වෙන දේවල්වලින්. එහෙම බලද්දි බුද්ධ කාලීන භාරතයෙ තිබුණු ස්වයංවර උත්සවයට පැහැදිලි තර්කයක් තියෙනවා! මොකද එතැනදි තමන් කැමති කෙනා තෝරාගැනීමේ අවස්ථාව හිමි වෙන්නෙ ගැහැණියට. ඇයව මෙහෙවන්නේ ජාන ඉව මගින්. ඒක තමයි නූතන කියවීම.

ඉතින් ආදරය කරන්න හෝ ලිංගික තෘප්තිය ලබන්න තවම හරි කෙනෙක් නොලැබුණු අයටත් ඒකට ඕනෙ නම් ජානවලට දොස් කියන්න පුළුවන්. ඒත් .. මතක තියා ගන්න.. තනිකඩ අයගෙ සුවඳ වෙනස්. එහෙම අය, හරි සුවඳ තියෙන කෙනා මුණ ගැහෙනකල් තනිකඩ වෙලා ඉන්න එකමයි, කාරිය!

BBC Future – Why single people smell different ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි