×

ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි සිටි ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය පිළිකාවක් නිසා මෙලොවෙන් සමුගනී.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි කතා මාලාවේ ඔලෙනා ටයිරෙල් ආර්යාව ලෙසින් හා ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය ලෙසින් ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනී ඩයනා රිග් පිළිකාවක් හේතුවෙන් ඊයේදි මරණයට පත් වී තිබේ.


ඇය මියයන විට වයස අවුරුදු 82කි.

ඩයනා රිග් පිළිකාවකින් පෙළෙන බව දැනගත්තේ පහුගිය මාර්තු මාසයේදී බව ඇයගේ දියණිය රංගන ශිල්පිනී රැචෙල් ස්ටර්ලින් පවසයි. ඩයනා රිග් මියගියේ ඊයේ උදෑසන සිය නිවසේදිමය. ඇයගේ නියෝජිතයා පවසා සිටියේ එය සාමකාමී මරණයක් ලෙසය.

Avengers ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළියගෙ චරිතයට පන පෙවූ ඩයනා රිග් 1960 දශකය වනවිට එක්සත් රාජධානිය තුළ බෙහෙවින් ජනප්‍රිය වී සිටියාය.

ඇවෙන්ජර්ස්

ඉන් පසු ඇය ලෝක ප්‍රසිද්ධ නිළියක් බවට පත්වන්නේ ‘ට්‍රේසි බොන්ඩ්’ එහෙමත් නැතිනම් “In On Her Majesty’s Secret Service” හි ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය වෙමිනි.

 

බොන්ඩ් ගර්ල් නැතහොත් මිසිස් ජේම්ස් බොන්ඩ් ලෙස රඟන්නට අවස්ථාව ලද එකම රංගන ශිල්පිනිය ඩයනා රිග් පමණි.

මිසිස් ජේම්ස් බොන්ඩ් ලෙස

එමෙන්ම Evil Under the Sun, Theater of Blood, The Painted Veil, Mother Love, The Hospital වැනි නිර්මාණ රැසකටද දායක වී තිබේ. මෑත කාලීනව ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූයේ ලෝ ප්‍රකට ටෙලි කතාවක් වූ Game of Thrones හි ඔලෙනා ටයිරෙල් ආර්යාවගේ චරිතයෙනි.

Mother Love හි ඇය කළ රංගනය නිසාවෙන් 1990 දී බැෆ්ටා උලෙළේ හොඳම නිළිය ලෙසින් සම්මාන දිනාගත්තාය. ඉන්පසු 2000දී තවත් විශේෂ බැෆ්ටා සම්මානයක් දිනාගන්නේ ඇවේන්ජර්ස් වෙනුවෙනි. නාට්‍ය ක්ෂේත්‍රයට ඇය කර ඇති සේවය තකමින් 1994 දී බ්‍රිතාන්‍ය මහරැජින විසින් DBE ගෞරව සම්මානයෙන්ද ඇයව පුදනු ලැබීය.

රංගනයෙන් ලොවක් කුල්මත් කළ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වූ ඩයනා රිග්ට සදාකාලික සැනසීම ප්‍රාර්ථනා කරමු

– චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි