×

කමලා හැරිස් – මයික් පෙන්ස් විවාදය: ඇමරිකානු ඉතිහාසයේ ප්‍රබල කාන්තා චරිතයක් කමලා හැරිස්ගෙන් මතුවෙද්දී මයික් පෙන්ස්ගේ හිස මත මැස්සෙක් ලැගුම් ගනියි

ලංකාවේ වේලාවෙන් අද උදෑසන කමලා හැරිස් සහ මයික් පෙන්ස් අතර පැවති ඇමරිකානු ජනාධිපතිවරණ විවාදයේදී කමලා හැරිස් අනාගත කාන්තා නායකත්වයක ගතිගුණ ප්‍රකට කළාය.


කමලා හැරිස් සහ මයික් පෙන්ස්

55 හැවිරිදි කමලා හැරිස් ඇමරිකාවේ ප්‍රථම උප ජනාධිපතිනිය වන්නට අපේක්ෂාවෙන් සිටින ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රබලයෙකි. ඇය කොංග්‍රසයේ සිටින, ඉලක්කගත ලෙස සිය ප්‍රතිවාදීන් ප්‍රශ්න කිරීමට සමත් නීතීඥවරියකි.

ඇගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටියේ ලෙහෙසියෙන් කලබල නොවන, බොහෝ විට සන්සුන්ව සිටින රිපබ්ලිකානු උප ජනාධිපති අපේක්ෂකයා වන 61 හැවිරිදි මයික් පෙන්ස් ය. මයික් පෙන්ස් බොහොම පරිස්සමෙන් මාධ්‍යවලට උත්තර බඳින්නෙකි. අවශ්‍ය දේ පමණක් පවසන්නෙකි. ඉලක්කයට පිළිතුරු දීමේ ගුණයක් ඔහුට නැත. ඉන්ඩියානා ජනපදයෙන් පැමිණි ප්‍රබල කිතුණු බැතිමතෙකු වන ඔහු, අතිශය ආගමික මිනිසෙකි. ඔහුට තිබෙන ලොකුම වත්කම වූයේ පුරා වසර 4 ක් සිය ‘බොස්‘ වූ ජනපති ඩොනල්ඩ් ට්‍රමප් සම්බන්ධයෙන් දක්වා ඇති පක්ෂපාතීත්වයයි.

මෙවැනි දෙදෙනෙක් අතර විවාදයක් ඉතා උනන්දුජනක වනු ඇති බව ඇමරිකානුවෝ මුල පටන්ම දැන සිටියහ.

මේ උප ජනාධිපති විවාදයේදී මයික් පෙන්ස්, ට්‍රම්ප්ගේ නොහික්මුණු කොවිඩ් වික්‍රමය නිසා දැවැන්ත අමාරුවක වැටී සිටියේය.

කොරෝනා අවදානම නිසාම ප්ලෙක්සිග්ලාස් වීදුරුවලින් අඩ වශයෙන් ආවරණය වූ කුටීරවල සිට ඔවුන් කළ විවාදය තුළ කමලා හැරිස්ගේ ප්‍රධාන ප්‍රහාරය ඇමරිකාවේ කෝවිඩ් වසංගතය වීම නොවැළැක්විය හැකි විය.

කොරෝනා වෛරස් මර්දනය සහ ඇමරිකාව

බලාපොරොත්තු වූ පරිදි පළමු ප්‍රශ්නයම වූයේ කෝවිඩ්-19 වසංගතයයි. උප ජනාධිපතිවරයා කෝවිඩ්-19 පරීක්ෂාවට නෙගටිව් බව ඔහුගේ කාර්ය මණ්ඩලය විවාදයට පෙරම තහවුරු කර තිබිණි. නමුත් ඔවුන් දෙදෙනා අතර වූ ප්ලෙක්සිග්ලාස් බාධකය, එහි අවදානම් සහගත බව දෙදෙනාටම විටින් විට මතක් කර දෙන්නට ඇත.

කමලා හැරිස් සරල, පැහැදිලි සහ තියුණු ලෙස සිය තර්කයන් ගෙන ආවාය. මිය ගිය ලක්ෂ ගණන සහ ආසාදිත මිලියන ගණන ගැන අසමින් මයික් පෙන්ස් ව නිරුත්තර කළාය.

‘‘මෙන්න දත්ත. අපේ රටේ ගත වුණු මාස හත තුළ විතරක් 210,000 ක් දෙනා මරණයට පත් වුණා. මිලියන 7කට වඩා මේ රෝගයට ගොදුරු වුණා.. මිලියන 30කට වඩා විරැකියා ප්‍රතිලාභවලට ඉල්ලුම් කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා..‘‘

ට්‍රම්ප් සහ පෙන්ස් 2020 ජනවාරි මාසයේ පටන්ම වසංගතය ගැන දැන සිටි බවත්, ට්‍රම්ප් හිතාමතාම ජනතාවගෙන් තොරතුරු වසං කළ බවටත් කමලා හැරිස් දැඩි ලෙස කීවේ මෙසේ ය.

‘‘ඇමරිකානුවන්, ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුගේ ලොකුම අසාර්ථකභාවය අත්දුටුවා.

‘‘ඔවුන් දැනගත්තා මොකක්ද වෙන්නෙ කියලා… ඒත් ඔවුන් ඔබට ඒක කිව්වෙ නෑ…‘‘

කමලා හැරිස් මෙසේ කියන්නේ සිය දකුණත ඔසවමින් එක එල්ලේ කැමරාව දෙස බලමිනි.

‘‘මේ හැමදේටමත් වඩා.. අදටත් ඔවුන්ට සැලසුමක් නැහැ..නමුත් අපට තියෙනවා. ජෝ බයිඩන් සහ අපගේ සැලසුම වන්නේ ජාතික ක්‍රමෝපාය සැලැස්මක්. ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ පරීක්ෂාවන් සඳහා.. වැක්සින පරිපාලනය සඳහා.. හැම කෙනෙකුටම නිවැරදි වැක්සිනය නොමිලේ ලැබෙන බව සහතික කිරීම සඳහා…‘‘ ජෝ බයිඩන් ඒ සඳහා සුදුසුම පුද්ගලයා බව ද කමලා හැරිස් පැවසුවාය.

ඉන්පසු ඇය පෙන්ස් වෙත එල්ල කළේ දුස්රාවකි.

‘‘තමන්ගෙ පරිපාලනය මොනව කළා කියල උප ජනාධිපති පෙන්ස් කිව්වත්, පැහැදිලිවම ඒ කිසි දෙයක් හරි ගියෙ නෑ..‘‘ ඇය එසේ කියන්නේ පෙන්ස් දෙස එක එල්ලේ බලමිනි. ‘‘අපේ රටේ නැතිවුණු ඇමරිකානු ජීවිත – මළසිරුරු 210,000 ක් දිහා බලද්දි.. ඒ නැතිවුණු අයගෙ පවුල්වල අය තවම වැළපෙනවා..‘‘

‘‘Mr Vice President, i am speaking” i am speaking!”

‘‘ඒ වගේම ඔබ දන්නවා, උප ජනාධිපතිවරයා තමයි කොවිඩ් කාර්යසාධන බලකායෙ ප්‍රධානියා.. ජනවාරි 28 වෙද්දි මේ තත්වය කොයි තරම් බරපතළ ද කියල ඔහු දැනගත්තා. බොබ් වූඩ්වර්ඩ් ට ස්තූති වෙන්නට අපි දැනගත්තා ඔවුන් ඒ ගැන දන්නවා කියලා… ඒ වගේම හෙළිවෙලා තියෙනවා, ඔබෙන් ඇහුවාම ඇයි මේක කිසිකෙනෙකුට කියන්නෙ නැත්තෙ කියලා, ඔබ කියල තියෙනවා ජනාධිපතිට ඕනෙ ජනතාව සන්සුන් කරල තියාගන්න කියලා…‘‘

කමලා හැරිස් ඉන්පසු මයික් පෙන්ස් වෙත හැරී දැඩි බැල්මක් හෙළන විට මයික් පෙන්ස්, වැඩසටහන මෙහෙයවමින් සිටින USA Today හි සූසන් පේජ් වෙත හැරී බාධා කර යමක් කියන්නට තැත් කරයි.

එවිට කමලා හැරිස් ඔහුට මෙසේ කියයි.

‘‘Mr Vice President, i am speaking” i am speaking!”

මෙවිට වහාම ඒ විධානාත්මක ප්‍රකාශයට මහත්මයෙකු සේ අවනත වනවා හැරෙන්නට මයික් පෙන්ස් ට කළ හැකි දෙයක් තිබුණේ නැත.

තවත් වරක් මේ අන්දමින්ම මයික් පෙන්ස් බාධා කරන විට කමලා හැරිස් ඉහත කී වාක්‍ය දෙකම කියන්නේ සිනාමුසුවය. හරියට නොදැමුණු දරුවෙකු කීකරු කරගන්නට හදනා මවකගේ විලාසයෙනි. මේ අවස්ථාව මේ වන විට ට්විටර් හරහා දැවැන්ත ලෙස ෂෙයා වෙමින් වයිරල් වෙමින් තිබේ.

ට්‍රම්ප් පසුගියදා ජෝ බයිඩන් සමග පැවති විවාදයේදී 71 වතාවක් බයිඩන්ට බාධා කිරීමට සමත් වූ නමුත් ට්‍රම්ප්ගේ නියෝජනය වූ මයික් පෙන්ස්ට මේ මොහතේදී අවසානයේ සිනාමුසුව අවනත වීම හැර වෙන කළ හැකි දෙයක් නොමැති වූයේ එසේ ය.

පෙන්ස් කාලය කා දමයි

පෙන්ස් තමන්ට ලැබුණු කාලය ඉක්මවා දමමින් කතා කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබිණි. එනිසා සූසන් පේජ් හට “Thank you Vice-President Pence” යනුවෙන් නැවත නැවතත් මෙම විවාදය පුරාම පවසන්නට සිදුව තිබිණි.

ජනතාව සන්සුන්ව තබාගැනීමේ ට්‍රම්ප් උපායට කමලා හැරිස්ගෙන් ප්‍රතිප්‍රශ්නයක්

එක් වාරයක තමන්ට ලැබෙන අවසාන තත්පර 15 දී කමලා හැරිස් කැමරාවට මෙසේ පවසයි.

‘‘ඒ නිසා මට ඇමරිකානු ජනතාවගෙන් අහන්න ඕනෙ…ඔබ ඊළඟ ටොයිලට් පේපර් රෝල ගන්න යද්දි කොයිතරම් සන්සුන් වෙලාද හිටියෙ කියලා…. ඔබේ දරුවන් ඉස්කෝලෙන් හරවල ගෙදර එවද්දි සහ ඔවුන්ට ආපහු ඉස්කෝලෙ යන්න බෑ කියල දැනගනිද්දි ඔබ කොයිතරම් සන්සුන්වද හිටියෙ කියලා..? ඔබේ දරුවො ඔබව බලන්න ආවම ඔවුන් මැරෙන්න ඉඩ තියෙන බව දැනගත්තාම ඔබ කොයි තරම් සන්සුන් වෙලාද හිටියෙ කියලා…?‘‘

ඔබාමාකෙයා ගැනත් කතා කරයි

මෙම විවාදයේ තවත් කැපී පෙනෙන අවස්ථාවක් වූයේ ට්‍රම්ප්ගේ සෞඛ්‍යාරක්ෂණ පනත සම්බන්ධයෙන් කමලා හැරිස් පළ කළ අදහස් ය. ‘ඔබාමාකෙයා‘ යනුවෙන් බරාක් ඔබාමාගේ පාලන සමයේදී ගෙන ආ, දැන් Affordable Care Act යනුවෙන් හඳුන්වන නීතිය අහෝසි කර දැමීමට ට්‍රම්ප් ගන්නා වෑයම කමලා හැරිස් දැඩි සේ විවේචනය කළාය. සිය ප්‍රේක්ෂකාගාරයට ඒ ගැන සරල සහ මූලික අදහස ලැබෙන පරිදි ඒ ගැන තේරෙන භාෂාවෙන් කතා කිරීමට ඇය සමත් වූවාය. ඔබාමා මේ නීතිය ගෙන ආවේ ඇමරිකාවේ සෞඛ්‍යාරක්ෂණ සමාගම්, ඒ වනවිටත් පවතින සෞඛ්‍ය තත්වයන් (pre-existing conditions) හුවා දක්වමින් රෝගීන්ට රක්ෂණ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවයට පිළියමක් ලෙස ය.

මෙයට පිළිතුරු ලෙස මයික් පෙන්ස් ලබාදුන්නේ සියලුම දේශපාලකයන් විසින් නිතර කියන පන්නයේ ටිපිකල් උත්තරයකි. එනම්, ට්‍රම්ප්ට සිය ජනතාව pre-existing conditions වලින් ආරක්ෂා කිරීමට සැලැස්මක් තිබෙන බව ය. ඒ සැලැස්ම මොකක්ද කියා පවා පෙන්ස්ට අදහසක් තිබුණේ නැත.

ඇත්ත වශයෙන්ම ට්‍රම්ප් දැන් වසර ගණනාවක් තිස්සේ මේ කතාව කියයි. නමුත් ඒ සැලසුම කුමක්දැයි කිසිම ඇමරිකානුවෙක් තවම දන්නේ නැත. ට්‍රම්ප් පවා එය දන්නවාද යන්න සැක සහිත ය.

ඇතැම් ප්‍රශ්නවලින් දෙදෙනාම මග හරිති

මෙම විවාදයේ මාතෘකා කල් තබා දැනුම් දී තිබුණේ නැති වීම ද විශේෂත්වයකි.

මේ අනුව සූසන් පේජ් ගේ ඇතැම් ප්‍රශ්නවලට දෙදෙනාම පිළිතුරු නොදුන් අවස්ථා ද දැකගත හැකි විය. ඒ අනුව ඇතැම් අවස්ථාවලදී සිදුවුණේ ප්‍රශ්නය නැවත සනාථ කරමින් පිළියෙළ කර ගත් උත්තරවලට යාමයි.

එසේ ඔවුන් මගහැර ගිය එක් ප්‍රශ්නයක් වූයේ 74 හැවිරිදි ට්‍රම්ප් හෝ 77 හැවිරිදි ජෝ බයිඩන් හදිසියේ අසනීප තත්වයකට පත් වුවහොත් වෙනුවට එම ධුරයන් ලබාගැනීමට අදහස් කරන්නේ ද යන්නයි.

ලෝකයේ අන් සියලුම රටවලට වඩා ඇමරිකාවේ ඒකපුද්ගල මරණ ගණන අධික වී තිබෙන්නේ ඇයිදැයි මයික් පෙන්ස්ගෙන් ඇසූ විට ද ඔහු එයට පිළිතුරු දුන්නේ නැත.

පෙන්ස්ගේ හිස මත මැස්සෙක්

ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් සිටියදී මයික් පෙන්ස්ගේ හිස මත මැස්සෙක් ලැගුම් ගත්තේය. සාමාන්‍යයෙන් මුහුණේ මාංශපේශි නොසොල්වා කතා කිරීමට පුරුදු වී සිටින මයික් පෙන්ස්ට මැස්සා පිළිබඳ කිසිදු දැනීමක් නොමැති වූ අතර, මැස්සා විනාඩි 2 ක් වැනි කාලයක් මයික් පෙන්ස්ගේ හිස මත වසා සිටියේ සමාජ ජාල තුළ තවත් වයිරල් රැල්ලක් ඇති කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි