×

කිම් කාර්ඩැෂියන් මැරිලින් මොන්රෝ ගේ රෙද්ද ඇඳීම සහ මෙට් ගලා!

රෙද්දක් අඳින්න බර අඩුකරගන්න කියලා ද කිම් මේ නොකියා කියන්නේ?


ඉකුත් සතියේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ මෙට් ගලා උත්සවය පැවැත්වුනා. වෙනදා වගේම ඇමරිකානු කලාකරුවන්, ව්‍යාපාරික භවතුන් ඇතුළු ඉහළ පැලැන්තියේ ප්‍රජාවගෙන් මෙට් ගලා උත්සවය පිරි ඉතිරී ගියා.

එක්සත් ජනපදයේ රංගන ශිල්පීන්, මෝස්තර නිරූපණ ශිල්පීන්, සමාජ ක්‍රියාකාරුවන්, විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික භවතුන් ඇතුළු කලා ප්‍රජාව ජීවිතයේ පළමු සහ අවසන් වතාවට පමණක් හඳිනු පළඳිනු ලබන විලාසිතාවන්ගෙන් පිරී ඉතිරී යන මෙට් ගලා උත්සවය තුළ කැපී පෙනුනු විලාසිතා කිහිපයක් ම තිබුණා. රංගන ශිල්පිනී බ්ලේක් ලයිව්ලි සිය ස්වාමිපුරුෂයා වන රංගන ශිල්පී රයන් රෙනෝල්ඩ්ස් සමඟ මෙට් ගලා උත්සවය වර්ණවත් කළ අයුරු, රංගන ශිල්පිනී සොෆී ටර්නර් සිය ස්වාමිපුරුෂයා වන ජෝ ජොනාස් සමඟ මෙට් ගලා උත්සවය වර්ණවත් කළ අයුරු ඒ අතර කැපී පෙනුනා.

හැබැයි බොහෝ දෙනෙකු අතර වැඩිපුරම කතාබහට ලක්වුනේ ඇමරිකානු කලා හා වාණිජ ක්ෂේත්‍රයේ කවදත් පුවත් මවන්නියක වූ කිම් කාර්ඩැෂියන් සහ ඇගේ පෙම්වතා වන පීට් ඩේවිඩ්සන් ගේ සම්ප්‍රාප්තියයි.

මෙට් ගලා කියන්නේ එක්සත් ජනපදයේ විලාසිතා ක්ෂේත්‍රයට අතිශයින් ම විශේෂ වන උත්සවයක්. කලාකරුවන්ට මෙම උත්සවය සිය ප්‍රතිරූපය නිර්මාණය කර ගැනීමට බොහෝ සෙයින් වැදගත් වනවා. ඉතින් ඔවුන් සෑම දෙනෙකුම පාහේ උත්සාහ කරන්නේ හොඳම හැඟීම නැත්තම් බෙස්ට් ඉම්ප්‍රෙෂන් එකක් තම රසික ජනතාවට ලබා දෙන්න.

කිම් කාර්ඩැෂියන් මෙවර අලුත් දෙයක් අත්හදා බලනවා. සිය සුපුරුදු විලාසිතා මැවීමේ මෙහෙයුමෙන් මඳක් ඉවත්ව කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විලාසිතාවකට යළි පණ පෙවීමට ඈ කටයුතු කරනවා.

ඒ අනුව, මීට දශක පහකට ඉහත 1962 දී හොලිවුඩයේ සරාගී සංකේතය වූ මැරිලින් මොන්රෝ මෙට් ගලා උත්සවයට හැඳි බේජ් පැහැයෙන් යුක්ත ගවොම යළි හැඳීමට කිම් කාර්ඩැෂියන් තීරණය කරනවා.

මෙට් ගලා යනු කුමක්ද? එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇඳුම් පැළඳුම් ආයතනයේ ප්‍රයෝජනය සඳහා වාර්ෂිකව අරමුදල් එක්රැස් කිරීම සඳහා පවත්වන උත්සවයකි මෙට් ගලා. ලොව කීර්තිමත්ම විලාසිතා ඉසව්ව ලෙස ජනප්‍රියතාවයක් උසුලන මෙට් ගලා උත්සවය වෙත ආරාධනා පත්‍රයක් ලබා ගැනීමට ජනතාව අතර විශාල පොරයක් තිබෙනවා.

මෙට් ගලා තුළ කැපී පෙනෙන විලාසිතා අංගයක් බවට පත්වීමට තැත් කිරීම විටෙක හිස්ටීරියාවක් බඳුය. මන්ද යම් අයෙකු මීට පෙර භාවිතා නොකළ විලාසිතාවක් හෝ නවෝත්පාදන විලාසිතාවක් හඳුන්වා දීමට අපොහොසත් වන්නේ නම් මෙට් ගලා යනු එවන් පුද්ගලයකුට හුදෙක් සිහිනයක් පමණි.

ඇමරිකාවේ ජීවත්වන මධ්‍යම පාන්තික තරුණියකට මෙට් ගලා යනු සිහිනයක්. විලාසිතාව තුළ කවදත් නව හැඩතල මැවූ කාර්ඩැෂියන්/ජෙනර් පවුලේ මතභේදාත්මකම චරිතය වන කිම් කාර්ඩැෂියන් මැරිලින් මොන්රෝ ගේ මෙට් ගලා ගවොම හැඳීමට තීරණය කිරීම පිටුපස නොකී කතාව මතුවන්නේ මෙන්න මෙතනින්!

කිම් කරපු වැරැද්ද!

මැරිලින් මොන්රෝ දශක පහකට ඉහත දී හැඳි ගවොම ට යළි ස්පොට්ලයිටය ලබා දීමෙන් කිම් කාර්ඩැෂියන් යම් වරදක් කළ බව මට හැඟෙනවා. ඒක කිසිසේත්ම මැරිලින් ගේ ගවොමට සම්බන්ධයක් නෑ. කිම් කරපු වැරැද්ද මතුවෙන්නේ එයා මාධ්‍ය වෙත ලබා දුන් එක්තරා ප්‍රකාශයක් නිසා!

මේ ගවොම හැඳීමට තම සිරුර ප්‍රමාණවත් නොවූ බවත්, ඒ අනුව සති හයක කාලයක් එක දිගට තම බර අඩුකර ගැනීමට තමාට සිදුවූ බවත් කිම් පවසනවා.

ඉතිං හොඳයි නේ? හොලිවුඩයේ සරාගී රැජිණ ගේ ගවොමක් නැවත හැඳීමේ ගෞරවය ලබා ගැනීමට මෙතරම් කැපවීමක් කිරීම කොපමණ අගය කළ යුතු දෙයක් ද කියලා ඔබට අසන්න සිතෙනවා ඇති. එය මැරිලින් ට ලබාදුන්නු විශාල ගෞරවයක් කියලාත් ඔබ කියනවා සිකුරුයි.

අනේ.. ප්‍රශ්නේ තියෙන්නේ මැරිලින් ගේ ගවොම හැඳීමට කිම් ලබා දුන් කැපවීමේ නම් නෙමෙයි. ඇත්ත, කිම් මැරිලින් ගේ ගවොම හැඳීම යුග දෙකක විලාසිතා ඒකාබද්ධ කිරීමක්. එය අද වන විට ජීවතුන් අතර නැති මැරිලින්ටත් ගෞරවයක්. ඒත් තමා සෝෂල් ඉන්ෆ්ලුන්සර් කෙනෙකු, ෆැෂන් ඉන්ෆ්ලුවන්සර් කෙනෙකු බව පුරසාරම් දොඩන කිම් කාර්ඩැෂියන් මෙමඟින් සමාජයට ලබා දෙන පූර්වාදර්ශයයි ප්‍රශ්න සහගත!

ශ්‍රී ලංකාව මෙන් නොව එක්සත් ජනපදය යනු දියුණු රටක්. ඒක ඇත්ත. නමුත්, ඒ රටවල වුනත් ඉහළ යන ජීවන වියදම හා සමාජ මට්ටම් පැවතීම බරපතල ගැටළුවක් ව තිබෙනවා. කිම් කාර්ඩැෂියන් ඇතුළු කාර්ඩැෂියන්/ජෙනර් පවුල ජීවත් වෙන්නේ සමාජයේ ඉහළම ආර්ථික තලයක. ඔවුන් කරන විලාසිතා, ඔවුන් භාවිතා කරන පාවහන්, සුවඳ විලවුන්, මුදල් පසුම්බි, යාන වාහන හා ඇඳුම් පැළඳුම් මිළඳී ගැනීමට සාමාන්‍ය ඇමරිකානු පවුලක කාන්තාවකට කිරීමට තබා සිතීමට වත් බැහැ. ඊටත් වඩා කාර්ඩැෂියන්/ජෙනර් පවුල යනු සෑමවිටම තම ව්‍යාපාර හා මාධ්‍ය ප්‍රචාරණ හරහා කාන්තා රූසපුවේ හිනිපෙත්ත ප්‍රවර්ධනය කරන කණ්ඩායමක්. මිළ අධික වෛද්‍ය සැත්කම් කරමින් සිරුර සකසා ගනිමින්, ඉහළම රූසපුව වඩන ආලේපන හා ඖෂධ භාවිතා කරමින්, එක් දවසකට එක් ඇඳුමක් පමණක් භාවිතා කරමින් හා කිසිවිටක එකම විලාසිතාව දින දෙකක භාවිතා නොකරමින් කාන්තා සිරුරට බාබි ඩෝල් නිර්වචනයක් ලබා දෙන න්‍යාය පත්‍රයක් ඔවුන් අනුගමනය කරන්නේ. ඇමරිකාවේ ලක්ෂ සංඛ්‍යාත තරුණ යුවතියන් කාර්ඩැෂියන්/ජෙනර් ආභාෂය ලැබීමට නොකරන දෙයක් නැති තරම්.

ලිංගිකකරණය, නැත්තම් සෙක්ෂුවලයිසේෂන් කියන දේ සෑම සමාජ තලයකම විහිදී තිබෙන දෙයක්. ඒ අනුව අතිවිශිෂ්ට කාන්තා සිරුරකට රූසපුවකට ලබා දෙන නිර්වචනයක් හමුවේ විවිධ නිශ්පාදන වෙළඳ ලෝකයෙන් සමාජය වෙත මුදා හැරෙනවා. ඒවාට තිබෙන ඉහළ ඉල්ලුම තුළ ඩොලර් කෝටි ගණනින් මුදල් ඒ ඒ සමාගම් වලට ලැබෙනවා ත් ඇති. මේ අධිපරිභෝජන සමාජ ක්‍රමය තුළ ආහාර අක්‍රමිකතා, විවිධ මානසික ව්‍යාකූලතා ඇතිවීම තරුණ පරපුර අතර සුලභයි. ඒ අනුව සමහර විට තරුණ ගැහැණු ළමුන් සිරුර හැඩකරගන්න බලෙන් ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා, තැනිනම් වැඩිපුර ආහාර ගන්නවා; ඩයටිං ප්ලෑන් වලට යනවා. එය කෙනෙකුට විහිළුවක් වගේ පෙනුනත් ඒ අරගලයේ නියුතු ගැහැණු ළමයායි දන්නේ තමාගේ අනාරක්ෂීභාවයන් ගැන..

තමා සෝෂල් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් යැයි උදම් අනන කිම් කාර්ඩැෂියන් ඇමරිකාවේ සරාගී රැජින මැරිලින් ගේ මෙට් ගලා ගවොම හැඳීමට සති හයක් ආහාර පාලනය හා / හෝ ව්‍යායාම කළා යනුවෙන් කීමෙන් එම තරුණ පරපුරට ලබා දෙන්නේ සුබවාදී පණිවිඩයක් ද?

කිම් කාර්ඩැෂියන් ගේ රූසපුවේ ඇති වරදක් නැත. කිම් යනු උපතින්ම බාබි ඩෝල් කෙනෙකි. කාර්ඩැෂියන්/ජෙනර් පවුලේ ‘බියුටි ගුරු’ කිම් ය. ඈට ද ඇගේ තරුණ අවධිය තුළ අනෙකුත් තරුණ තරුණියන්ට මෙන් සිරුරේ හැඩය හා රූසපුව පිළිබඳ අනාරක්ෂීභාවයන් තිබෙන්නට ඇති. ඊට වරදක් කීමට නොහැකිය.

එහෙත් භෞතිකවාදී සැපසම්පත් වල කිමිදෙමින් සිටි තමාගේ ජීවිතය 2016 වර්ෂයේ දී මුහුණ පෑ පෞද්ගලික අත්දැකීමක් මත සම්පූර්ණයෙන් ම කණපිට පෙරළුණු බවත්, සුඛවිහරණ වලින් මිදී ජීවිතයේ සරල දෑට වටිනාකමක් ලබා දීමට තමා තීරණය කළ බවත්, ඒ අදිටනින් යුතුව නීතීඥයකු වූ තම පියාණන්ගේ අඩිපාරේ යමින් ඇමරිකාවේ නීති පද්ධතියේ ඇති අඩුපාඩු සොයමින් අසාධාරණ ලෙස සිරගත කෙරුණු අහිංසක මිනිසුන්ට යුක්තිය සාධාරණය ඉෂ්ට කිරීමට නීතීඥයකු වීමට තමා තීරණය කළ බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට පැවසුවේ කිම් කාර්ඩැෂියන් ම ය. මෙතැන් පටන් සමාජ සුභසාධනය උදෙසා කටයුතු කරන බවට අවස්ථා ගණනාවකදීම මාධ්‍යයට කිව්වේ කිම් ය. තමා දැන් සෝෂල් ඉන්ෆ්ලුවන්සර් කෙනෙකු බවට පුරසාරම් දෙඩුවේ කිම් ය.

එසේ නම්, මැරිලින් ගේ රෙද්ද ඇඳීමට සති 6ක් ආහාර පාලනය කරේ යැයි කීම තුළින් ඈ කරන්නේ සෝෂල් ඉන්ෆුවන්සින් ද? ස්ථුලතාවය, සිරුරේ බර, හැඩය ආදී කරුණු එක්ක අරගල කරන, පුරුෂාධිපත්‍යය බැඳි කාන්තා පෙනුමට කරන අපහාස වලින් පිරි සමාජ ක්‍රමය නිසා ප්‍රේම සබඳතාවයකට යාමට පවා අරගල කරන තරුණ ගැහැණු ළමුන්ට කිම් ලබා දෙන්නේ යහපත් සමාජ පණිවිඩයක් ද? කුසගින්නේ විඳවන දුප්පත් ජනතාවට කිම් ලබාදෙන්නේ යහපත් සමාජ පණිවිඩයක් ද?

රෙද්දක් අඳින්න බර අඩුකරගන්න කියලා ද කිම් මේ නොකියා කියන්නේ? නැත්තම් කිම්ගේ මෙට් ගලා සම්ප්‍රාප්තිය ගැන මගේ විචාරය හද්ද පට්ට කුහකයකුගේ අදහස් පෙළගැස්වීමක් පමණ ද?

අනේ මන්දා මට නම් එය බරපතල ගැටළුවක්…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි