×

කුඩා කල එක්සත් රාජධානියේ ශ්‍රම වෙළඳපලට අළෙවි කළ සුපිරි ඔලිම්පික් තරුව; ශ්‍රීමත් මෝ ෆාරා

මිනිස් ජාවාරම සහ ත්‍රස්තවාදය ගැන ශාස්ත්‍රීය සහ ගැඹුරු විග්‍රහ ලබා දෙන බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන් මානව සම්පත කළමනාකරණය කර ගැනීමට අපොහසත් වීම මත සඟවා ගත් තිත්ත යතාර්ථය පිළිබඳව ද ඉන් යම් ඉඟියක් අපට ලබා දෙනු ඇත. ලොව මූලධර්මවාදීන් බිහිවන්නේ මවකගේ කුසින් නොව ඔවුන් සමාජානුයෝජනය වන අන්දම මත බව අපට යළි යළිත් සිහිපත් කර දෙනු ඇත.


ෆාරා … ගෝලීය ශූරතා රන් පදක්කම් දහයක් දිනූ නූතන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම සාර්ථක බ්‍රිතාන්‍ය ධාවන ක්‍රීඩකයා නොවුනානම් අප ඔහු ගැන කතා නොකරනු ඇත. 2013 දී ඕඩර් ඔෆ් ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ (CBE) අණදෙන නිලධාරියා ලෙස පත් කර මලල ක්‍රීඩා සඳහා වූ සේවාවන් වෙනුවෙන් නයිට් නාමයෙන් පිදුම් නොලැබුවා නම් අපට ඔහු ගැන කතා කිරීමට දෙයක් නොමැතිවනු ඇත. මිනිසකු උපයාගනු ලැබූ වටිනාකම් වෙනුවෙන් සමාජය විසින් ලබා දෙන මිලට සාපේක්ෂව ඔහුගැන කියවීමක් ඇත. එය ලෝකයේ කොතැනත් එක සේය.

ෆාරා ඔලිම්පික් තාරකාවක් නොවුනා නම් ඔහුගේ ජීවිතයේ කටුක යථාර්ථය ඔහුත් සමඟ දිනක මිහිදන් වනු ඇත. ඔහුට කිසිවකු ඇහුන්කන් නොදෙනු ඇත. එලෙස මිය ගිය අප්‍රසිද්ධ දුක්ඛිත ජීවිත කොතරම් නම් ඇතිද?

ශ්‍රීමත් මෝ ෆාරා වෙනුවෙන් අද (13) දිනයේ දී විකාශය වීමට නියමිත The Real Mo Farah කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලබාදුන් සාකච්ඡාව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රවෘත්ති මවමින් ඇත. “මට වයස අවුරුදු හතරේදී මගේ තාත්තා සිවිල් යුද්ධයේදී මිය ගියා, ඔබ දන්නවා පවුලක් ලෙස අපි කැඩිලා ගියා,” ඔහු වයස අවුරුදු නවයේදී ජිබුටි සිට ලන්ඩනයට මෙහෙකාර සේවය වෙනුවෙන් අළෙවි කර ඇත. ඔහුගේ සැබෑ නම සේන් අබ්ඩි කාහින්ය. කුඩා කාලයේ නාඳුනන කාන්තාවක් විසින් තමා එක්සත් රාජධානියට ජාවාරම් කර ඇති බවත්, ඔහුට මොහොමඩ් ෆාරා නම් නාඳුනන පිරිමි ළමයෙකුගේ අනන්‍යතාවය ලබා ගැනීමට බල කළ බවත්, සේවකයෙකු ලෙස සේවය කළ බවත් මෙහිදී ඔහු පවසා ඇත.

එතැන් සිට මෙහෙකරුවකු වශයෙන් ඔහු ගෙවන ලද ජීවිතය පිළිබඳ ෆාරාගේ පාපොච්චාරණය කෙනෙකු කස්පනයට පත් කිරීමට සමත්ය. දෙමාපියන්, හිතවතුන් කිසිවතු නැතිව නන්නාදුනන රටක තනිවීමෙන් ලද පීඩනය දරා ගැනීම පහසු නැත. පොඩි දරුවකුට එය දරා ගැනීමට සිදුවීම සුළුපටු නැත. ෆාරාගේ කතාව ඇරඹෙන්නේ එතැන් සිටය.

වයස අවුරුදු 12දී පමණ ෆාරා Felltham Community College ට යොමු කරන අතර ඔහුගේ පංතිය භාරව සිටි ගුරුවරිය මොහු පිළිබඳ BBC යට තොරතුරු දක්වා තිබිණි. එනම් අපිරිසිදු හා නොසැලකිලිමත්, අඩුවෙන් කතා කළ ෆාරා චිත්තවේගීයව හා සංස්කෘතික වශයෙන් විරසක වූ දරුවකු බවත් ඔහුගේ දෙමාපියන් යැයි පැවසූ පුද්ගලයන් කිසිදිනක පාසලට නොපැමිණි බවයි ඈ ප්‍රකාශ කර තිබුණේ. අවසානයේ ඔහු 2000 දී එක්සත් රාජධානියේ පුරවැසියෙකු ලෙස පිළිගනු ලැබීය.

අවසානයේ ෆාරා සිය වේදනාවේ ප්‍රකාශන මාධ්‍ය කරගනු ලැබුවේ ධාවනයයි. ඔහුගේ දරා ගැනීමේ ශක්තිය වූයේ ධාවනයයි. අවසානයේ ඔහුගේ ජීවිතය එකම ගැලවීම වූයේ මලල ක්‍රීඩාවයි.

විචාරකයන් පවසන්නේ ලෝක පූජිත ක්‍රීඩකයා හරහා සරණාගතයින් සහ සංක්‍රමණිකයන් මුහුණ දෙන කටුක යථාර්ථයන හෙලිදරවු වන බවයි. මෙහි දී එක්සත් රාජධානියේ සරණාගත කවුන්සිලය ෆාරා ඉදිරියට පැමිණීම ගැන ප්‍රශංසා කර ඇත. “සර් මෝ වැනි දහස් ගණනක් මිනිසුන් මේ රටේ සිටිති – මෙහි නව ජීවිත ගොඩනඟා ඇදහිය නොහැකි දායකත්වයක් ලබා දෙන අය,” කණ්ඩායම ට්විටර් හි ලියා තිබිණ.

දශක ගණනාවක සාර්ථකත්වයට පසුවත් ඔහු පවසන්නේ සැබෑ මොහොමඩ් ෆාරාට සිදුවූයේ කුමක්දැයි තමා තවමත් කල්පනා කරන බවයි. “මම නිතරම සිතන්නේ අනෙක් මොහොමඩ් ෆාරා ගැනයි, මම එම ගුවන් යානයේ සිටි පිරිමි ළමයා ගැන..”

අතීතයේ සිට වර්තමානය දක්වා, වැඩිහිටි රැකවරණය නොලද බාලවයස්කරුවකු (unaccompanied minor) ලෙස යාත්‍රා කර දිවි ගලවා ගැනීමට තැත්කළ මෝ ෆාරාවන් කී දෙනෙකු මධ්‍යධරණී මුහුදේම මියැදෙන්නට ඇති ද? වෙරළාරක්ෂක භටයන්ගේ වෙඩි පහර ගන්නට ඇති ද? පොදි බැඳගත් අහිංසක බලාපොරොත්තු ගොන්න සදාතනිකවම මොළයේ පුංචි සෛලවල පමණක් සිරකරගෙන මුහුදු පත්ලට කිඳා බසින්නට ඇති ද? අප්‍රිකාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සුඩානය පමණක් නොව අප මේ ජීවත්වන පුංචි ශ්‍රී ලංකාව පවා එසේ පොදි බැඳගත් අහිංසක බලාපොරොත්තු ගැන කතාන්දර යටගසන්නට ඇති ද?

අද අප කවුරුත් දන්නා දුටු තැන ප්‍රීති ඝෝෂාවට ලක්වන මෝ ෆාරා ට දිවි ගලවා ගැනීමට හැකිව තිබිණි. එක්සත් රාජධානියේ අධ්‍යාපන ලේකම් වූ, දැන් කන්සර්වේටිව් පක්ෂයේ නායක තනතුරට තරඟ වදින්නකු වන වරක ඉංග්‍රීසි බස වත් කතා කිරීමට නොහැකි ඉරාක සරණාගත කොලුවකු ලෙස එංගලන්තයට බඩගාගෙන ආ නදිම් සහවි ට දිවි ගලවා ගැනීමට හැකිව තිබිණි. ඒ සියල්ල මැද දෛවයේ සරදමක් මෙන් උගන්ඩාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි සංක්‍රමණික පවුලකට දාව උපන් ප්‍රීති පටෙල් අද එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණිකයන් යළි ඔවුන් පැමිණි රටටම පිටමං කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටියි. ඔලිම්පික් රන් පදක්කම් ලාභී ශ්‍රීමත් මෝ ෆාරාටත්, රජයේ ඉහළම තනතුරු ලද නදිම් සහවිටත්, ඔවුන් මෙන්ම බලාපොරොත්තු පොදි බැඳගෙන එංගලන්තයට සංක්‍රමණය කිරීමට වෙරදරන අහිංසකයන් ‘ත්‍රස්තවාදීන්’ හෝ ‘මිනිස් ජාවාරමේ වින්දිතයන්’ බවට හංවඩු ගසමින් යළි පිටමං කිරීමට වෙර දරන ප්‍රීති පටෙල් ටත් ඉහළ සමාජ තත්ත්වයක් හිමිව තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යාපන පද්ධතියට ස්තූති වන්නට ය.

මිනිසුන්ට සිය ආත්මීය වේදනාවන්ගෙන් ගැලවිය නොහැක. සිය හෘද සාක්ෂියෙන් මිදිය නොහැක. ෆාරා වෙනුවෙන් අද දින නිකුත්වන කෙටි චිත්‍රපටයෙන් කතා කරනුයේ මේ කටුක යථාර්ථයයි.

එමෙන්ම, මිනිස් ජාවාරම සහ ත්‍රස්තවාදය ගැන ශාස්ත්‍රීය සහ ගැඹුරු විග්‍රහ ලබා දෙන බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන් මානව සම්පත කළමනාකරණය කර ගැනීමට අපොහසත් වීම මත සඟවා ගත් තිත්ත යතාර්ථය පිළිබඳව ද ඉන් යම් ඉඟියක් අපට ලබා දෙනු ඇත. ලොව මූලධර්මවාදීන් බිහිවන්නේ මවකගේ කුසින් නොව ඔවුන් සමාජානුයෝජනය වන අන්දම මත බව අපට යළි යළිත් සිහිපත් කර දෙනු ඇත.

 

OBT Team_

 

සබැඳි ලිපි : https://outboundtoday.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%94 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි