×

චාල්ස් කුමරු ග්‍රේටා තුන්බර්ග්ව බැහැ දකියි!

දැන්, මේ ලිපියේ හෙඩිමේ වැරැද්දක් ඇතැයි ඔබට සිතෙන්නට පුළුවන. රජ කුමරෙකු සාමාන්‍ය පොඩි කෙල්ලක ‘බැහැ දකිනවා‘ද? සිදුවන්නේ ඇය විසින් කුමරු බැහැ දැකීම නොවේද? නැත. මෙතැන කිසිම වැරදීමක් සිදු වී නැත!


ස්වීඩනයෙන් බිහි වූ අපේ කාලයේ පාරිසරික වීරවරිය, ග්‍රේටා තුන්බර්ග්ව එංගලන්තයේ චාල්ස් කුමරුට මුණ ගැසුණේ අද (24) ඩාවෝස් සමුළුවේදී ය.

කැමිලා පාකර්ටත් වඩා පරිසරයට ප්‍රේම කරන චාල්ස්

චාල්ස් කුමරු ලෝකයේ ප්‍රකට වූයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමරුටත් වඩා, ලෝකයේ සුන්දරම ගැහැණිය (ඩයනා කුමරිය) සමග ආදරයෙන් පවුල් කෑමට අසමත් වූ ‘ගෑණු හුටපට‘ සහිත රජ කුමරෙකු ලෙස ය. කුණු ඇවිස්සීමට කවදත් ප්‍රිය කරන ‘බ්‍රිතාන්‍යයේ හිරු නාලිකාව‘ යැයි කිවහැකි ඩේලිමේල්, ද සන් වැනි ගොසිප් මාධ්‍ය ලබාදුන් අනවශ්‍ය ප්‍රසිද්ධිය හේතුවෙන් ලෝකයට චාල්ස් කුමරු ගැන වැදගත්ම දෙයක් අමතක වුණේය.

ඒ, ඔහු ඩයනා කුමරියට ආදරය නොකළත්, ඩයනා කුමරියගේ අහලකින්වත් තියන්නට බැරි යැයි කියූ කැමිලා පාකර් බෝල්ස් හට ආදරය කළත්, ඊටත් වඩා ඔහු මේ මිහිතලයට සහ පරිසරයට ආදරය කරනා බව ය.

Photo by Hugo Burnand/Pool/Getty Images

ඩයනා කුමරිය සමග ඇල්මැරුණු ප්‍රේමයක

උදාහරණ කිහිපයක් මෙන්න…

චාල්ස් කුමරු සිය පෞද්ගලික ගොවිපොළ වශයෙන් සලකන, ඉමහත් ආදරය කරන ඔහුගේ ඩචී හෝම් ෆාම් (Duchy Home Farm) සම්පූර්ණයෙන්ම ඕගනික් (කාබනික) වන්නේ 1986 වසරේදී ය. ඒ කාලයේ සුපර්මාකට්වල ඉහළම මිල ගණන්වලට විකිණෙන පාරිභෝගික භාණ්ඩ වුණේ විකෘති ලෙස පුම්බන ලද චිකන් යනාදියයි. නමුත් කුමරුගේ ගොවිපොළේ නිෂ්පාදනය වුණේ ඕගනික් බාර්ලි, බීට්රූට්, කැරට්, කිරි, මස්ටඩ්, ඕට්ස් යනාදියයි. ඔහු මේවාට වෙළඳපොළක් 1992 වසරේ නිර්මාණය කරන්නේ Duchy Originals යන නමිනි. එම සමාගම මගින් කුකීස්, සුප් වර්ග නිෂ්පාදනය කරන අතර, එහි ලාභය සම්පූර්ණයෙන්ම බැර කරන්නේ පුණ්‍ය භාරයක් වෙත ය.

චාල්ස් කුමරු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන මුල් වරට කතා කරන්නේ 1990 වර්ෂයේ ය. ඒ වන විට ග්‍රේටා තුන්බර්ග් ඉපදීවත් නැත.

මිනිසා විසින් පරිසරයට කරන බලපෑම ගැන තමන් සිතන්නට පටන් ගත්තේ ගැටවරයෙකු ව සිටියදී බව චාල්ස් කුමරුම කියා තිබේ.

චාල්ස් කුමරු ගැන කලක් බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් සිතුවේ ‘ගස් සමග කතා කරන ඔල්මාදකාරයෙක්‘ ලෙස ය. සැබවින්ම තුරු සමග දොඩමළු වීමේ පුරුද්දක් චාල්ස් කුමරුට තිබේ. නමුත් පසුකාලීනව දකුණු කොරියානු විද්‍යාඥයන් විසින් ශාක, මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වන බව විශාල පර්යේෂණයකින් පසු සොයාගත්තේය. ඩොලර් මිලියන ගණනක් වැය කර සිදුකළ මේ සොයාගැනීම චාල්ස් කුමරු විසින් සිදුකර තිබුණේ ඊට බොහෝ කලකට පෙර ය!

චාල්ස් කුමරු 2013 වසරේ ලංකාවට පැමිණි විට මහත් අභිරුචියෙන් නැරඹුවේ බත්තරමුල්ල දියත උයන ය.

කලින් කියූ කතා කිහිපයක්

2019 වසරේ චාල්ස් කුමරු නවසීලන්තයේ සොලමන් දූපත් හෙවත්, පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන- ගෝලීය උණුසුම නිසා වැඩිපුරම හානියට පත්වූ කලාපය වෙත චාරිකාවක නියැළෙන්නට සූදානමින් මෙසේ කීවේය. ‘‘අපිට මේ යන විදිහ වෙනස් කර ගන්න තියෙන්නෙ අවුරුදු 10 ක් විතරයි!‘‘

‘‘අපි සොබාදහම අතවරයට (අපහරණයට) ලක් කර තිබෙනවා….

ඇයව සූරා කා තිබෙනවා…

ඒ වෙනුවෙන් අපි ඇයට මොකුත්ම දීල නෑ….!‘‘

“We have abused nature, exploited her and given her nothing back in return,

ඔහු පරිසරය වෙනුවෙන් සිය හඬ අවදි කළ අවස්ථා ගැන මෙවැනි වැකි දහස් ගණනක් ලියන්නට පුළුවන.

‘මී මැසි චාල්ස්‘

චාල්ස් කුමරු, කැමිලා හෙවත් කෝර්න්වෝල් හි ආදිපාදවරිය සමග ජීවත් වන්නේ ක්ලැරන්ස් හවුස් හි ය. මේ දෙපළට දරුවන් නොමැති බව ලොවම දනියි. නමුත් මේ දෙපළට මීමැසි දරුවන් 90,000 ක් සිටියි! වසරක ඒ මී මැස්සන් අනූ දහස විසින් රාත්තල් 40 ක් බරැති මී පැණි කන්දක් නිපදවන බව චාල්ස් කුමරු හෙළිදරව් කළේ මෙයට සතියකට පමණ පෙර ය. ‘‘මේ ගිම්හානයේ මීමැස්සන් බලන්න අපේ ගෙදර එන්න..‘‘ යනුවෙන් මේ පරිසර හිතකාමී මිනිසා විසින් විවෘත ආරාධනාවක් ද කර තිබේ.

ක්ලැරන්ස් හවුස් හි ට්විටර් ගිණුමේ මේ පණිවුඩය අකුරු කර තිබෙන්නේ මෙසේ ය.

‘‘මේ මාසයේ ගිම්හානයේ දවසක ඔබ ක්ලැරන්ස් හවුස් වෙත ආවොත්, ක්ලැරන්ස් හවුස් උද්‍යානයේ මී වද එල්ලෙමින් තිබෙන අයුරුත්, මී වද දෙකක මී මැස්සන් අනූ දහසක් ලැගුම් ගෙන සිටින අයුරුත් ඔබට දැකගත හැකි වනු ඇත…‘‘

අප මුලින් කියූ ඩචී හෝම් ගොවිපොළේ ද චාල්ස් කුමරු මී මැස්සන් ඇති කරයි.

පාරිසරික විපර්යාසවලට මුලින්ම සංවේදී වන, ඒ පණිවුඩය මිනිසාට කියන ප්‍රථම සන්නිවේදකයා වන්නේ මී මැස්සා ය. බ්‍රිතාන්‍යයේ සිටින මී මැසි විශේෂ 260 අතරින් 1/3 ක්ම වඳ වී යාමේ අවදානමට ලක්ව ඇති බව හෙළිදරව් වූයේ 2019 මැයි මාසයේ ය. ඉතින් චාල්ස් තමන්ට හැකි දේ උපරිමයෙන් පරිසරය වෙනුවෙන් කරන්නේ නොවේද?

මේ නිසාමදෝ, 2015 වසරේ නවසීලන්ත සංචාරයක යෙදුණු චාල්ස් කුමරුට බඹර මීමැස්සෙකු දෂ්ට කළත්, තත්පර කිහිපයකින් මී මැස්සාම චාල්ස් කුමරුව අතහැර දැමුවේය.

PopSugar.uk

අද ඩාවෝස් සමුළුවේදී චාල්ස් කුමරු කිව් කතා

අද ඩාවෝස් සමුළුවේදී චාල්ස් කුමරු මෙසේ කීවේය.‘‘හරිත බදු‘ (ග්‍රීන් ටැක්සස්) පාරිසරික හදිසි අවස්ථාවන් (ක්ලයිමේට් ඉමර්ජන්සි) සමග සටන් කිරීමට යොදාගත යුතුය‘ යැයි කීවේය.

දේශගුණික විපර්යාසය, මානව සංහතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය බව ද කීවේය. දේශගුණික විපර්යාස ගැටළුව විසඳීමට නම් වත්මන් ප්‍රතිපත්තිවලින් ‘සුසමයාදර්ශී විතැන්වීමක්‘ (paradigm shift) අත්‍යාවශ්‍ය බව කීවේය. අති අනර්ඝ ලෙස කතා කළේය.

නමුත් මේ ලිපියේ සාතිශය ඉඩක් චාල්ස් කුමරු වෙත වෙන් කර තිබියදීත් අප තවදුරටත් පවසන්නේ අද දින ‘කුමරු විසින් ග්‍රේටා තුන්බර්ග්‘ ව ‘බැහැ දුටු‘ බව ය.

රීප් වෑන් වින්කල් සහ චාල්ස් අංකල්

චාල්ස් කුමරුගේ දැන් වයස අවුරුදු 68 කි. එයට සාපේක්ෂව ග්‍රේටා තුන්බර්ග් ගේ වයස අවුරුදු 17 කි. හරියටම චාල්ස්ගේ වයසින් කාල (1/4) කි. නමුත් චාල්ස් කුමරු සිය ජීවිතය තුළ වසර 50කින් කළ දේවල් මේ පොඩි කෙල්ල විසින් වසර 2 කින් කර තිබේ. ඒ ගැන ලියු ලිපි ගණනාවක් මෙම වෙබ් අඩවියේ ද තිබේ.

වැඩ කිරීම සහ සද්ද කිරීම යනු දෙකක් යැයි බොහෝ අය කියති. නමුත් ‘සද්දෙට වැඩ කිරීම‘ හෙවත් ක්‍රියාකාරිත්වයට හඬක් දීම, දෙකක් නොව එකක් වන අවස්ථා ද ලෝකයේ ඇත. ගෝලීය උණුසුම, දේශගුණික විපර්යාස, පාරිසරික හදිසි තත්වයන්, පරිසර සංරක්ෂණය යනාදී මාතෘකා තවදුරටත් නිහඬව, තනිව කළ යුතු දේවල් නොවේ. ඒවා සැබවින්ම ‘සද්දෙට වැඩ කළ යුතු‘ මාතෘකා ය. (නමුත් එයින් අදහස් වන්නේ ලංකාව පැරිස් සම්මුතියට අත්සන් කළ බවට මල් වෙඩි දැමීම වැනි නිෂ්ඵල දේවල් ද නොවේ)

මේ ලෝකය ‘පරිසරය‘ යන මාතෘකාව සම්බන්ධයෙන් තවමත් නිදාගෙන සිටින්නේ රීප් වෑන් වින්කල් මෙන් ය. සියවසක් දිග නින්දකට වැටුණු රීප් වෑන් වින්කල්ට, ඇහැරුණු පසු උතුර – දකුණ මාරු වන්නේ තමන් ජීවත් වූ ලෝකය සහමුලින්ම වෙනස් වී ඇති බව දැකීමෙනි. ඉතින්, රීප් වෑන් වින්කල්ලා මෙන්, ඇල් මැරුණු උදාසීන කමක් දක්වමින් බිහිරි අලින් මෙන් නිදා ගෙන සිටින ලෝකයක් ඇහැරවන්නට, මීළඟ දශකයේ ලෝකයට අවශ්‍ය වන්නේ චාල්ස් කුමරුලාටත් වඩා ග්‍රේටා තුන්බර්ග්ලා ය.

එනිසා අවසාන වශයෙන්ද, මේ හමුව අප විස්තර කරන්නට වඩා කැමති, ‘ඇය විසින් චාල්ස් කුමරු බැහැ දැකි ප්‍රථම අවස්ථාව‘ ලෙස නොව, ‘චාල්ස් කුමරු විසින් ඇයව බැහැදැකි ප්‍රථම අවස්ථාව‘ ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි