×

ට්‍රම්ප් ගේ ඉල්ලීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේදී 7/9 ක් ලෙස පැරදෙයි

2020 මැතිවරණයේ ප්‍රධාන ජනපද 4 ක ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ට්‍රම්ප් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය සරල ලෙසම ඉවත දමයි !


ඇමරිකානු 2020 මැතිවරණයේදී අතිශය තීරණාත්මක ජනපද හතරක් වූ ජෝර්ජියා, මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් හි ජෝ බයිඩන් ජය ගැනීම අභියෝගයට ලක් කරමින් එම ප්‍රතිඵල අහෝසි කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම අද ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමුවේය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පවරනු ලැබුවේ ටෙක්සාස් ජනපදය විසිනි.

මෙම නඩුවේදී ට්‍රම්ප් වෙනුවෙන් කරුණු දැක්වීමට රජයේ නීතීඥවරුන් 18 දෙනෙක් සහ කොංග්‍රසයේ රිපබ්ලිකන් සාමාජිකයන් 106 දෙනෙක් එක්ව සිටීම විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය හුදු වශයෙන් ඉවත දමමින් කීවේ ටෙක්සාසයට මෙම නඩුව ගෙන ඒමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නොවැම්බර් මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු යැයි කියමින් සිටි ට්‍රම්ප්ට මෙය අති දැවැන්ත ප්‍රහාරයකි. ‘නීති විරෝධී ඡන්ද‘ හේතුවෙන් තමන්ට දෙවැනි වාරය අහිමි වූ බව ඔහු නොයෙක් අවස්ථාවලදී කියා තිබේ.

ඉතිහාස පොතට

මේ සිදුවීම මගින් ද ට්‍රම්ප් නැවත වරක් ඉතිහාස පොත්වලට එක් වන බවක් පෙනෙන්නට තිබේ.

ටෙක්සාසයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමා තිබුණේ තනි වාක්‍යයකින් මෝසමක් ප්‍රතික්ෂේප කරන ආකාරයට වඩා ඉතා සුළු හේතු දැක්වීමක් මගිනි. මෙය, මේ සතියේ මුල පෙන්සිල්වේනියාවේදී සිදුවූ දෙයට සමාන ය.

ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ නව දෙනාගෙන් විනිසුරුවරුන් දෙදෙනෙක් වන සැමුවෙල් ඇලිටෝ සහ ක්ලැරන්ස් තෝමස් පමණක් තමන් මෙම ඉල්ලීම සෘජුව නිෂ්ප්‍රභා නොකරන බව කීවත් මිලියන ගණනක් ඡන්ද අවලංගු කිරීමේ උත්සාහ ගැන ඔවුන් සිය අදහසක් පළ කළේ ද නැත.

කළු ජාතිකයෙකු වුවත් මෙම ක්ලැරන්ස් තෝමස් විනිසුරුවරයා අතිශය ප්‍රතිගාමී, කොන්සවේටිව් අදහස් දක්වන්නෙකු බව මීට පෙර ලිපියකින් ද අප විසින් පෙන්වා දී තිබේ. (කියවන්න – LGBT විවාහ සමානාත්මතාවයට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක් )

දේශපාලන විචාරකයන්ට අනුව මෙමගින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි පණිවුඩයක් ට්‍රම්ප්ට දී තිබේ. එය පහත පරිදි ය.

‘‘ට්‍රම්ප් දැන් ඇති! නවතින්න ! පරාජය පිළිගන්න !‘‘

ඇමරිකානු ජනපතිවරණය ගැන සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න.. #uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි