×

දිවි ගළවාගත් බොරිස් ජොන්සන්, බ්‍රෙක්සිට් වමාරයි!

පුරා සතියක් ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවා (NHS)රෝහලක් වූ සාන්ත තෝමස් රෝහලේ, නොඑසේ නම් ‘ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ‘ දැඩි සත්කාර ඒකකයේ රාත්‍රීන් 3 ක් සහ සහ වාට්ටුවේ රාත්‍රීන් 4ක් නැවතී ප්‍රතිකාර ලබාගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා පිටව ගියේය.


එසේ නිදුකින් ගෙදර ගිය බොරිස් ජොන්සන්, ට්විටර් හරහා විශේෂිත වීඩියෝ පණිවුඩයක් ලෝකය හමුවේ තැබුවේය. එහිදී NHS කාර්ය මණ්ඩලය සිය දිවි බේරාගත් බව පවසන ඔහු, විශේෂ පුද්ගලයන් දෙදෙනෙකුට විශේෂයෙන් ස්තූතිවන්ත වන්නේ ‘‘ඕනෑම දෙයක් විය හැකිව තිබූ අවස්ථාවක සිය ගිලන් සයනය අසල එකදිගට පැය 48 ක් නොසෙල්වී දිවි බේරාගැනීම සම්න්ධයෙනි.

ඔවුන් ‘stood by bedside for 48 hours when things could have gone either way”’ යැයි ඔහු හැඟුම්බර ලෙස කීවේය.

ඔහු එහිදී තවදුරටත් මෙසේද කියයි.

“The reason in the end my body did start to get enough oxygen was because for every second of the night they were watching and they were thinking and they were caring and making the interventions I needed.”

‘‘අන්තිමට මගෙ ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබීමට හේතුව, රාත්‍රියේ හැම තත්පරයකම ඔවුන් මාව සෝදිසි කරමින්, මට අවශ්‍ය වී තිබූ දේවල් කරමින්, මාව රැක බලා ගැනීමයි.‘‘

මේ අන්දමින් අගමැති ජොන්සන්ගේ කෘතඥපූර්වක ප්‍රශංසාවට ලක්වූ දෙදෙනාගෙන් එක් අයෙකු 29 හැවිරිදි පෘතුගීසි ජාතික හෙද නිලධාරියෙක් වන ලුවිස් පිතාර්මා ය. අනෙක් කෙනා, නවසීලන්තයේ උපන් NHS හෙදියක් වන 35 හැවිරිදි ජෙනී මැක්ගී ය.

පෘතුගීසි ජාතික  ලුවිස් පිතාර්මා

නවසීලන්ත ජාතික ජෙනී මැක්ගී

අවසානයේ බ්‍රෙක්සිට් නිර්මාතෘ බොරිස් ජොන්සන්ගේ ජීවිතය රැකුණේ නොරටුන් දෙදෙනෙකු නිසා යැයි ඔහුටම පවසන්නට සිදුවිය.

කොවිඩ් වසංගතය විසින් මරණ 10,000කට වඩා සිදුකර ඇති මොහොතක අගමැතිවරයාට ද මරණ බය දැනෙන්නට ඇත. නමුත් ඔහුගේ දිවි රැකුණේ එදා ලේබර් පක්ෂය (අද විපක්ෂය) මුල් වී තැනූ NHS රජයේ රෝහල් පද්ධතිය තුළින් වීමටත් වඩා මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ ඔහුගේ ඇඳ ඉහපත්තේ සිට නිදි මරමින් ඔහුගේ ජීවිතය බේරාගත් දෙදෙනා නොරටුන් දෙදෙනෙකු වීමයි.

එය අතිශය බරපතළ දෛවයේ සරදමකි. එයට ප්‍රධානතම හේතුව, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අතිශය බරපතළ බ්‍රෙක්සිට්වාදියෙකු වීමයි. ඔහු ‘බ්‍රෙක්සිට් නිර්මාතෘ‘ යැයි ද කිව හැක. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් කඩා වෙන්කිරීමට පැමිණි ‘ටර්මිනේටර්‘ හෙවත් ‘සියල්ල කෙළවර කරන්නා‘ යැයි ද කිව හැක. සියල්ල යථා පරිදි සිදු වී නම්, 2020 දෙසැම්බර් 31 දා වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් සදහටම වෙන් විය යුතුය.

ඉතින් බ්‍රෙක්සිට් නිර්මාතෘ වශයෙන් බොරිස් ජොන්සන් නොරටුන් ගැන එදා කියූ කතාවලින් බ්‍රිතාන්‍ය ඉතිහාසයම කැත වී තිබේ. ඒවායින් නිතරම වෑහුණේ ජාතිවාදය සහ සීනොෆෝබියාව (විදේශිකයන් කෙරෙහි දක්වන භීතිකාව) යි. නමුත් අවසානයේ එහෙව් බොරිස් ජොන්සන් හටම, ආණ්ඩුවේ ඉස්පිරිතාලයේදී තමන්ගේ ජීවිතය බේරාගත්තේ විජාතික සෞඛ්‍ය සේවකයන් දෙදෛනෙකු විසින් බව මුළු ලෝකයටම හඬ ගා කියන්නට සිදු විය!

විදේශිකයන්ට බ්‍රිතාන්‍යය වසා දැමීම බ්‍රෙක්සිට්වාදීන්ගේ ප්‍රධානතම අරමුණකි. ඔවුන් සිය රට තුළ සම්පත් සූරාකන බවටත්, රටේ සම්පත්වලින් පෝෂණය වන බවටත්, ධනවත් වන බවටත් බ්‍රෙක්සිට්වාදීහු මුරගාමින් කියති. බ්‍රෙක්සිට් වලින් පසු හුදෙකලා වී යුරෝපා සංගමය තුළ තමන්ගේම රජ දහනක් තනා ගන්නට බ්‍රිතාන්‍යය සිහින මවන නමුත් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ සාමාජිකයන්ගෙන් 30%කටත් වැඩි පිරිසක් විජාතිකයන් හෙවත් පිටරටින් පැමිණ බ්‍රිතාන්‍යය තුළ සේවය කරන්නන් ය! අද වන විට යුරෝපය තුළ කොවිඩ් වසංගතයේ දරුණුතම අර්බුදයකට මුහුණ දී සිටින මහා බ්‍රිතාන්‍යය, එයින් ගළවා ගැනීමට දිවි පරදුවට තබා සටන් වදිමින් සිටින්නේ මේ සෞඛ්‍ය සේවයයි.

වරක් ෆොරින් පොලිසි සඟරාව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යය මේ වන විට පශ්චාත් බ්‍රෙක්සිට් අනන්‍යතා අර්බුදයකට ලක්ව සිටින බවයි (Post-Brexit Identity Crisis). නමුත් සැබවින්ම දැන් නම් අනන්‍යතා අර්බුදයකට ලක්ව සිටින්නේ මහා බ්‍රිතාන්‍යයටත් වඩා එහි අගමැති බොරිස් ජොන්සන් ය.

දෛවයට මෙතරම් සරදම් කළ හැකිදැයි දෛවය පවා නොසිතන්නට ඇත!

දැන්වත් බොරිස්, බ්‍රෙක්සිට්වාදය පැත්තකින් තබා, ලෝකයේ ශක්තිය තිබෙන්නේ බෙදී වෙන්වී සිටින විට නොව එක්වී සිටින විට බව වටහා ගත යුතුය. නොඑසේ නම් ඔහු තව නොබෝ දිනකින්ම, වසංගත මරණයක් කෙසේ වෙතත් දේශපාලනික මරණයක් නම් නියත වශයෙන්ම  අත්පත් කර ගන්නවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි