×

‘නාසිසස් – එකෝ’ ග්‍රීක ප්‍රේම පුරාවෘත්තය

ග්‍රීසියේ අත්‍යුත්තර දෙවියා වූයේ සියුස්. ඔහුගේ නීතිප්‍රකාර බිරිඳ හේරාට පරිවාර දෙවඟනන් බොහෝදෙනෙක් සිටියා. ඔවුන් කාලය ගත කළේ ඔලිම්පස් කඳු වළල්ලේ පහළ බෑවුම් ප්‍රදේශවලයි. රාජකාරියෙන් මිදුණු අවස්ථාවල මේ දෙවඟනන් විවේකීව, වන රේඛා, ගංගා තීරවලට වී ගී ගයමින් රඟමින් සහ ඔවුන්ට ම අනන්යව නොයෙක් කතන්දර කියමින් සිතැඟි පරිද්දෙන් විනෝද වුණා.


ග්‍රීසියේ අත්‍යුත්තර දෙවියා වූයේ සියුස්. ඔහුගේ නීතිප්‍රකාර බිරිඳ හේරාට පරිවාර දෙවඟනන් බොහෝදෙනෙක් සිටියා. ඔවුන් කාලය ගත කළේ ඔලිම්පස් කඳු වළල්ලේ පහළ බෑවුම් ප්‍රදේශවලයි. රාජකාරියෙන් මිදුණු අවස්ථාවල මේ දෙවඟනන් විවේකීව, වන රේඛා, ගංගා තීරවලට වී ගී ගයමින් රඟමින් සහ ඔවුන්ට ම අනන්යව නොයෙක් කතන්දර කියමින් සිතැඟි පරිද්දෙන් විනෝද වුණා. එකෝ කියන්නේ මොවුන් අතර හිටි එක දෙවඟනක්. සුන්දර තුනුවගක් සහ ළතෙත් හදවතක් තිබුණු ඇය පරිවාර දෙවඟනන් අතර ප්‍රියතම තැනැත්තියයි. ඇය කතාන්දර කියන්න බොහොම ආශා කළා. ඒ සිනහවත් කෙළිලොල් හැසිරීම් රටාවත් නිසා හේරා එකෝගේ සමාගම නිතර ප්‍රිය කළා. එකෝ අසළට විත් ඈ දෙස බලාසිටීමෙන් හේරාගේ අහංකාර සිත් වෙනස් වී මොළොක් වෙනවා. ඇගේ දෙපාමුල වැතිරෙන එකෝ නොනවත්වා තමන් පරිකල්පනය කළ කතන්දර කියමින් හේරාව සතුටට පත් කරනවා.

එකෝගේ මේ ස්වභාවයෙන් ප්‍රෙයා්ජන ගන්නට සිතූ පරිවාර දෙවඟනන් දිනක් සියුස් හා සහෝදර දෙවඟනකට රහසේ ප්‍රේම සල්ලාපයේ යෙදීමට ඉඩසලසමින් ඔවුන් සිටින පෙදෙසට ප්‍රෙව්ශ වන දොරටුව අභියස එකෝව රඳවනවා. එසේ කරන්නේ සියුස්ගේ රහස් ආලිංගනයට බාධාවක් වන හේරාගේ පැමිණීම පිළිබඳව කලින් ඔවුන්ට දැනගැනීමටයි. හේරා හා එකෝ සතුටු සාමීචියේ යෙදවීමෙන් සීයුස්ට එතනින් පලායාමට උපකාරී වන්නටයි. එකෝ මේ කිසිම උප්පරවැට්ටියක් නොදැන දොරටුව අසළ සිටිනවා. සීයුස් සොයමින් හේරා පැමිණෙනවා. හේරා වශී වී එකෝගේ කතන්දර අසාසිටින ඇසිල්ලේ සියුස් ඇගේ නවතම පෙම්වතිය ද රැගෙන එතනින් පලායනවා.

පසුව මේ බව දැනගත් හේරාට එකෝ කෙරෙහි කෝප සිතිවිල්ලක් පහළවෙනවා. සියුස්ගේ කටයුතු වසන් කිරීමට එකෝ උපකාරීවුයේ යැයි සිතා ඇය එකෝට ශාපකරනවා. එනම් එතැන් පටන් එකෝ දෙවඟනගේ කතාකිරීමේ හැකියාව නැතිවී ඇයට තවකෙකු පවසන දෙයක් අනුරාව කිරීමට පමණක් හැකිවේවා යන්නයි. ඉන් අදහස් වන්නේ ඇයට කිසිදාක තමන්ගේ ඕනෑකමින් යමක් කිව නොහැකි බවයි. වෙනත් අයකු පැවසූ යමක අග කොටස පමණක් පුනරුච්චාරණය කළ හැකි බවයි. මෙය අසා සිටින පරිවාර කතුන් ‘අහෝ!අහෝ!’ කියමින් දුක්වනවා. එකෝ ද එය ම පවසනවා. ශාපයට අනුව එසේ කීමට සිදුවනවා. තමාට මුහුණ දීමට සිදුවූ ඇබැද්දියෙන් ශෝකයට පත් එකෝ කතාකිරීමේ වරම ද අහිමිව හේරාගෙන් සමාව අයදීමට අවැසිවුවත් ශාපය නිසා එය ද කරගත නොහැකිව ඇගේ සොයුරියන් හා නිබඳව කෙළි දෙළෙන් කල් ගෙවූ ගංගා නිම්න, තුරු වදුලු හැර දමා වනන්තරයේ ඈත උස් ප්‍රදේශ වෙත ගොස් එහි හුදකලාව සැඟවෙනවා. ඇතැම් කතාවක ඇගේ අනුරාව පවා අසා සිටීම හිරිහැරයක් වූ නිසා හේරා එකෝව ගිරවෙක් බවට පත් කළ බව ඇතැම් පුරාකතාවක දැක්වෙනවා.

මේ අතර නාසිසස් නම් තරුණයෙක් තමන්ගෙ සඟයන් සමඟ දඩයම් පිණිස එකෝ සිටින වනයේ සැරිසරනවා. නිල් ඇසුත් කහ හිසකෙසුත් මෘදු මුහුණකුත් දැඩි හදවතකුත් ඇති නාසිසස් කඩවසම් තරුණයෙක්. නාසිසස් හැදුනේ වැඩුණේ බොහොම ප්‍රීතියෙන්. බොහෝ තරුණියන් ඔහුට ප්‍රේමය ප්‍රකාශ කළත් ඔහු ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. තමා සුන්දර නිසා ඔහු සිටියේ ආඩම්බර බවකින්. ඔහු උපන් අලුත අනාගත වක්තෘ තේරේසියාස් නාසිසස් ගැන මෙවැන්නක් සඳහන් කර තිබුණා. ඒ ඔහු තමා ගැන දැනගත් දිනයේදී, ඔහු තමාව දුටු දිනයේදී ඔහු මිය යන බව. මේ තරුණ නාසිසස් දඩයමේ ගොස් වනන්තරයේ අතරමං වනවා. ඔහුගේ සමීප මිතුරන් ඔහුට මග හැරෙනවා. ඔහු ඔවුන්ව සොයමින් වනන්තරේ ඈතට ගමන්කර අවසානයේ එකෝ සිටි වනරොදට ද ඇතුලු වනවා. ගසකට මුවා වී කලකිරීමෙන් සිටිය එකෝ නාසිසස්ව දකිනවා. දර්ශන මාත්‍රයෙන් එකෝ ඔහු වෙත පෙමින් බැඳෙනවා.

‘ඔහෝයි, මම මෙහේ. කොහෙද ඉන්නේ’ ඔහු මිතුරන් සොයා කෑ ගසනවා.

‘කොහෙද ඉන්නේ’ අවසන් වචන පමණක් කිවහැකි එකෝ ඔහුට පිළිතුරු දෙනවා.

ඒ හඬ ඇසුණු නාසිසස් ක්ෂණිකව හැරී බලනවා. නමුත් කිසිවක් දකින්නේ නැහැ.

‘මම කැලෑව ඇතුළෙ. මේ නාසිසස්’ ඔහු නැවතත් පවසනවා.

‘නාසිසස්’ එකෝ මුමුණනවා.

නාසිසස් කටහඬ එන ඉසව්ව සොයමින් ඉදිරියට ගමන් කරනවා. එකෝ ගස්වලට මුවාවෙමින් ඔහුට නොපෙනී වනයේ ඈතට තවදුරටත් පියමනිනවා. අවසානයේ පාෂාණ ස්ථරවලින් වට වූ කුඩා විලක් හා වෘක්ෂ ලතා සහිත විවෘත භූමියකට එකෝ පිවිසෙනවා. විලෙහි ඉවුර දක්වා පැමිණි එකෝට එතනින් එහාට ගමන් කළ නොහැකියි. එවිට ම නාසිසස් එහි පැමිණෙනවා. ඇයව දැක එතනම නතරව බලා හිඳිනවා. සිය ආල සිතැඟි කිවගත නොහැකි එකෝ සිටගත්වනින්ම හඬා වැටෙනවා. කතා කළ නොහැකි ඇයට කළ හැකි එය පමණයි.

‘මට කතා කළේ ඔබද?’ ඔහු අසනවා.

‘ඔබද?’ ඇය සුපුරුදු ප්‍රතිරාව නංවනවා.

‘ඔබ කවුද? ’ ඔහු නැවත අසනවා.

‘ඔබ කවුද?’ ඇය පිළිතුරු ලෙසින් එය ම රාව නංවනවා.

‘මම කිව්වා නේද, මම නාසිසස්’ පිළිතුරු වෙනුවට තමා පවසන දෙය ම නැවත ප්‍රතිරාව කරන එකෝ නිසා නාසිසස් අතිශය කෝපයට පත්වනවා. ඔහු ඇයට රුදු වදනින් බැණ වදිනවා. තමාට වූ ශාපය හෝ තම ආලය ප්‍රකාශ කර ගත නොහැකි එකෝ ශෝක වනවා. බැණ වැදීමෙනුත් වනන්තරේ ඇවිදීමෙනුත් වෙහෙසටපත් නාසිසස් පොකුණ අසළ වාඩි වී ගිමන් හරිනවා. දියබිඳක් පානය කිරීමට ඒ වෙත නැමෙන ඔහු විල් දියමත කඩවසම් රුවක් ඇදී තිබෙනු දැක වශීවෙන්නේ ඉන් ගැලවිය හොහැකි අන්දමින්. ඒ ඔහුගේ ම හෙවනැල්ල බව ඔහුට වැටහෙන්නේ නැහැ. ඇතැම් කතාවක සඳහන්වන්නේ ඔහු විල දෙස බලාසිටියේ කලකට පෙර මිය ගිය ඔහුගේ නිවුන් සොයුරියගේ රුව විල දියෙහි දර්ශනය වූ නිසා බවයි.

තමන්ගේ රුවට වශීවන නාසිසස්ට එකෝව අමතකවනවා. නාසිසස් විලෙහි ඇඳි සෙවනැල්ලට අත පොවා නැවත අත පසෙකට ගන්නවා. ඒ රුව බොඳාවනු යළි මැවෙනු පෙනෙන නිසා ඔහු තෘප්තිමත්. කාලය ගත වන බව නොදැන එදින සිට දින ගණනාවක් යන තෙක් ඔහු එලෙසින් ම එතැන හිඳ විලෙහි රුව දෙස බලා සිටිනවා. තෙරෙයිසියාස්ගේ අනාවැකිය මුදුන්පත් වනවා.

එකෝ විලේ පිටුපස ගලට මුවා වී නාසිසස් දෙස බලා සිටිනවා. ඔහු තම සෙවනැල්ල දෙස බලා හිඳ විලට පනින්නේ යැයිද ඇතැම් කතාවක දැක්වෙනවා. රුව දෙස බලා සිට ම මියයන බවට ද කතා පවතිනවා. පිහියෙන් ඇණ දිවි නසාගන්නේ යැයිද තවකෙක සඳහන්. නාසිසස් විලට වැටෙනවිට ඉන් ඔහුව වළක්වන්නට එකෝ දිව ආවත් ඔහු එවිට වැටී අවසන්. ඔහු මිය ගිය පසු විල අද්දර සුදුපෙති ඇති මල් වර්ගයක් හට ගන්නවා. එය මිහිරි සුගන්ධයක් විහිදුවනවා. විල වටා වැවෙන මේ මල් සියල්ල ම නාසිසස් විලසින් ම විල දෙසට නැමී එදෙස බලා සිටින ආකාරයක් පෙන්නුම් කරනවා.

නාසිසස් වෙනුවෙන් විල් ඉවුරේ සිට දිගට ම වැළපුණු එකෝ මියයනවා. ඇගේ කඳුළු වලින් එතැන කුඩා පොකුණක් නිර්මාණය වනවා. ඇගේ ඇටකටු එතන ම නොසැලී තිබී ගල් බවට පත්වෙනවා. ඇගේ සුසුම් සුළං බවට පරිවර්තනය වනවා. ඇගෙ ශරීරය සුළගත් සමඟ අතුරුදන්ව යනවා. ඇගේ ප්‍රතිරාවය තුරු මුදුන්, පර්වත, ගුහා, කඳුවළලු අතර අදටත් දෝංකාරදෙමින් පවතිනවා.

ඩිල්ෂානි චතුරිකා දාබරේ (ආශ්‍රිත කෘති – Classical Mythology, Gods and Goddesses in Greek mythology, Favourite greek myths1)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි