×

පසුගිය පැය 24 තුළ යුක්රේනයට ගුවන් ප්‍රහාර 34ක් ; මොස්කව් ප්‍රහාරවල විරාමයක් නැත.

මෙහිදී ඩොනෙට්ස්ක් නගරයේ Chasiv Yar වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 මරණයට පත්ව ඇති අතර නිවාසවල සිර වී සිටින පිරිස දුසිම් ගණනක් වන බව මාධ්‍ය නිවේදනය කර තිබේ.


යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ පසුගිය පැය 24තුළ ගුවන් ප්‍රහාර 34ක් තම රටට එල්ල කළ රුසියානු ප්‍රහාරවල කිසිදු අඩුවක් නොමැති බවයි.

මෙහිදී ඩොනෙට්ස්ක් නගරයේ Chasiv Yar වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 මරණයට පත්ව ඇති අතර නිවාසවල සිර වී සිටින පිරිස දුසිම් ගණනක් වන බව සෙලෙන්ස්කි මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබේ. යුක්රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා වන Andriy Yermak විසින් Chasiv Yar ප්‍රහාරය “ත්‍රස්තවාදී” ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ. ඔහු ප්‍රකාශ කරන පරිදි රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ තිබිය යුතුය.
යුක්රේන හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බැවින් රුසියාව අත්පත් කරගෙන සිටින කුණු දිග කෙර්සන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වහා ඉවත් වන ලෙස යුක්රේනයේ නියෝජ්‍ය අගමැති නිවේදනය කර තිබේ. යුක්රේනයේ හමුදාව රුසියානු හමුදාවන් තවදුරටත් ඉදිරියට යාමෙන් වළක්වමින් සිටින බව ප්‍රකාශ වන අතර ස්ලෝවියන්ස්ක් සහ බක්මුත් අල්ලා ගැනීම රුසියාවට මේ මොහොතේ සිහිනයක් පමණක් බව යුක්රේන රජය නිවේදනය කරයි.

ඉරිදා අලුයම එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයකින් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් හි පාසලකට සහ ළමා සෞඛ්‍ය මධ්‍යස්ථානයකට හානි සිදු වූ බව බලධාරීන් පවසති. “මෙය අපේ ජාතියේ සහ අපේ සංස්කෘතියේ ජන සංහාරයක් යැයි මම සිතමි,” මෙයින් කම්පාවට පත් යුක්රේන වැසියන් ප්‍රකාශ කරන බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ වන විට රුසියාවෙන් ජර්මනියට ගෑස් රැගෙන යන විශාලතම නල මාර්ගය වන Nord Stream 1 ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසා දමා ඇත. මෙම මාර්ගයෙන් බෝල්ටික් මුහුද හරහා ජර්මනියට වසරකට ගෑස් ඝන මීටර් බිලියන 55 ක් ප්‍රවාහනය කරයි. යුක්රේන යුද්ධය හේතුවෙන් ගෑස්නල වසා දමීම දීර්ඝ වනු ඇතැයි ජර්මානු රජය, වෙලඳපොලවල් සහ සමාගම් කනස්සල්ලට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් ජර්මානු ආර්ථික ඇමති පවසා ඇත්තේ රුසියාව විසින් ගෑස් ගලායාම අත්හිටුවීමේ හැකියාවට රට මුහුණ දිය යුතු බවයි.

යුරෝපයද මේ වන විට රුසියාව යුරෝපීය ගෑස් සැපයුම තවදුරටත් සීමා කිරීම සඳහා නියමිත නඩත්තුව දීර්ඝ කරනු ඇතැයි  බියව සිටින බව කියැවේ. මේ වන විට උතුරු ශීත සෘතුව සඳහා සූදානම් වීම අවුල් සහගතව ඇති අතර මේ වන විටත් පාරිභෝගිකයින් සඳහා ලැබෙන ගෑස් බිල්පත්වල විශාල ඉහළ යාමක් ඇති බව ද පැවසේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි