×

පීතෘ නිවාඩු ඉල්ලන විරාත් කෝලිගෙන් ලංකාවටත් පාඩමක්

සිය බිරිඳ මෙලොව ඇති විශාලම වේදනාව දරා දරුවෙකු බිහි කරන විටත්, ඉන් පසුවත් ඇය අසලින්ම සිටීමේ අයිතිය පිරිමියෙකුට අහිමි ද?


2015 දී එවකට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ඔහු ප්‍රථම වතාවට පියකු වන්නට යන පුවත දැන ගත්තේ ය. — ඒ කෙටි පණිවුඩයක් හරහා ය.

“මම ජාතික යුතුකමක් කරනවා, ඒ නිසා අනෙක් හැම දේටම නැවැතිය හැකි යි,” යැයි කියමින් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව හා තරග වැදීමට ඔහු තම දියණිය ගේ උපත මගහැර තිබිණ.

මහේන්ද්‍ර සිං දෝනි

වසර පහකට පසුව, ඒ හා සමාන ම අත්දැකීමකට තවත් ඉන්දිය ක්‍රිකට් නායකයෙක් මුහුණ පා සිටින්නේ ය. ඒ, ඉන්දීය ක්‍රිකට් පිලේ විරාත් කෝලි ය. නමුත් ඔහු මෙවර, රැකියාවට පෙර තම පවුල ට මුල් තැන ලබා දී තිබේ.

පසුගිය මාසයේ විරාත් කෝලි නිවේදනය කර සිටියේ ඔහු ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර වැදගත් ටෙස්ට් තරගාවලියක් අතර මැද, එනම් දෙසැම්බර් මස අවසාන භාගයේ පීතෘ නිවාඩු ලබා ගන්නා බවයි. ඔහු බිරිඳ, ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සමග ඔහු ගේ ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිටින්නේ ජනවාරි මාසයේ ය.

“මෙය අපේ ජීවිතයේ ඉතාමත් විශේෂිත මෙන් ම ඉතාමත් අලංකාර මොහොතක්, මෙය සත්‍ය වශයෙන් ම මට අත්විඳිය යුතු යි,” යැයි ඉන්දියානු ක්‍රිකට් නායක කියා සිටියේ ය. තමා මේ තීරණය ගන්නට රටවල් දෙකෙහි ම නිරෝධායනය වීමට සිදුවීම ද බලපා ඇති බව ඔහු කියා සිටියේ ය. එනම්, තරගාවලියක් අතරතුර තම දරුවා බිහිවුණහොත් ඒ ක්ෂණයෙන් ම සිය රට බලා පැමිණ ඔහු ගේ පවුල සමග එක් වන්නට ඔහුට නො හැකි වනු ඇත.

ක්‍රිකට් උන්මාදය දැඩි ලෙස පවතින ඉන්දියාවේ ක්‍රීකට් ක්‍රීඩකයන් දේවත්වයෙන් යුතුව සැලැකෙන බව කිව යුතු නැත. එ වැනි පසුබිමක කෝලි ගේ මේ මානුෂීය තීරණයට විවිධ ප්‍රතිචාර එල්ල වී තිබේ.

ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වන හර්ෂ බෝග්ලේ, කෝලි නොමැතිවීම තරගය ඉන්දියාවට අපහසු කරවනු ඇති බවට ට්විටර් පණිවුඩයක් ඔස්සේ කියා සිටි අතර, කෝලි ගේ තීරණය අගය කළේ ය.

“රැකියාවට වඩා දේ ජීවිතයේ තිබෙනවා,” ඔහු කීවේ ය.

Democracy’s XI — The Great Indian Cricket Story කෘතියේ කර්තෘ රාජ්දීප් සර්දේසායි විශ්වාස කරන අන්දමට ඉන්දියාවේ පිරිමින්ට පීතෘ නිවාඩු උවමනා වීම සම්බන්ධයෙන් කිසිවෙක් මෙතෙක් පූර්වාදර්ශයක් සපයා ඇත.

“සමාජ පරිසරයෙන් වටවී සිටින හෝ මෙම තීරණය ගන්නට දෙවරක් සිතිය යුතු සිතන අයට, ඉන් ඉවතට එන්නට මෙය උනන්දු කරවනවා” යැයි ඔහු කියයි.

විරාත් කෝලි, 2020 පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඔහු කුඩා කල සිය පියා සමග ගත් මෙම ඡායාරූපය පළ කර තිබිණි.

දෙමව්පිය නිවාඩු සම්බන්ධයෙන් ඉන්දියාව කොතැනක ද?

2017 වර්ෂයේ මාතෘ සංශෝධන කෙටුම්පත (Maternity Amendment Bill) වේතන සහිත මාතෘ නිවාඩු සති 12 සිට සති 26 දක්වා ඉහළ දැමුවේ ය — මෙය එක්සත් ජනපදය හා ප්‍රංශය වැනි රටවලට ද වඩා හොඳ තත්ත්වයකි.

එහෙත්, රජයේ සේවයකයන්ට දින පහළොවක පීතෘ නිවාඩුවක් ලබා ගත හැකි වුවත්, අලුත් පියවරුන්ට නිවාඩු සහතික කරන ජාතික නීතියක් ඉන්දියාවේ නැත.

ඉන්දියාවේ ඉදිරි පෙළේ නීති සමාගමක් වන J. Sagar Associatesහි මිනූ ද්විවේදි පවසන අන්දමට ඇතැම් ව්‍යාපාර ගෝලීය ප්‍රවණතා හා යමින් වේතන සහිත පීතෘ නිවාඩු ලබා දෙන්නට උත්සුක වී තිබේ. උදාහරණයක් වශයෙන්, පසු ගිය අවුරුද්දේ ඉන්දිය ආපනශාලා සමූහනය කරන සහ ආහාර නිවෙසට ගෙනැවිත් භාර දීමේ සේවාවක් වන සොමාටෝ (Zomato) සති 26ක වේතන සහිත මාතෘ සහ පීතෘ නිවාඩු ප්‍රකාශයට පත් කළේ ය.

එහි මුල් පුටුව හොබවන දීපෙන්දර් ගොයල් බ්ලොග් ලිපියක් ලියමින් කියා සිටියේ තරුණ දෙමව්පියන්ට තම දරුවන් රැක බලා ගන්නා අන්දම සම්බන්ධ තීරණයක් ගැනීමට ඉඩක් ලැබිය යුතු බව යි. “දරුවන් මුලික ව රැක බලා ගැනීම සම්බන්ධයෙන් අදූරදර්ශී ලෙස තිරණ ගැනීම අපේ ශ්‍රම බලකායෙන් අඩක් වෙන් කොට සලකනවා පමණක නොව, ආයතනවල, ප්‍රජාවවල සහ ජාතියේ අඩු කාන්තා නායිකාවන් ප්‍රමාණයක් ඇති කරන්නට ඉඩ සලසනවා.”

ඉන්දියාවේ අශෝක විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව සම්බන්ධ සහය මහාචාර්‍යවරියක වන සිමන්තිනි ගෝෂ් පවසන අන්දමට ස්ත්‍රි පුරුෂ සමාජභාවීය සමානාත්මතාව නගා සිටුවන්නට කාන්තාවන් මෙන් ම පිරිමින් ද ගෘහාශ්‍රිත කටයුතුවලද, දරුවන් රැක බලාගැනිමේ ද නිරත වීම අත්‍යවශ්‍ය ය. පීතෘ නිවාඩු යුවලවලට පමණක් නොව දරුවන්ට ද වාසිදායක වේ. “දරුවා සමානාත්මතාව අගයන පවුල් පසුබිමක උස්මහත් වනවා. එවැනි දරුවන් වැඩිහිටියන් වූ විට සම්බන්ධතාවල ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සම්බන්ධ යුක්තිය පිළිබද හොඳ අවබෝධයක් ලබා ගන්නවා.” ඇය කියයි.

2017 වසරේ ඉන්දිය දේශපාලක රජීව් සතව් අලුත් පියවරුන්ට දින පහළොවේ සිට මාස තුන දක්වා දිගු කර ගත හැකි පීතෘ නිවාඩු සම්බන්ධ පනත් කෙටුම්පතක් ගෙන ආව ද එය පාර්ලිමේන්තුවේ දී සාර්ථක වූයේ නැත.

ඉන්දියාවට පීතෘ නිවාඩු අවශ්‍ය වන්නේ ඇයි?

පුරුෂොත්ත්මවාදය දැඩි ව මුල් බැස ගෙන තිබෙන ඉන්දියාවේ සම්ප්‍රදායික ප්‍රජාව අදටත් කාන්තාවන් නිවසේ සිටි යුතු අය බවට ද, පිරිමින් මුදල් උපයිය යුතු අය ලෙස ද දකිති. ඉන්දියාවේ ස්වාධීන චින්තන තටාකයක් වන Observer Research Foundation ඉන්දියාවේ ශ්‍රම බලකායට පසුගිය වසරේ කාන්තා සහභාගීත්වය 27% වූ බව ද පිරිමි සහභාගීත්වය 96%ක් වන බව ද සොයා ගත්තේ ය.

සමාජ විද්‍යාඥයකු වන ශිව් විශ්වනාදන් කෝලි මේ පණිවුඩය වෙනස් කරන බව කියා සිටියි. මෙය පවුල අත්‍යවශ්‍ය බවට කියා සිටින වෙනසක් බව ද, කෝලි ගේ තීරණය නූතන පිරිමින්ට උදාහරණයක් සපයන බව ද ඔහු පවසයි.

මුම්බායි හි ප්‍රධාන පෙළේ සමාගමක රැකියාව කරන කර්න් බවාරි ඔහු ගේ සමාගමෙන් ලබාදෙන දින දහ හතරක පීතෘ නිවාඩුව ලබා ගනු ඇති අතර, එය දිගු කර ගැනීමට ද ඔහු බලාපොරොත්තු වෙයි. “නූතන දරුවන් රැකබලාගැනීමට දිගු පීතෘ නිවාඩුවක් අවශ්‍යයයි. දරුවා උසමහත් කිරීම මව ගේ කටයුත්තක් ම පමණක් නොවෙයි,” 34 හැවිරිදි ඔහු කියයි.

“පීතෘ නිවාඩුව ලබා ගන්නට කෝලි ගත් තීරණය බොහෝ දෙනකු ගේ දෑස් විවර කරන්නක් වනු ඇති.”

එහෙත් සියලු දෙනා ම එසේ සිතන්නේ නැත.

තිස් හය හැවිරිදි ප්‍රයාග් මොහාන්ති තම බිරිදත් සමග දරුවකු ලැබූ විට, අනිවාර්‍ය කර ඇති කාලයට ව්ඩා පීතෘ නිවාඩු ලබා නො ගන්නා බව කියා සිටියි. “මගේ දෙම්ව්පියන් අප සිටින නගරයේ ම සිටින නිසා දරුවා රැක බලා ගන්නට ඔවුන්ට උදවු විය හැකියි” ඔහු කියයි.

කෝලි, ඔහු ගේ හිටපු ක්‍රිකට් නායකයා ගේ අඩි සටහන් ඔස්සේ යා යුතු බව ද ඔහු විශ්වාස කරයි. “දෝනි ඔහු ගේ අලුත උපන් දරුවා මාස දෙකකට වැඩි කාලයක් නොදැක්කේ ඔහු ජාතික යුතුකමක් කරමින් සිටි නිසා,” මොහාන්ති කියයි.

පණිවුඩය දෙන්නට නියම මිනිසා

ඉන්දියානු ජන සමාජය වෙනස් කරවන සුළු පණිවුඩයක් දෙන්නට යමෙකුට හැකි නම් ඒ කෝලිට යැයි අයෙකුට කිමට පිළිවන.

2007 වසරේ කෝලි ඉන්දියාවේ කීර්තිමත් ම ක්‍රීඩා තරගය වන රන්ජි කුසලානයට දිල්ලිය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ගේ පියා මිය ගියේ ය. තම පියා ගේ මරණය අභිමුව, පසුවදා නැවතත් ක්‍රිකට් පිටියට ගොස් ක්‍රීඩා කරන්නට ඔහු තීරණය කළේ ය.

මෙ වැනි දැඩි පිරිමියකු ගේ භූමිකාව ඉන්දිය ජනයා ඉදිරියේ නිරූපණය කළ කෝලි විසින් සියුම් එහෙත් ඉතා වැදගත් පණිවුඩයක් ඉන්දියානු ජනයාට ලබා දී ඇති බව ගෝෂ් කියා සිටියි.

ලංකාවේ තත්ත්වය

සති දොළහක මාතෘ නිවාඩු ලබා දීම අනිවාර්‍ය වන අතර පීතෘ නිවාඩු සම්බන්ධයෙන් එවැනි අනිවාර්‍ය කිරීමක් නැත.

සරල ව ගත් කල, ලංකාවේ පීතෘ නිවාඩු නොමැත.

වෙරිටේ පර්‍යේෂණ ආයතනයට අනුව, මේ තත්ත්වය වයස අවුරුදු 20ත් 40ත් අතර ශ්‍රී ලාංකික කාන්තාවන් රැකියා විරහිත වීමට කෙළින් ම බලපා ඇත. ඒ ඔවුන්ට රැකියා ලබා දී, වේතන සහිත මාතෘ නිවාඩු ද ලබා දීම පෞද්ගලික අංශයට දැඩි වියදම්කාරී කටයුත්තක් ලෙස සලකන බැවිනි. මේ නිසා අලුත විවාපත් වූ කාන්තාවන්ට මෙන්ම, දරුවන් බලාපොරොත්තුවෙන් සිටින තරුණ කාන්තාවන් ද අලුතෙන් රැකියාවලට බඳවා ගැනීමට පුද්ගලික අංශය දක්වන්නේ මැලි කමකි.

මාතෘ නිවාඩු ගැනත් ලංකාවේ තත්වය එසේ වන විට පීතෘ නිවාඩු ගැන කුමන කතාද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි