×

බංග්ලාදේශ්හි ගංවතුරෙන් 41 දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ හා ඉන්දියාවේ මෝසම් කුණාටුව හේතුවෙන් පසුගිය සතිය පුරා ඇද හැලුණු වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියන ගණනක් අවතැන්ව සිටින බව රජයේ ආරංචි මාර්ග නිවේදනය කර තිබේ. බංග්ලාදේශයේ පහත් බිම්වල සිටින මිලියන සංඛ්‍යාත ජනතාව නිරන්තරයෙන් මෙම ගංවතුර අවධානම් තත්වයට මුහුණ දෙන බවත්, විශාල පිරිසක් ප්‍රදේශයේ සහන මධ්‍යස්ථාන වලට රැස්ව සිටින බවත් මාධ්‍ය […]


බංග්ලාදේශයේ හා ඉන්දියාවේ මෝසම් කුණාටුව හේතුවෙන් පසුගිය සතිය පුරා ඇද හැලුණු වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියන ගණනක් අවතැන්ව සිටින බව රජයේ ආරංචි මාර්ග නිවේදනය කර තිබේ.

බංග්ලාදේශයේ පහත් බිම්වල සිටින මිලියන සංඛ්‍යාත ජනතාව නිරන්තරයෙන් මෙම ගංවතුර අවධානම් තත්වයට මුහුණ දෙන බවත්, විශාල පිරිසක් ප්‍රදේශයේ සහන මධ්‍යස්ථාන වලට රැස්ව සිටින බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම කුණාටුව හේතුවෙන් ඇති වූ අකුණු සැර වැදීමෙන් සිකුරාදා දහවල් සිට රට පුරා අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ ප්‍රෙස් ඒජන්සි විසින් තොරතුරු අනාවරණය කර තිබේ.

බංග්ලාදේශයේ ග්‍රාමීය නගරයක් වන නන්දායිල්හි පසුගිය සිකුරාදා අකුණු සැර වැදීමෙන් වයස අවුරුදු 12ත් 14 අතර ළමුන් තිදෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී විසින් ප්‍රකාශ කර ඇත. මීට අමතරව චිතගොං වරාය නගරයේ කඳුකර ගම්මාන නාය ගොස් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතත්ෂයට පත්ව ඇත. ඉන්දියාවේ දුරස්ථ මේඝාලයේ තත්වය පිළිබඳව ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Conrad Sangma ප්‍රකාශ කර ඇත්තේ දින පහක් පුරා ඇදහැළෙන වර්ෂාවෙන් නායයෑම් සහ ගංගා පිටාර ගැලීම හේතුවෙන් ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 1.8 කට වැඩි පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින බවයි. මෙලෙසස අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහන උපකාර ලබා දෙන ලෙස නිලධාරීනට උපදෙස් ලබා දෙනු ලැබූ බව ඇසෑම්හි මහ ඇමති මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ”තත්ත්වය නරකයි. මිලියන හතරකට වැඩි ජනතාවක් ගංවතුර ජලයෙන් අතරමං වී ඇත”  සිල්හෙට් කලාපයේ ප්‍රධාන රජයේ පරිපාලක මොෂාරෆ් හොසේන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

දශක දෙකකට ආසන්න කාලයක් තුළ ඇති වූ දරුණුතම ගංවතුර මෙය බව වාර්තා වන අතර පසුගිය සිකුරාදා (17) වන විට ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ තුන්වන විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන සිල්හෙට් වසා දමා ඇත. ඉදිරි දින දෙක තුළ ඇතිවන වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර තත්වයන් තවත් උග්‍ර විය හැකි බව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබේ.

බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහි ගංවතුර අනාවැකි හා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව එරට පවතින 130 පමණ වන ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවතියි. මෙමගින් ඉන්දීය දේශසීමා ආසන්න දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පෙර නොවූ විරූ ලෙස වර්ෂාපතනය වැඩි වෙමින් පවතින අතර ඉදිරියේදී ගංවතුර තත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි