×

මිනිත්තු කිහිපයක් ඇතුළත සියල්ල අහිමි වූ මිනිසෙකුගේ කතාන්දරය නොහොත් ”ජෝ බයිඩන්”

අද වන විට ලෝකයේ බලවත්ම රටක් පාලනය කිරීම අබියසටම පැමිණ සිටිනා ජෝ බයිඩන්, කෘතහස්ත සහ පරිණත දේශපාලකයෙකු ලෙස බොහෝ අය දකිති.


නමුත් ඔහුගේ ජීවිතයේ මුල් අවධිය කුණාටු ගහණ සමයකි. ඒ බව බොහෝ අය නොදන්නා තරම් ය. ඔබ අද දකින මේ මිනිසා තැනුණේ, ජීවිතයේ පහළම තැනින් තවත් පහළට ඇද වැටීමෙන් පසුව ය.

මෙය අදේශපාලනික කතාවකි. ජීවිතය ගැන කතාවකි.

නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ තරුණ ජෝ බයිඩන් ඉක්මනින්ම දේශපාලනයට පිවිසියේය.

1972 වසරේ ඔහු ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉතිහාසයේ 5 වැනියට ළාබාලතම සෙනෙට් සභිකයා බවට පත් වෙයි. ඒ ඩෙලවෙයා ජනපදය නියෝජනය කරමිනි.

නමුත් ඒ උත්සවකාරී බව අඩුම ගණනේ මාසයක්වත් රැඳුණේ නැත.

ඔහුගේ බිරිඳ නෙයිලියා බයිඩන් සහ එකම දියණිය පුතුන් දෙදෙනා ඒ වසරේ නත්තල් සාප්පු සවාරිය සඳහා ගොස් සිටියදී ට්‍රැක්ටර් ට්‍රේලර් රථයක් ඔවුන් වෙත කඩාගෙන පැමිණ තිබිණි.

නෙයිලියා සහ අවුරුද්දයි මාසයක් වයසැති සිඟිති දියණිය නයෝමි ක්‍රිස්ටිනා බයිඩන් එතැනම මරු වැළඳගෙන තිබුණේ බිහිසුණු රිය අනතුරක පසු සටහන තබමිනි..

විනාඩි කිහිපයක් ඇතුළත ජෝ බයිඩන්, සියල්ල හිමිව සිටි මිනිසෙකුගේ සිට සියල්ල අහිමිව සිටින මිනිසෙකු දක්වා ඇද වැටී සිටියේය.

ඔහු, අනතුරෙන් බරතළ ලෙස තුවාළ ලැබූ සිඟිති පුතුන් දෙදෙනා සමග ජීවත් වන තනි පියෙකු බටව පත් ව සිටියේය.

නමුත් ඔහු දෙපුතුන් දෑතින් වඩාගෙන ජීවිතයට මුහුණ දීමට අදිටන් කරගෙන සිටියේය.

කඩා වැටීම උපරිම වූ තැන වරක් දිවි නසාගැනීම ගැන ද සිතා බැලුවේය.

‘‘ජීවිතයේ පළමු වතාවට මම තේරුම්ගත්තා මිනිසුන් ඉතාම හොඳින් සිතාබලා සිය දිවි නසාගන්නා බව…‘‘ යැයි පසුව ඔහු පැවසුවේය.

නමුත් සිය දෙපුතුන් මව-පියා දෙදෙනාම අහිමි අනාථයන් වීම ඉවසිය නොහැකි නිසාම පමණක් ඔහු තවදුරටත් ජීවත් වන්නට තීරණය කළේය.

ජෝ, දිනපතාම පැය 4 ක දුම්රිය ගමනකින් නිවසට යන ගමන්, පුතුන් නින්දට යැවිය හැකි ළමා කතන්දර කියවා පාඩම් කර ගත්තේය. ගෙදර ගොස් දරුවන් නැළවූයේය. හැම උදෑසනකම අවදි වී රැකියාවට යාමට පෙර දරුවන්ට උදා ආහාරය පිසුවේය.

‘‘හිතන්න, අපිට තියෙන කිසි දෙයක් නැති දහස් ගණන් දෙනා විඳවන විදිහ.. ඔවුන් එහෙම තිබියදීත් දවස ගාණේ එක පියවරක් හරි තබමින් ඇවිදින්නට උත්සාහ කරනවා.. ඒක තමයි ඇමරිකානු ජනතාවගේ ආත්මය..‘‘ යැයි ඔහු පසුව මේ අත්දැකීම ලකුණු කරමින් ජන හමුවකදී පැවසීය.

පස් වසරකට පසු 1977 දී ඔහු නැවත විවාපත් විය. එදා දික්කසාද වූ, පුතුන් දෙදෙනෙකු සිටි ගැහැණියක වූ ජිල් ට්‍රේසි ජේකොබ් සමග ජෝ තවත් දියණියකගේ පියෙකු බවට 1981 දී පත් විය.

අධ්‍යාපනඥවරියක් ද වූ ඒ සුන්දර ගැහැණිය පසු කලෙක ජෝ බයිඩන්ගේ ජීවිත කතාව කුඩා දරුවන්ට වටහාගත හැකි ආකාරයේ ළමා කතා පොතක් බවට ද පත් කළාය.

නමුත් ඛේදනීයම දේ තවමත් ඔහු අබියස ය.

ඔබාමා පරිපාලනයේ උප ජනපතිවරයා වශයෛන් සිටියදී, මවද නැතිව ඔහු හදාගත් වැඩිමල් පුතා, එකට 46 හැවිරිදි වූ බීයු බයිඩන් මොළයේ පිළිකාවක් නිසා මෙළොව හැර ගියේය. බීයු පියාගේ පිය සටහන් අනුව යමින් සිටි නීතීඥයෙකු, දේශපාලඥයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු ද විය.

‘‘හැම උදෑසනකම මම සහ ජිල් ඇහැරෙනවා.. මේක විහිළුවක් නොවන බව අපිටම කියාගන්නවා.. මම මගෙන් මෙහෙම අහගන්නවා.. ඔහු හිටියේ මා ගැන ආඩම්බරයෙන්ද..?‘‘ ජෝ බයිඩන් සිය පුතුගේ අකල් මරණය පිළිබඳ හැඟීම්බර ලෙස අදහස් එකතු කළේ එසේ ය.

ඉතින් ජෝ බයිඩන් මේ සා අසීරු දේවල් ජීවිතයේ දරාගත්තේ කෙසේද? ඔහු කියන්නේ එක කියමනක් එයට හේතු වූ බවයි.

ඒ, ”Faith sees best in the dark” හෙවත් ‘විශ්වාසය අන්ධකාරයේදී හොඳම දේ දකියි‘‘ යන්නයි.

පුතු බීයුගේ අහිමි වීම ඔහුට ජීවිතයේ නව අරමුණක් ඇති කළේය. ඔහුට එදත් උවමනා වූයේ සිය පුතා තමන් ගැන ආඩම්බර වනවා දැකීමට ය. අදත් උවමනා වන්නේ එයම ය.

‘‘ආරම්භයත්, මධ්‍යමයත්, අවසානයත් පවුලයි..‘‘ ඔහු දැඩි විශ්වාසයෙන් යුතුව කියන්නේ එනිසා ය.

වරක් ඔබාමා කියූ ලෙස, ‘‘ජෝ බයිඩන් ගැන දැන ගැනීම යනු, රැවටිල්ලෙන් තොරව ආදරය කිරීම ගැන – ආත්මාර්ථයෙන් තොරව සේවය කිරීම ගැන සහ, පිරුණු ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න ගැන දැනගැනීමයි..‘‘

* * *

ජෝ බයිඩන් (1972) ඇමරිකාවේ 5 වැනියට ළාබාලතම සෙනෙට් සභිකයා ලෙස

බිරිඳ නෙයිලියා සමග – ඛේදවාචකයට පෙර

රිය අනතුරෙන් ඔහුට බිරිඳ සහ එක් අවුරුදු-එක්මසැති බිළිඳි දියණිය අහිමි විය

ඉතිරි වූ දෙදරුවන් දෝතින් දරා..

දුම්රිය ගමනේ දිනපතා පැය 4 ජෝ බයිඩන් වෙන් කළේ සිය දරුවන් නින්දට යැවිය  හැකි කතන්දර කියවාගන්නට ය. (සිතුවම- ජිල් බයිඩන් ලියූ ඔහුගේ ජීවිත කතා පොතෙන්)

ජෝ බයිඩන් දෙපුතුන් වෙනුවෙන් පස් වසක් තනිකඩව හිඳ ජිල් සමග විවාපත් විය. ඇය දියණියකට උපත ලබාදුන් අතර, ඔහුගේ ජීවිත කතාව දරුවන් උදෙසා ලස්සන ළමා කතා පොතක් බවට ද පත් කළාය.

ජෝ සහ ජිල් බයිඩන් අද

බරාක් ඔබාමා සමග ඔහු ගේ මිතුදම දශක ගණනක් පැරණි හිතවත්කමේත් අනෝන්‍ය ගෞරවයේත් සම්මිශ්‍රණයකි.

2017 වසරේදී ඔබාමා, නිදහසේ පදක්කම ජෝ බයිඩන් වෙත පිරිනැමුවේය.

වැඩිම ජනප්‍රිය ඡන්ද ගණනක් ලැබූ ජනපති අපේක්ෂකයා ලෙස ජෝ විසින් ඇමරිකානු ඉතිහාසය අලුතෙන් ලියද්දී ද ඔබාමා ඔහු අසල ය.

* * *

පෙර ලිපිය
බයිඩන්ගෙන් ඓතිහාසික වාර්තාවක් : ජනප්‍රිය ඡන්දයෙන් 2008 වසරේදී ඔබාමා තැබූ වාර්තාව බිඳ හෙළයි

Update: ට්‍රම්ප් ආධාරකරුවෝ ආයුධ සන්නද්ධව ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වටලති

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි