×

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.


දකුණු සහ ගිනිකොණ දිග ආසියාවේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් කඳුළු සයුරක යට කළ ඉන්දියන් සාගර සුනාමිය ගැන අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතත්, විද්‍යා ලෝකය අනතුරු අඟවන්නේ සුනාමි ඛේදවාචකය නැවත නැවතත් සිදුවිය හැකි ස්වභාවික විපතක් බවට ය.

‘බොක්සිං ඩේ සුනාමි’ යැයි ද ඇතැම්හු මෙම සුනාමියට කියති. මේ අතර විද්‍යා ලෝකය මෙය හඳුන්වන්නේ ‘සුමාත්‍රා-අන්දමන් මහා භූමි කම්පාව’ යනුවෙනි. CNN වාර්තාවකට අනුව, මෙමගින් පෘථිවියේ භූ තැටි මත ඇති කළේ දන්නා ඉතිහාසයේ බරපතළම දෙදරුම් කෑමයි. සම්පූර්ණ පෘථිවියම සෙළවුණු විරල අවස්ථාවන්ගෙන් එකකි, මේ. තවද, පෘථිවියේ මේ කම්පනය නොදැනුණු ස්ථානයක් නොවූ බව ද පසුව සොයා ගැනිණි.

‘ගෝලීය වශයෙන්, මෙම භූමි කම්පාව අඟල් භාගයක් හෝ සෙන්ටිමීටරයක් තරම් මුළු පෘථිවි ගෝලයම දෙදරුම් කැවීමට සමත් වුණා..” එසේ කියන්නේ පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාවන් පිළිබඳ මහාචාර්යවරයෙකි. ”පෘථිවියේ අප සවි කර ඇති සියලුම භූ කම්පා මාපකවල ඒ බව සටහන් වී තිබුණා..”

ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රා මුහුදු පත්ලේ හටගත්, රික්ටර් ඒකක 9.1-9.3 අතර වූ මෙම භූ චලනය, අඩි 100 කට වඩා උස මුහුදු රළ ගොඩබිම වෙත රැගෙන ආවේය. එහි බලපෑමට නතු වූ රටවල් 14 සඳහා, ඉතිහාසයේ ඔවුන් මුහුණ දුන් විශාලතම ස්වභාවික විපත මෙයයි.

ඉතිහාස‌යේ තුන්වැනුවට විශාලතම භූ චලනය

භූගෝලීය ඇස්තමේන්තුවලට අනුව, මානව ඉතිහාසය තුළ හටගත් 3 වැනුවට දැවැන්තම භූ චලනය මෙයයි. ඇලස්කාව වැනි දුරබැහැර පෙදෙස්වලින් පවා ඉන්දියානු සාගර සුනාමියෙන් අනතුරුව පසු කම්පන හටගත්තේය. සුනාමියට බිලිවූවන් සහ එහි බලපෑමට ලක්වූවන්ගේ ඉරණම වෙත ගෝලීය මානුෂීය ආධාරකරුවන්ගේ අවධානය වහා යොමු විය. ඒ අනුව ලොව පුරා රටවලින් ඇමරිකානු ඩොලර් බිලියන 14 ක මුදල් ආධාර මෙම රටවල්වලට ලැබිණි.

දෙවැනි ලෝක යුද්ධයේ න්‍යෂ්ටික බෝම්බවලටත් වඩා වැඩි ශක්ති කදම්බයක්

සුනාමි සොසයිටි හි උප සභාපති ටැඩ් මර්ටි ට අනුව, 2004 සුනාමියෙන් මුදා හැරුණු සම්පූර්ණ ශක්ති පමාණය සමාන වන්නේ ට්‍රයි නයිට්‍රො ටොලුවීන් හෙවත් TNT (අධි බලැති පුපුරණ ද්‍රව්‍යයකි) මෙගා ටොන් 5කින් නික්මෙන විනාශකාරී ශක්තියට ය.

ඉන්දියා‌වේ ඇස් ඇරෙයි

ඉන්දියාව, 2004 සුනාමිය සිය අඩුපාඩු සකස් කර ගන්නට අත්වැලක් කර ගත්තේය. ඒ අනුව ඉන්දියාවේ Ministry of Earth Sciences හෙවත් ‘පෘථිවි විද්‍යාවන් පිළිබඳ අමාත්‍යාංශය’ 2006 වසරේදී පිහිටවූයේ ඉන්දියානු රුපියල් කෝටි 1800 ක් වෙන් කරමිනි. මෙමගින් 2007 වසරේදී හයිද්‍රාබාද් නුවර සුනාමි පෙර හඳුනා ගැනීමේ අනතුරු ඇඟවීම් පද්ධතියක් (Indian Tsunami Early Warning System (ITEWS)) පිහිටවනු ලැබිණි.

එනිසා අද වන විට ඉන්දියානු සාගර විශේෂඥයන් දවසේ පැය 24ම ඉන්දියානු සාගරයේ චලනයන් සහ විචලනයන් විද්‍යාත්මක ලෙස නිරීක්ෂණය කිරීමට සමත් ව සිටිති. සාගර පත්ලේ පීඩනය මැනීමේ තාක්ෂණ ද ඔවුන් සතු ය. අවසානයේ ඉන්දියාව, සුනාමි හඳුනා ගැනීම සඳහා තමන්ගේම රටේ අනතුරු ඇඟවීම් පද්ධතියක් ස්ථාපිත කළ ලෝකයේ පළමු රට බවට පත් විය.

ලංකාවට සුනාමියෙන් ලැබුණේ මොනවාද?

2004 ඉන්දියන් සාගර සුනාමියත් සමග ලංකාවේ සිදුවූ වෙනස්කම් මොනවාද?

සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදාට ‘නැෂනල් සේෆ්ටි ඩේ’ නමින් ‘තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නා අයුරු’ මහජනතාවට දැනුවත් කිරීම සහ මළවුන් හා විපතට පත්වූවන් සැමරීම හැරුණු විට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සුනාමියෙන් ඉගෙන ගත් පාඩමක් නම් නැත.

ලොව දසතින් එක් වුණු මානුෂීය ආධාර ඩොලර් බිලියන ගණනින් මෙරටට ද ගලා ආවේය. ඒවායින් රුපියල් බිලියන ගණනක මුදල් හෙල්පිං හම්බන්තොට ගිණුම විසින් ගිල ගත් ආකාරය මහත් ආන්දෝලනයක් ඇති කළ අයුරු ඔබට මතකද? හෙල්පින් හම්බන්තොට නඩුවේ තීන්දුව දුන් එවකට අග විනිසුරු ”ජනතාව මට සමාවෙන්න.. ජනතාව මට සමාවෙන්න.. මම වැරදිකාරයව නිදහස් කළා” යැයි නිර්ලජ්ජිත ලෙස ජනතාව හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර, නැවත වරක් නිලතල ලබාගත්තේය. වසර 17 ක් ගතවුණු තැන, මේ මහා මුදල් වංචාවට යුක්තියක් ඉටු වී නැත. රට පුරා තැනින් තැන අසංවිධානාත්මක ලෙස සිදුකළ සුනාමි සංවර්ධන ව්‍යාපෘති ගැන කිසිදු පසු විපරමක් අද දක්වා ද නැත.

සුනාමි ආධාර ලෙසින් ලංකාවට ගලා ආ කළු සල්ලි, විවිධ ව්‍යාපාරවල ආයෝජනය කළ බවට නැගෙන රාවය, සත්‍යදැයි සොයාබැලීමට කිසිදු නීත්‍යානුකූල මගක් ද මේ රටේ නැත.

සුනාමි වැනි ස්වභාවික විපතක් නැවත නැවතත් සිදු නොවේ යැයි කිව හැක්කේ කාටද? කෝකටත් ලංකාව විසින් ඉන්දියාව තරහ කර නොගැනීමට තවත් හේතුවක් වන්නේ අනාගත ඉන්දියානු සාගර සුනාමියක පෙරනිමිති අපට අසන්නට තිබෙන්නේ ඔවුන්ගෙන් පමණක් වන නිසා ය.

ඇත්තම කියනවා නම්, 2020 වසරේ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සුනාමි’ චිත්‍රපටයට නයිජීරියාවේ සම්මාන උළෙලකදී (Bayelsa International Film Festival ) සම්මාන දෙකක් ලැබීම හැර ලංකාව සුනාමියෙන් දිනාගත් දෙයක් නැත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි