ලෝකයේ ධනවත්ම මිනිසා වන්නේ ඇමසන් ප්රධානී ජෙෆ් බෙසොස් ය. ඔහුගේ දික්කසාදයේ වටිනාකම ඩොලර් බිලියන 35 ක් බව හෙළි වී තිබේ.
ඇමසන් ප්රධානී ජෙෆ් බෙසොස් සිය බිරිඳ වූ මැකෙන්සීගෙන් වාර්තාගත ඇමරිකානු ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට දික්කසාද වීමට කැමැත්ත පළ කර තිබේ.
ජෙෆ් බෙසොස්ගේ බිරිඳට ඇමසන් ඔන්ලයින් රිටේල් සමාගමෙන් 4%ක කොටස් හිමිකමක් තිබේ. මෙම කොටස් හිමිකමේ වටිනාකම පමණක් ඩොලර් බිලියන 35.6 කි. මේ ධනස්කන්ධය නිසාම මීට පෙර ෆෝබ්ස් සඟරාව හෙළිදරව් කර තිබුණේ මැකෙන්සී හෙවත් ජෙෆ් බෙසොස්ගේ බිරිඳ ලෝකයේ 3 වන ධනවත්ම කාන්තාව බවට පත්ව ඇති බවයි. මේ අනුව එම තැන ඇයට තවදුරටත් රැක ගැනීමට ලැබෙනු ඇත්තේ, එම වත්කමට සමාන මුදලක් ජෙෆ් බෙසොස් විසින් ඇයට දික්කසාදයේදී පිරිනැමීමට නියමිත නිසා ය.
ජෙෆ් සහ මැකෙන්සී යන පාර්ශවයන් දෙකම මේ වන විට ට්විටර් හරහා මේ එකඟතාවයට අනුමැතිය පළ කර ඇත. එසේම දෙදෙනාම එම බෙදාහදාගත් ජීවිතය සම්බන්ධයෙන් එකිනෙකාට ස්තූති කර ඇති ආකාරය ද ට්විටර් පණිවුඩවලින් දැකගත හැකි විය.
‘‘ඇය අතිශයින්ම දක්ෂ, විචක්ෂණ සහ ආදරබර කාන්තාවක්. අනාගතයේදීත් මා ඇයගෙන් බොහෝ දේ ඉගෙන ගනු ඇත“ යනුවෙන් ජෙෆ් බෙසොස් ට්විටර් හරහා පවසයි.
ජෙෆ් බෙසොස් 55 හැවිරිදි ය. මැකෙන්සී 48 හැවිරිදි ය. The Testing of Luther Albright සහ Traps යනුවෙන් පොත් දෙකක් ලියා ඇති නවකතාකාරියක වන මැකෙන්සී 1993 දී බෙසොස් සමග විවාපත් වූ අතර, ඔවුන්ට දරුවන් 4 දෙනෙකු සිටියි.
කෙසේ නමුත් මේ දික්කසාදය හේතුවෙන් මැකෙන්සී හට ඉතිරිවන්නේ ඇමසන් හි හිමිකාරිත්වය පමණි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ජෙෆ් බෙසොස්ගේ හිමිකාරිත්වය සහ බ්ලූ වර්ජින් අජටාකාශ සමාගමේ බෙසොස්ගේ හිමිකාරිත්වය ද මේ අනුව ඇය විසින් අත්හැරිය යුතුව තිබේ.
ඇමසන් ඔන්ලයින් රිටේල් සමාගම පසුගිය වසරේදී ලද ආදායම ඩොලර් බිලියන 232.8 ක් විය. බෙසොස්ගේ පවුලේ ධනස්කන්ධය එයින් ඩොලර් බිලියන 131 දක්වා ඉහළ ගොස් තිබිණි.
පසුගිය දිනවල හෙළි වූ පරිදි මේ වන විට ඇමසන් ප්රධානියා අතීතයේ ෆොක්ස් ටීවී නිවේදිකාවක වූ Lauren Sánchez ලෝරන් සෑන්චෙස් සමග ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි.
පෙර ලිපි- https://outboundtoday.com/jeff-bezos-billionair/
https://outboundtoday.com/jeff-bezos-mackenzie-divorce/