ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට රුසියාව උදව් කිරීමට සූදානම් බවට පළ වූ පුවත සැන්ඩර්ස් විසින් දැඩි සේ විවේචනයට ලක් කළේය.
ඔහු පැවසුවේ රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඈත්ව සිටිය යුතු බවයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් “autocratic thug” හෙවත් ‘ඒකාධිපති මැරයෙකු‘ බව ට ද ඔහු චෝදනා නැගුවේය.
‘‘මේ ඒකාධිපති මැරයාගේ රට අන්තර්ජාල ප්‍රොපගැන්ඩාවක් යොදාගෙන අපේ රට තුළ බෙදීමක් ඇති කරන්න හදනවා..‘‘ යැයි ද ඔහු කීය.
‘‘මේක පැහැදිලි කළොත්, රුසියානුවන්ට අපව බෙදා වෙන් කිරීම මගින් ඇමරිකානු ප්රජාතන්ත්රවාදයට රහසින් පීඩා කරන්නට අවශ්‍යයි. වත්මන් ජනාධිපති වගේ නෙවෙයි මම ඔවුන්ගේ පරිශ්රමයන්ට දැඩි සේ එරෙහි වනවා වගේම අපේ මැතිවරණයන්ට මැදිහත් වන්නට හදන ඕනෑම විදේශ බලවේගයකට එරෙහි වෙනවා..‘‘ යැයි බර්නි සැන්ඩර්ස් අද කැලිෆෝනියාවේදී පැවසුවේය.
බර්නි සැන්ඩර්ස් මෙවර ඇමරිකානු ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාම යෝජනා දිනාගැනීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයා ලෙස සැලකේ. ප්‍රබල ඡන්ද පදනමක් ඇති ඔහු තමන්ගේම ආරකට වැඩ කරන ඩිමොක්රටික් සමාජවාදියෙකි (self-styled democratic socialist).
78 හැවිරිදි බර්නි සැන්ඩර්ස්, ඇමරිකානු කොංග්රස් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තැනැත්තා ය. මෙවරද, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන නමුත් සෙනෙට් සභාව තුළ ඔහු තවමත් කටයුතු කරන්නේ ස්වාධීන ජනතා නියෝජිතයෙකු ලෙස ය.
පුරා 8 වසරක් විශාල නගරයක් වූ වර්මොන්ට් හි පුරපතිවරයා ලෙස කටයුතු කළ බර්නි සැන්ඩර්ස්, තමන්ට දැනෙන දෙය නොසඟවා කියන අයෙක් ලෙස ප්‍රකට ය. ඔහු පුරපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ‘ඇමරිකානු ප්රමුඛතාවයන් වැරදි ලෙස ගණන් ගෙන තිබේ‘ යැයි කීවේය. 80 දශකයේදී ඔහු පැවසුවේ ඇමරිකානු රජය විසින් මිලිටරි බජට් එකේ වැය අඩුකර එම මුදල් සෞඛ්‍යය සහ නිවාස වැනි අත්‍යාවශ්‍ය අංශ සඳහා යෙදවිය යුතු බවයි.
සමාජවාදී අදහස් නිසාම බර්නි සැන්ඩර්ස්, වැඩි කාලයක් දේශපාලනයේ නිරත නොවනු ඇතැයි පැවසූ අය ද වූහ. ඔහු සෙනෙට් සභිකයෙකු බවට පත්වනු ඇතැයි කිසිදා නොසිතූ අය ද බොහෝ ය. නමුත් අවසානයේ බර්නි සැන්ඩර්ස් ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා දෙවැනි වතාවටත් උත්සා කරමින් සිටියි.
2016 ඩිමොක්රටික් ජනාධිපති නාම යෝජනා දිනාගැනීමට මුල් වරට ඔහු උත්සාහ කළත් ඒ අවස්ථාව හිමි වූයේ හිලරි ක්ලින්ටන් හට ය.
බර්නි සැන්ඩර්ස්ගේ සමාජවාදී අදහස්වලට විශාල බලපෑමක් කරන්නට ඇත්තේ ඔහුගේ පවුල් පසුබිමයි. ඔහුගේ පිය ඔස්ට්‍රියානු හංගේරියාවේ සිට (වත්මන් පෝලන්තයේ කොටසක් වන) ඇමරිකාවේ බෘෘක්ලින් බලා සංක්‍රමණය වූවෙකි. ඇමරිකාවට පැමිණි පසු සැන්ඩර්ස්ගේ පියා ජීවිකාව කළේ තීන්ත අලෙවි කරන්නෙකු ලෙස ය. බර්නිගේ මව වන ‘ඩෝරා‘ (ඩොරති) නිව්යෝක් නුවර ඉපිද එහිම ජීවත් වූ අයෙකු වූ අතර, ඔවුන් විවාපත් වන්නේ ද බර්නි සැන්ඩර්ස් ඉපදෙන්නේ ද බෘෘක්ලින් හිය.
පෝලන්තයෙන් පැවතගෙන එන බර්නිගේ මුතුන්මිත්තන්, හිට්ලර්ගේ කෘෘර හස්තයෙන් නොමදව පීඩා විඳි අය ය. එයට හේතුව ඔවුන් යුදෙව්වන් වීමයි. පසුකාලීව බර්නි සැන්ඩර්ස් පවසන්නේ තමන් දේශපාලනයට පිවිසෙන්නට තිර ලෙස සිතුවේ හිට්ලර්ගේ චරිතය නිසා බවයි. මිලියන ගණන් දෙනා ඝාතනය කළ හිට්ලර් සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ‘හොඳ නායකයෙකු‘ ලෙස බුහුමන් ලැබුවේ කෙසේද? බර්නි සැන්ඩර්ස් මේ ගැන අධ්‍යයනය කළ අයෙකි. ඔහුගේ ඥාතීන් ගණනාවක්ම නාසි ජර්මනිය විසින් ඝාතනය කර දමා තිබේ.2019 පෙබරවාරි මාසයේ 2020 ජනාධිපතිවරණය සඳහා සිය ප්රචාරක ව්‍යාපාරය ඔහු ආරම්භ කරන්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වාදය සහ ඩිමොක්රටික් අපේක්ෂා අතර බරපතළ බෙදීමක් ඇමරිකාව තුළ දක්නට ලැබෙන වාතාවරණයක් තුළ ය.
ෆේස්බුක් සමාගම පවසන්නේ රුසියාව හෝ පුටින් බර්නි සැන්ඩර්ස්ට සහයෝගය ලබාදෙන්නට උත්සුක වූ බවට කිසිදු සාධකයක් නොමැති බවයි.
නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙසු ඇමරිකානු කොංග්රස් සභිකයන්, රුසියාව සැන්ඩර්ස්ගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්නට උත්සාහ කරන බව සනාථ කර තිබේ.
කෙසේ වෙතත්, අද එකක් කියා හෙට එකක් කියන ට්‍රම්ප්, ඊයේ දිනයේ නෙවඩා හි පැවති ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් පැවසුවේ රුසියාව සැන්ඩර්ස් සහයෝගය දෙන්නනට යන කතාව, ඩිමොක්රටික්වරුන්ගේම නිර්මාණයක් බවයි. එය හිතලුවක් බව ද ඔහු කීවේය.
මේ අතර බුද්ධි අංශ වාර්තා පෙන්වා දී තිබුණේ ට්‍රම්ප්ව නැවත වරක් ජනාධිපති කිරීමේ අපේක්ෂාවෙන් පුටින්, ට්‍රම්ප්ගේ අනාගත එදිරිවාදියා වන සැන්ඩර්ස්ගේ ඡන්ද ව්‍යාපාරයට මැදිහත් වන්නට උත්සාහ කර ඇති බවයි.
ඇමරිකානු ඔත්තු සේවා වාර්තාවන්ට අනුව 2016 වසරේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී රුසියාවේ පැහැදිලි මැදිහත් වීමක් තිබී ඇත. ඒ සඳහා රුසියාව විසින් සයිබර් ප්‍රහාර මෙන්ම ෆේක් නිව්ස් (ව්‍යාජ පුවත්) ද නිර්මාණය කිරීමේත් ඒවා පැතිරවීමේත් යෙදී තිබුණේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය වූ ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් බිම දැමීම සඳහා ය.
අවසානයේ හිලරි ක්ලින්ටන් ඊ මේල් අපවාදය ඇතුළු චෝදනා රැසකට ගොදුරු වෙමින්, ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් ඡන්ද ක්රමයේ ගොදුරක් බවට පත්වෙමින් සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය ලැබුවාය. ජනප්‍රිය ඡන්ද අනුව බලන විට නම් හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රථම ජනපතිනිය වීමට නියමිතව තිබිණි.
මේ සියලු පටලැවිලි සහ රුසියාව වෙනත් රටක ප්රජාතන්ත්රවාදය සහ ස්වාධිපත්‍යය ආක්‍රමණය කරමින් ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට සිදුකළේ කුමන ආකාරයේ මැදිහත්වීමක්දැයි විමසා බැලීම සඳහා ඇමරිකාවට ට්‍රම්ප්ගේ පාලන සමය අතරතුරදීම විශේෂ කොමිසමක් පවා පත්කිරීමට සිදු විය. 2017 වසරේදී හිටපු ෆෙඩරල් රහස් ඔත්තු සේවා (FBI) ප්‍රධානියෙකු වන රොබට් මුලර්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ මෙම කොමිසම ‘මුලර් කොමිසම‘ යනුවෙන් හැඳින්වේ.
මුලර් කොමිසමේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සමග එක්ව, ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ක්‍රෙම්ලින ඒජන්තයන් සමග සම්බන්ධ වීදැයි සොයාබැලීම සඳහා විශේෂ කවුන්සල්වරයෙකු ලෙස ක්‍රියාකිරීම රොබට් මුලර් හට පැවරුණි.
2019 වසරේදී මුලර් විසින් පිටු 448 කින් යුක්ත කොමිෂන් සභා වාර්තාව එළිදැක්වීය. නමුත් රුසියාව 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට සෘජු ලෙස අත පෙවූ බව එයින් සනාථ වූයේ නැත. එනමුත්, එම පරීක්ෂණ සඳහා ට්‍රම්ප් විසින් විශාල වශයෙන් බාධා කර ඇති අන්දම එයින් හෙළිදරව් වේ.
ට්‍රම්ප් මෙම වාර්තාව හැඳින්වූයේ ‘දේශපාලන දඩයමක්‘ ( “political witch hunt” ) ලෙස ය.
චිකාගෝ හි තුන් අවුරුද්දක් අධ්‍යාපනය ලබන සමයේදී බර්නි සැන්ඩර්ස් මාටින් ලූතර් කිං ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ උද්යෝගිමත් සාමාජිකයෙකු ව සිටියේය. මාටින් ලූතර් කිං විසින් සුප්‍රසිද්ධ “I have a Dream” කථාව පවත්වන ආකාරය ඔහු සියැසින් දුටු අයෙකි.
සිය පසුබිම සහ ඉතිහාසය අනුව යුධ විරෝධියෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බර්නි සැන්ඩර්ස් ෆෙඩරල් කම්කරුවන්ගේ අවම මූලික වැටුප ඉහළ නැංවීම වැනි සටන් රාශියක පසු කලෙක පෙරමුණ ගනියි. පෙනෙන්ට තිබෙන හැටියට 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂයෙන් ට්‍රම්ප්ට ලබාදිය හැකි හොඳම ප්‍රතිවාදියා ද, ට්‍රම්ප්ට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගවලින් යුක්ත බර්නි සැන්ඩර්ස්ම ය.