×

ඉන්දියාවේ මනිපූර්හි ඛේදවාචකය

මනිපූර්හි කාන්තාවන් මේ වන විට ප්‍රදේශය පුරා විරෝධතාවයන් දක්වමින් කාන්තාවන්ගේ ආරක්ෂාව, යුක්තිය සහ කඩිනම් විමර්ශනයක් ඉල්ලමින් සිටියි.


ඊසානදිග ඉන්දියාවේ කාෂ්මීරයට ආසන්නේ මිලියන තුනක පමණ ජනතාවක් වෙසෙන මනිපූර්හි කාන්තාවන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ නිරුවත්කර පහර දෙමින් ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කරන වීඩියොවක් හේතුවෙන් ප්‍රාන්තය පුරා ගැටුම් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ප්‍රාන්තයේ වාර්ගික ජනවර්ග අතර ගැටුම් පසුගිය මැයි මස සිට ආරම්භ වූ අතර එම ගැටුම් මෙම වීඩියෝවත් සමඟ තවදුරටත් උත්සන්න ව ඇත. ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් පසුගිය මැයි මස සිට අවම වශයෙන් 142 දෙනෙකු මියගොස් ඇති අතර 60 000ක් පමණ දෙනා අවතැන්වී ඇති අතර ඉන්දියාවේ ෆෙඩරල් රජය 40,000ක් සෙබළුන් ප්‍රාන්තයට යොදවා ඇත.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මනිපූර්හි වීඩියෝවෙන් තමන් දැඩි ලෙස කලබලයට පත් වූ බවත්, බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන්නේ නම් වැරදිකරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට හැකිද යන්න පිළිබඳව තමන් සොයා බලන බවත්ය.

අගමැති නරේන්ද්‍ර මෝදි මනිපූර් හි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දින 80කට පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ලිංගින අතවරය ලැජ්ජා සහගත බවත්, එය තමා දැඩිලෙස හෙළා දකින බවත්, වරදකරුවන්ට එරෙහිව උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන බවත්යි.

මේවන විට මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 30 දෙනෙකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ප්‍රාන්තයේ අගනුවර වන ඉම්පාල් හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන හේමන්ත් පාණ්ඩේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ප්‍රාන්තයේ කාන්තාවන් විසින් ගල්ගසා ප්‍රධන චූදිතයාගේ නිවස කඩාදමා සමහර කොටස් පුළුස්සා දමා ඇති බවයි.

මනිපූර්හි කාන්තාවන් මේ වන විට ප්‍රදේශය පුරා විරෝධතාවයන් දක්වමින් කාන්තාවන්ගේ ආරක්ෂාව, යුක්තිය සහ කඩිනම් විමර්ශනයක් ඉල්ලමින් සිටියි. ඊසානදිග ඉන්දීය සාමය සඳහා වූ කාන්තා මුලපිරීමේ බිනලක්ෂ්මි නෙප්‍රම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මනිපූර් සිදුවීම අපගේ ඉතිහාසයේ අඳුරුතම කාලයක් පෙන්නුම් කරන බවත්, බොහෝ වාර්තා නොවූ ලිංගික අතවර සිද්ධීන් මනිපූර් ප්‍රාන්තයේ සිදුවෙමින් පවතින බවත්, මැයි 3 සිට පමණක් නොව ගැටුමේදී ලිංගික අතවර සහ දූෂණය; ස්ත්‍රී දූෂණය යුද්ධයේ ආයුධයක් ලෙස භාවිතා කරන බවත්ය.

මෙම ප්‍රාන්තයේ වෙසෙන හින්දු භක්තිකයන්ගෙන සැදුම්ලත් මෙයිටී හා ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් සැදුම්ලත් කුකී යන ප්‍රජාවන් අතර වර්ගික ගැටුම් පසුගිය මැයි මස සිටම ආරම්භ වී තිබිණ.

එයට හේතුවූයේ, මෙයිටී ප්‍රජාව විසින් ‘උපලේඛනගත ගෝත්‍රයක්’ ලෙස වර්ගීකරණය කරන්නැයි අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට මනිපූර්හි මහාධිකරණය සහාය ලබා දීමයි. මෙසේ වර්ගීකරණය කිරීම හරහා රජයේ රැකියාවන් හා උසස් අධ්‍යාපන අවස්ථාවන්වලට ඉල්ලුම් කිරීමේ දී මෙයිටී ප්‍රජාව සඳහා කෝටාවක් සහතික කෙරෙන අතර, වනාන්තර ඉඩම් සඳහා ද ඔවුනට ප්‍රවේශය ලබාදීම දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වීමට හේතු විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි