×

තායි ගුහාවේ සිරවුණු පාපන්දු පුහුණුකරු දෙමාපියන්ගෙන් සමාව ඉල්ලයි – දරුවන්ට ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය නැරඹීමට ඇරයුම්

නමුත් මේ අවස්ථාව ලැබෙනු ඇත්තේ ඔවුන් ජූලි 15 වැනිදාට පෙර බේරාගතහොත් පමණි.


ටෙක්ස්ට් මැසේජස් නැත. ඇමතුම් නැත. ජංගම දුරකථනයෙන් කිසිදු පලක් නැත. අවසානයේ දෙමාපියන් ට සහ දරුවන්ට කතා කළ හැකි එකම ක්‍රමය වූයේ ලිපි ලිවීමයි!

දරුවන් 12 දෙනෙක් සමග තායිලන්තයේ පොළොව යට ගුහාවක දැන් දින 12 ක් මුළුල්ලේ සිරවී සිටින පාපන්දු පිලේ පුහුණුකරු, දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා ලිපියක් එවා ඇත.

‘‘සියලුම දරුවන්ගේ දෙමාපියනි, මේ වන විට දරුවන් හොඳින් සිටිනවා.. ගළවා ගැනීමේ කාර්යමණ්ඩලය අපට හොඳින් සලකනවා. හැකිතරම් හොඳට දරුවන් ව බලාගන්නට මම පොරොන්දු වෙනවා. සියලුම උපකාරවලට ස්තූති කරන්නට මට අවශ්‍යයි. ඒ වගේම දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා සිටින්නටත් මට අවශ්‍යයි..“ යැයි කිමිදුම්කරුවන් අත එවූ ලිපියේ සඳහන් වේ. Wild Boars පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වන එකපොල් චන්තාවොන්ග් (Ekapol Chanthawong) 25 හැවිරිදි තරුණයෙකි.

දෙමාපියන් සිය දරුවන් වෙනුවෙන් යදිමින්
Photo: Getty Images

ඒ සමගම දරුවන් ද සිය දෙමාපියන්ට ලිපි එවා ඇති අතර, ඒවා ද මේ වන විට දෙමාපියන් අතට පත් කර තිබේ.

මම මේක ඇතුළෙ ඉන්න කැමතියි!

එක් දරුවෙකුගේ ලිපියක මෙසේ දැක්වේ. ‘‘මම හොඳින්. ඇතුළත වාතය ටිකක් සීතලයි. ඒත් බයවෙන්න එපා.. කොහොම වුණත් මගෙ උපන් දින සාදය ලෑස්ති කරන්න අමතක කරන්න එපා..“

දරුවන් විසින් එවන ලද බොහෝ ලිපිවල දැක්වෙන්නේ මීට සමාන අදහස් ය. තමන්ගේ පවුලේ අය වෙත දක්වන ආදරය සහ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නැති අන්දම ඒවායින් පිළිබිඹු වේ. මේ අතර මික් නමැති දරුවා එවා තිබූ ලිපියෙන් කොටසකි, මේ.

‘‘දුක් වෙන්න එපා.. මට හැමෝම මතක් වෙනවා.. සීයා, මාමා, අම්මා, තාත්තා ඒ වගේම සහෝදර සහෝදරියන්. මම ඔයාල හැමෝටම ආදරෙයි. මම මේක ඇතුළෙ ඉන්න කැමතියි!“

දරුවන් විසින් කිමිදුම්කරුවන් අත දෙමාපියන්ට එවූ ලිපියක්
Photo: AP

වයස අවුරුදු 11 ත් 16 ත් අතර පසුවන මෙම දරුවන් පසුගිය ජූනි 23 වැනිදා පාපන්දු තරගයකින් පසුව සිය පුහුණුකරු ද සමග මෙම පොළොව යට ගුහාව තුළට ගොස් තිබෙන්නේ එය ගවේෂණය කිරීම සඳහා ය. අනතුරුව ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළී, ඔවුන්ට ගුහාවෙන් පිටතට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. ඔවුන් දිවි බේරාගැනීම සඳහා ගුහාවේ ආරක්ෂිත කුටීර වෙත රිංගා යාමට පටන් ගෙන තිබෙන්නේ ඉන් පසුව ය.

ගළවා ගැනීමේ සේවකයන් දරුවන් ව බේරාගැනීම සඳහා ඉක්මන් නොවන්නේ ඔවුන්ගේ කිමිදුම් හැකියාව, නිරුපද්‍රිතව ගොඩට ඒමට තරම් ප්‍රමාණවත් නොවන නිසා ය. නමුත් ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නරොන්ග්සැක් සංවිධානය කියා සිටියේ, ධාරාණිපාත වර්ෂාව නොකඩවා ඇද හැළීම ආරම්භ වුවහොත්, දරුවන් සිටින ස්ථානය ජලයෙන් යටවීමේ අවදානම අධික නිසා ඔවුන් කෙසේ හෝ ගොඩට ගෙන ඒම ආරම්භ කිරීමට සිදුවන බවයි. ඊයේ දිනයේම එක් ස්වෙච්ඡා කිමිදුම්කරුවෙක් ඔක්සිජන් හිඟතාවය හේතුවෙන් මරණයට පත්වීම ද සිදුවිය. මේ වන විට නේවි සීල් භටයෝ ගුහාව තුළට ඔක්සිජන් සැපයීමේ නොකඩවා යෙදී සිටිති.

තායි බලධාරීන් පවසන්නේ මේ සති අන්තයේ, එනම් අද හෝ හෙට ධාරාණිපාත මෝසම් වර්ෂාවක් බලාපොරොත්තු වන බවයි. දැනටමත් පවතින වර්ෂා තත්වය, ගුහාව තුළ තිබෙන ජලය පිටතට පොම්ප කිරීමේ සියලුම උත්සාහයන් ව්‍යාර්ථ කර තිබේ.

මේ වන විට දරුවන් පිටතට ගෙන ඒම සඳහා ක්‍රම 3 ක් යෝජනා වී ඇත. එනම්,

1. කිමිදී-පිහිනා ගුහාවෙන් පිට වීම 

පිහිනුම් ගියරයට හුරු නැති දරුවන් ට එය උගන්වා ඒ ක්‍රමය මගින් ඔවුන් ව ගුහාවෙන් පිටතට ගැනීමට මාස 4 ක පමණ කාලයක් ගත වේ. ඊට පෙර මෝසම් වර්ෂාව නිසා දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වීමට වැඩි ඉඩක් ඇත. 2010 වසරේදී චිලී පතලේ සිරවුණු කම්කරුවන් මාස ගණනකට පසු බේරාගත්තත්, වර්ෂාව නමැති සොබාදම් බලවේගය ඉදිරියේ මෙවර මෙයට ඉඩක් තිබේද යන්න සැක සහිත ය. එසේම පළපුරුදු කිමිදුම්කරුවෙකු පවා ඊයේ දිනයේදී මරණයට පත් වූ හෙයින්, මේ වන විට මෙම යෝජනාව මහත් විවේචනයට ලක්ව තිබේ.

2. ගුහාව තුළ පිරී ඇති ජලය පිටතට පොම්ප කිරීම

වර්ෂාව හේතුවෙන් මෙතෙක් ඒ සඳහා ගත් කිසිදු උත්සාහයක් සාර්ථක වී නැත.

3. භූගත ගුහාව සිදුරු වන සේ, එයට ඉහළින් තිබෙන කන්ද සිදුරු කිරීම (finding a shaft or drilling into the mountain)

මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුව තිබෙන්නේ පස් කන්ද දෙදරුම් කෑම හේතුවෙන් ගුහාවේ බිත්ති කඩා වැටීමේ අවදානම හේතුවෙනි. කෙසේ නමුත් දරුවන්ට පිටවීම සඳහා තරමක් දුරින් හෝ විවරයක් පාදා ගැනීමට මෙමගින් අපේක්ෂා කරයි.

දරුවන් ගුහාවේ සිරවී සිටින ස්ථානය කරා යාමට පළපුරුදු කිමිදුම්කරුවෙකුට පවා පැය 5 ක කාලයක් ගත වේ.

දරුවන් බේරාගත හැකි මගක් වේදැයි සොයමින් Photo: Getty Images

ටෙස්ලා ඔටෝමොබයිල් සහ ස්පේස් එක්ස් රොකට් සමාගමේ හිමිකරු, කෝටිපති ව්‍යාපාරික එලන් මුස්ක් (Elon Musk) ද මේ වන විට දරුවන් බේරාගැනීමේ මෙහෙයුමට මැදිහත් වීමට කැමැත්ත පළ කර ඇත. ඔහුට අයත් බෝරිං සමාගම, පොළොව විදීමේ විශේෂඥ දැනුමෙන් යුතු අතර, පොළොව කැණීමේදී රේඩාර් තාක්ෂණයද යොදා ගනියි. සිය සමාගමේ පළපුරුදු ඉංජිනේරුවන් මේ සඳහා යොදවන බව ඔහු කියා තිබේ. ඔහු ට්විටර් සමාජ ජාලය හරහා ද මේ පිළිබඳ ලොව පුරා මත විමසුමක් හා අදහස් ලබාගැනීමක් සිදුකරමින් සිටියි. මේ අනුව බොහෝ විට දැනට පවතින තත්වයට අනුව දරුවන් බේරාගනු ඇත්තේ 3 වන ක්‍රමය යොදා ගනිමිනි.

ගුහා කිමිදෙන්නන් (cave divers) 140 දෙනෙක් දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සඳහා මේ වන විට යොදවා ඇත.

මේ අතර, දරුවන්ගේ ජීවිත බේරා ගැනුණහොත්, ජූලි 15 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා FIFA හෙවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනටමත් දරුවන්ට ඇරයුම් කර ඇත. මේ බව තායිලන්ත පාපන්දු සම්මේලනය විසින් ද තහවුරු කර ඇති අතර, ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින මේ යොවුන් පාපන්දු පිලට මේ ආරංචිය, ජීවිතය පිළිබඳ නව අපේක්ෂා දල්වා දුන් කදිම මොහොතක් බවට පත්ව තිබේ.

කියවන්න –

තායි ගුහාවේ සිරවුණු ළමා පාපන්දු පිල පණ පිටින් – නමුත් තව මාස 4 ක් ගුහාව තුළම සිටිය යුතුයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි