තායිලන්තයේ පට්ටායා නුවරට නුදුරින් පිහිටි ගුහා පද්ධතියක් තුළ දින 9 ක් මුළුල්ලේ අතරමං ව සිටි ළමා පාපන්දු පිල සහ එහි පුහුණුකරු යන 13 දෙනාම නිරුපද්‍රිතව සිටින බව ඊයේ රාත්‍රියේ තහවුරු වුවත්, ඔවුන් බේරාගෙන පොළොව මතුපිටට ගෙන ඒම සඳහා සති ගණනක්, ඇතැම්විට මාස කිහිපයක් ගත විය හැකි බව අලුත්ම විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මුළු ලෝකයක්ම බලා සිටි මේ ‘මැමත් මෙහෙයුම‘ හෙවත් අති දැවැන්ත ගළවා ගැනීමේ මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍යය, ඇමරිකාව, චීනය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් එක්ව සිටියේය. ලෝකයේ අති දක්ෂ ගුහා කිමිදුම්කරුවන් රාශියක් එයට එක්ව සිටියහ. උතුරු තායිලන්තයේ චියැන්ග් රායි අසලින් ඔවුන් හමුවූයේ පුරා දින 8 ක වෙහෙසකර ව්‍යායාමයකට පසු ඔවුන්ගේ ජීවිත පිළිබඳ පවා කිසිදු විශ්වාසයක් නොමැතිව ලෝකය බලා සිටියදී ය.
මුලින්ම මේ පිරිමි දරුවන් සමග සන්නිවේදනය කිරීමට සමත් වූයේ බ්‍රිතාන්‍ය ගුහා කිමිදුම්කරුවන් ය. තායි නාවික හමුදාව එයින් සුළු මොහොතකට පසු ඔවුන්ගේ ප්‍රථම වීඩියෝව ෆේස්බුක් වෙත මුදා හැරියේය.
‘‘කී දෙනෙක් ඉන්නවද?“ යන්න බ්‍රිතාන්‍ය ගළවාගැනීමේ භටයන් ඔවුන්ගෙන් ඇසූ පළමු ප්‍රශ්නය විය.
‘‘දහතුනයි.‘‘
එය සියල්ලන්ගේම හදවත් අධික සතුටින් කම්පනය වූ මොහොතකි. ‘‘දහතුනයි..? නියමයි..!“ පිටත සිටි ගළවා ගැනීමේ පිරිස් මොර ගෑහ. එකිනෙකා ව වැළඳ ගත්හ. දුක් කඳුළින් නෙත් වේලී සිටි ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ නෙතට, දින 9කට පසු සතුටු කඳුළක් උනනු දැකගන්නට ලැබිණි.
‘‘අපි ඔබව බේරාගන්නවා..“ යැයි කියූ විට ඔවුන් නැගූ ප්‍රශ්නය මෙයයි.
‘‘අද?“
‘‘නැහැ. නැහැ.. අද නෙවෙයි..“
‘අද කවදද?“ පොළොව යට ගුහා පද්ධති නමැති වෙනම ලෝකයක් තුළ අතරමං ව, අන්ධකාරය තුළ නැවතුණු මේ ජීවිතවලට කාලය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති වීම පුදුමයට කාරණයක් නොවේ.
‘‘අද සඳුදා..අදට දවස් 10 ක්… ඔයාල හරිම නිර්භීතයි.. නිර්භීතයි..“
දිරිය ඇති තෙක් ජීවිතය අප හැර නොයන බව ලෝකයට පෙන්වාලූ මේ කුඩා විරුවන් තවදුරටත් ධෛර්යමත් කරමින් ගළවා ගැනීමේ සේවකයෝ ප්‍රශංසාත්මක ව පැවසුහ.
මේ දරුවන් පිරිස එවිට නැවත නැවතත් පවසන්නට වූයේ තමන්ට බඩගිනි බවයි. කෑම අවශ්‍ය බව ඔවුහු හඬගා කියූහ. ඔවුන් කෘශ වී සිටින බවත්, දුර්වල ව සිටින බවත්, දැඩි ආලෝක ධාරාවලට හසු වූ ඔවුන්ගේ කුඩා සිරුරු සපථ කළේය. නමුත් පොළොව යට ගුහාවක අතරමං වී දින 10 ක් මුළුල්ලේ නිරාහාරව සිටි ඔවුන්ගේ ජීවිත මෙපමණකින් සුරැකී තිබීම ම ආශ්චර්යයකි.
‘‘තායි නේවි සීල් භටයන් කෑම, වෛද්‍යවරුන්, බෙහෙත් මේ ඔක්කොම එක්ක ඉක්මනින්ම ඔයාල ළඟට එනවා..“ යැයි දරුවන්ට පිළිතුරු ලැබිණි.
තායි අගමැති ප්‍රයුත් චාන්-ඔ-චා මේ අවස්ථාව හඳුන්වා දී තිබුණේ තායි ජනතාවගේ සමගිය ප්‍රකට කළ අවස්ථාවක් ලෙස ය. මෙම මෙහෙයුම සඳහා එක් වූ සියලුම දෙනාට ඇය සිය හදපිරි ස්තූතිය පිරිනමා තිබිණි.
තායිලන්තයේ Wild Boar පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වන මේ දරුවන් 12 දෙනා, වයස අවුරුදු 11 ත් 16 ත් අතර අය වෙති. ඔවුන් පසුගිය සෙනසුරාදා (ජූනි 23) තාම් ලුයැන්ග් නෑන් නොන් ගුහා පද්ධතියට ඇතුල් වී තිබූ නමුත්, ගුහාවෙන් පිටවන විවරය ධාරාණිපාත වර්ෂාව නොකඩවා ඇද හැලීම නිසා ජලයෙන් පිරී ගියෙන්, ඔවුන්ට ගුහාව තුළ සිරවන්නට සිදුව තිබිණි.
‘ඔවුන් සියලු දෙනාම ආරක්ෂිත ව සිටිනවා“ යැයි චියැන්ග් රායි පළාතේ ආණ්ඩුකාරවරයා නරොන්සාක් ඔසොතකාකෝන් විසින් සඳුදා රාත්‍රියේ කළ ප්‍රකාශය සැබෑවක් බව ලෝකය හමුවේ සනාථ වෙමින් තිබිණි.
ගුහා පද්ධති තුළ තිබෙනුයේ මිහි මත එනම්, පොළොව මත ඇති ලෝකය නොවේ. එය වෙනම පරිසර පද්ධතියකි. එහි ඇති අවදානම් සහගත බව සහ මිනිසාට ඇති ආගන්තුක ස්වභාවය බීබීසී ප්ලැනට් අර්ත් වැනි වැඩසටහන් නැරඹූ අය හොඳින් දනිති.
මෙම තායි දරුවන් අතරමං වී සිටි ගුහාව ද, ගුහා ජාලයක එකතුවක් විය. එනම් ගුහාව තුළ තරමක් ඉඩ කඩ ඇති කාමර වැනි කුටීර ගණනාවක් ඇති අතර, ඒවා එකිනෙක සම්බන්ධ වන්නේ කුඩා නාළ පද්ධතික් වැනි පටු උමං ජාලයක් මගිනි. ඒවා තුළින් රිංගා යා හැක්කේ බඩගාගෙන පමණි.
පට්ටායා වෙරළ තීරය අසල පොළොව යට පිහිටා ඇති මෙම ගුහා ජාලයට පාපන්දු පුහුණුකරු සහ ළමා කැළ පිවිසෙන්නට ඇත්තේ, ඔවුන් ගුහාවට පැමිණීමෙන් පසුව වර්ෂාපතනය නොකඩවා ඇද හැලෙද්දී ගුහාව ජලයෙන් පිරී යාම නිසා විය යුතුය. ඔවුන් ජල ධාරාවලින් ආරක්ෂාව සොයමින් ගුහාව තුළ යම් දිශාවකට ඇදී යන්නට ඇතැයි සැලකේ. දරුවන් පිරිස අවසානයේ සොයාගත්තේ මඩ ගොඩක් වැනි, තරමක් ස්ථානයක අසීරුවෙන් රොක් වී සිටියදී ය. මෙම දරුවන් පටු උමං තුළින් රිංගා බඩගාගෙන ගොස්, ඉඩ කඩ ඇති කුටීරයක් තුළ අතරමං වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අවසානයේ සොයා ගැනෙන විට මෙම කණ්ඩායම සිටියේ ගුහා විවරයට කිලෝමීටර 2 ක් දුරිනි. එසේම පොළොව මතුපිට සිට මීටර 800 ක් – කිලෝමීටරයක් අතර ප්‍රමාණයකිනි. බ්‍රිතාන්‍ය British Cave Rescue Council ඒ බව සනාථ කරයි.
මේ දරුවන් පිරිස සොයාගැනීම, සොබාදහමට එරෙහිව මානවයා කළ සටනේ සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක්වීම නියත නමුත්, දරුවන් නිරුපද්‍රිතව ගොඩට ගෙන ඒම සඳහා තව කළ යුතු බොහෝ දේ ඇත. මේ වන විට වැසිබර කාලගුණය නොතකා, විශාල ජල නළ යොදාගෙන ගුහාව තුළ වූ ජලය පිටතට පොම්ප කිරීම සිදුවෙමින් ඇත. නමුත් ජල මට්ටම කොතරම් පහළ බැස්සුවද, ධාරාණිපාත වර්ෂාවක් නැවත ඇද හැලෙන්නට පටන් ගතහොත් එම උත්සාහය ව්‍යාර්ථ වීමේ ඉඩක් පවතියි.
එසේම දරුවන් ගොඩට ගෙන ඒමට පෙර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිරික්සා බැලීම සඳහා වෛද්‍යවරුන් ගුහාව තුළට යැවීමට අපේක්ෂිත ය. පුරා දින 10 ක් ආලෝකය නොදැක ගුහාව තුළ අන්ධකාරයේ ජීවත් වූ ඔවුන්, එකවරම හිරු එළිය වෙත ගෙන ඒම සුදුසුද යන්න සහ, ඒ සඳහා අවශ්‍ය කාය ශක්තිය ඔවුන් වෙත ඉතිරිව තිබේද යන්න තීරණය කරනු ඇත්තේ එම වෛද්‍යවරුන් ය. වෛද්‍යවරයෙකු සහ හෙදියක මේ අනුව දරුවන් සිටින ස්ථානයට යැවීමට නියමිත ය. ඔවුන් සමග අතිරේක කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද එතැනට යනු ඇත. ඒ අතරවාරයේ නොකඩවා ජලය පිටතට පොම්ප කිරීම කළ යුතු වන්නේ මේ වැඩිවන පිරිසට ද සෑහෙන පරිදි ගුහාව තුළ ඔක්සිජන් තිබිය යුතු වන නිසා ය. එසේම ඔවුන් විජලන තත්වයට සහ, එක දිගට වැතිරී සිටීම නිසා ශරීර සීතල වීමේ අවදානමට මුහුණ දී ඇතැයි විශ්වාස කෙරෙන අතර විශේෂඥයන් පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පැය 12කට පසුව පමණක් ඔවුන් ගළවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීම ගැන සිතිය හැකි බවයි.
ගළවා ගැනීමේ මෙහෙයුමේ මීළඟ අදියර වනු ඇත්තේ මාස 4කට සෑහෙන ආහාර දරුවන් වෙත යැවීම සහ ඔවුන්ට කිමිදීම ඉගැන්වීමයි! එහි අර්ථය ඔවුන්ට තවත් මාස 4 ක් ගුහාව තුළම සිටීමටත්, අවසානයේ කිමිදීම සහ පිහිනීම මගින් දිවි ගළවා ගැනීමටත් සිදුවනු ඇති බවද? එය එසේ බවට සාධක බොහෝ ය.
මේ අනුව දැන් එළඹ තිබෙන්නේ මිනිසා සහ සොබාදහම අතර දෛවෝගපත ලෙස ශක්තිය උරගා බලන තරගයයි. දරුවන් සහ පුහුණුකරු පණ පිටින් සිටින බව හෙළිවීම සැනසුම් සුසුමක් හෙළන්නට කාරණයක් වුවද සැබෑ සටන පවතින්නේ මෙතැන් සිට ය. මේ සටනින් අහිංසක දරුවන් නැවත මිහිමතට එන තෙක් ලෝකයට සුව නින්දක් නම් නැත.
[embedyt] https://www.youtube.com/watch?v=hObYgyiZ3mI[/embedyt]