×

ඇමරිකාව චීනයට 25%ක තවත් බද්දක් ගසයි. වෙළඳ යුද්ධය උග්‍ර වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ නිෂ්පාදන 279කට 25%ක බද්දක් නියම කර ඇති බව හෙළි වේ.


මෙම භාණ්ඩවල වාර්ෂික වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16 කි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළඳ යුද්ධයේ නවතම අදියර ලෙසට හැඳින්වෙන මේ යටතට යතුරුපැදි, ඇන්ටෙනා යනාදී නිෂ්පාදන ගණනාවක් අන්තර්ගත ය.

නව බද්ද අගෝස්තු 23 වැනිදා පටන් ක්‍රියාත්මක වේ.

මෙම බදු නියම කිරීම නිසා ඇමරිකානු පාරිභෝගිකයන් සඳහා ද භාණ්ඩ මිල ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයන් විසින් දිගින් දිගටම අනතුරු අඟවා සිටිය ද ට්‍රම්ප් පාලනය සිය අදහස වෙනස් කර ගත්තේ නැත. චීන භාණ්ඩ මත ඇමරිකාව විසින් බදු පැනවූ 2 වැනි අවස්ථාව මෙයයි.

චීනය අසාධාරණ වාණිජ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට ට්‍රම්ප් විසින් දිගින් දිගටම චෝදනා කරන අතර, බෙයිජි සමග පවතින වෙළඳ හිඟය පියවන බව ඔහු විසින් අවස්ථා කිහිපයකදීම තරයේ කියා තිබිණි.

නවතම තත්වය සම්බන්ධයෙන් චීනය ප්‍රකාශ කරන්නේ ඇමරිකාව ‘වෙළඳ දාමරිකකමක්‘ (trade bullying) කරමින් සිටිනා බවයි. පසුගිය ජූලි මාසයේදී ද ඇමරිකාව විසින් චීන භාණ්ඩවලට 25%ක බද්දක් නියම කළ අතර, එවිට චීනය ද ඇමරිකානු භාණ්ඩ සඳහා එවැනිම බද්දක් වහාම පැනවීය.

මේ සම්බන්ධයෙන් පසුගියදා වොෂින්ටනයේ පැවති ජන රැළියකදී ට්‍රම්ප් කියා තිබුණේ ‘වෙළඳාමේදී හාඩ් බෝල සෙල්ලම් කිරීම ‘මගේ දෙයක්‘ (my thing) බවයි.

Strategic Culture Foundation

අගෝස්තු මස මුලදී ට්‍රම්ප් සිය නිලධාරීන්ට පවරා තිබූ විශේෂ කාර්යය වූයේ පළතුරු, එළවළු, අත්බෑග සහ ශීතකරණ ඇතුළු ඩොලර් බිලියන 200 ක් වටිනා චීන භාණ්ඩ සඳහා 25%ක බද්දක් අය කළ හැකි ක්‍රම සොයා බැලීමයි. නව බදු ක්‍රමය ක්‍රියාවට නැංවුණේ ඒ අනුව ය.

මේ අතර මෙයට එකට එක කරන චීනය, ඉදිරියේදී මස්, කෝපි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු ඇමරිකානු නිෂ්පාදන සිය රට තුළට ගෙන ඒමේදී ද 25%ක බද්දක් අය කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ ගැටළුව සම්බන්ධයෙන් වට කිහිපයකින් පැවති ද්වී පාර්ශවික සාකච්ඡා අසාර්ථක වූ බවත්, ඇමරිකාව නැවතත් හිතුමතයට බදු නියම කළ බවත් චීනයේ බදු කොමිසම පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඇමරිකාව සහ චීනය අතර වාර්ෂිකව හුවමාරු වන භාණ්ඩ හා සේවාවන්ගේ වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 650 කි. එය, ලෝකයේ රටවල් දෙකක් අතර පවතින විශාලතම වාණිජ සම්බන්ධතාවයයි. නමුත් මේ වාණිජ සබඳතාවය, ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී බදු ප්‍රතිපත්ති සමග කොතරම් දුරකට පළුදු වේද, කොතරම් දුරකට ඉතිරි වේ ද කියා කිසිවෙකු දන්නේ නැත.

මීට පෙර ට්‍රම්ප් කියා තිබුණේ නව බදු පැනවීම මගින් ඇමරිකාවට ඩොලර් බිලියන 50 ක් පමණ අතිරේකව උපයා ගත හැකි බව යි. නමුත් ඒ හරහා උපයාගත හැකි දේ මිස, අහිමි විය හැකි දේ ගැන ට්‍රම්ප්ට නිවැරදි අදහසක් නැති බව නම් පෙනේ.

පෙර ලිපි-

ට්‍රම්ප්ට චීනයේ උපහාසය.

එතෙක් මෙතෙක් බිහි වූ ලොව විශාලම නිදහස් වෙළඳ ගිවිසුම අද අත්සන් කෙරේ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි