×

COP25 : රටවල් 200 ක් ‘හරිත විප්ලවය‘ ට ප්‍රතිඥා දෙති.

ඊයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ආරම්භ වූ දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සංවිධානයේ 25 වන සමුළුව - COP25 හිදී රටවල් 200 ක් ‘හරිත විප්ලවයක්‘ ('green revolution') සඳහා ප්‍රතිඥා දුන්හ.


පුරා සති දෙකක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සමුළුවේ පළමු දිනයේදී මෙම ප්‍රතිඥාව දෙනු ලැබුවේ, ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් ඊයේ දිනයේ සිදුකළ කතාවෙන් අනතුරුව ය.

දේශගුණික විපර්යාස අවම කිරීම සම්බන්ධයෙන් ලෝකය මේ තාක් දුරකට ගෙන ඇති පියවර කිසිසේත්ම නොසෑහෙන බව ප්‍රකාශ කළ ජගත් සංවිධාන මහලේකම්වරයා, මේ පිළිබඳ තමන් මහත් සේ ‘බලාපොරොත්තු සුන් කරගෙන සිටින බව‘ සඳහන් කළේය.

අලුත් හරිත විප්ලවය

ඊයේ දිනයේ COP25 හිදී හරිත විප්ලව ප්‍රතිඥාව කරළියට පැමිණියේ යුරෝපා සංගමයේ ප්‍රධානීන් තිදෙනෙකුගේ මුලපිරීමෙනි.

යුරෝපා කොමිසමේ ප්‍රධානියා සහ එම තනතුරට පත් වූ ලෝකයේ ප්‍රථම කාන්තාව වන උර්සුලා වැන් ඩර් ලෙයින් (Ursula von der Leyen) විසින් යුරෝපයේ නව වර්ධන ක්‍රමෝපාය, European Green Deal බව ප්‍රකාශ කර සිටියාය.

මෙහිදී හරිතාගාර වායු විමෝචනය කපා හැරීම මගින් රැකියා නිර්මාණය කිරීම සහ ජීවන තත්වය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානී ඩේවිඩ් සාසොලි (David Sassoli) ප්‍රකාශ කළේ, ‘‘දේශගුණික විපර්යාස දේශසීමා බාධකවලට ගරු කරන්නේ නැහැ. එයට එරෙහිව සටන් වැදීමට නම් මුළු ලෝකයම එක් විය යුතුයි‘‘ යනුවෙනි.

CoP 25 in Madrid – Arrival and welcome of Heads of State / Government

මේ අතර යුරෝපා කොමිසමේ ප්‍රධානී චාල්ස් මයිකල් (Charles Michel) මෙසේ පැවසුවේය. ‘‘කාර්මික විප්ලවයෙන් සහ තාක්ෂණික විප්ලවයෙන් පසුව දැන් හරිත විප්ලවයට කාලය ඇවිත්…“

‘‘නමුත් අපේ ප්‍රතිපත්තිවලින් බලපෑමට ලක්වන මිනිසුන් පිළිබඳව අප කිසිවිටෙක අමතක කළ යුතු නැහැ. අපි හැමවිටම යුක්ති සහගත සහ සමාජයීය වශයෙන් සමතුලිත විය යුතුයි‘‘.

ලෝකයට අවශ්‍ය නව දේශගුණික සහ පාරිසරික නීති කෙටුම්පත් කිරීම සඳහා මෙහිදී නව කොමිසමක් ද පත් කර ගන්නා ලදී.

පෙර ලිපිය
COP25 – 25 වන ජගත් සංවිධාන පරිසර සමුළුව මැඩ්රිඩ් හිදී ඇරඹේ – ගුටරෙස්ගෙන් අනතුරු ඇඟවීම්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි