×

යුක්රේන ගුවන් අනතුරින් පසු ඉරාන විරෝධතා වලට පොලිසිය වෙඩි තැබුවාද?

ටෙහ්රාන පොලිසිය සැබවින්ම විරෝධතාකරුවන්ට වෙඩි තැබුවාද? මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


මීට දින කිහිපයකට පෙර යුක්රේන මගී ගුවන් යානයක් ඉරානයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්වූ අන්දම අප ඔබට වාර්තා කළෙමු.

විවිධ මති මතාන්තර, වාද විවාද, විචාර මධ්‍යයේ අවසානයේ ඉරානය මෙම අනතුරට වගකීම භාරගත් අයුරු ද විස්තර කළෙමු.

මෙම සිදුවීමත් සමඟ ඉරානයේ ටෙහ්රාන් අගනුවර දහස් සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධය පෑමට කටයුතු කර තිබිණි.

එම විරෝධතාව ඉරාන රජයට විරුද්ධව සිදුවූ අතර, වීදි තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූ අන්දම ද වාර්තා වී තිබිණි.

මෙම විරෝධතා තුළ ඇමරිකානු හමුදා විසින් ඝාතනය කරනු ලැබූ කූඩ්ස් ප්‍රධානී කසෙම් සොලෙයිමානි ගේ ඡායාරූපයක් ඉරා දමමින් සිය පිළිකුල ප්‍රදර්ශනය කළ අන්දම දක්නට ලැබිණි.

මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ද විරෝධතාකරුවන්ට ප්‍රශංසා කොට තිබිණි.

කෙසේවෙතත්, මෙම විරෝධතා මධ්‍යයේ ඉරාන රජය උද්ඝෝෂකයින් පළවා හැරීමට විවිධ ක්‍රියාමාර්ග ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ඒ අතර ප්‍රධාන පුවතක් වූයේ ටෙහ්රාන් පොලිසිය විසින් විරෝධතාකරුවන් හට වෙඩි ප්‍රහාර දියත් කළ බවයි.

මේ පිළිබඳ හැඟවෙන විවිධ ඡායාරූප හා වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාල පුරා ප්‍රචාරය වීමට පටන් ගෙන තිබිණි.

 

ඉරානය තමන්ගේම ජනතාවට වෙඩි තැබුවාද?

එම ඡායාරූප වල තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන යන අන්දම සටහන් වී තිබූ අතර, වීඩියෝ පට වල පොලිසිය යැයි විශ්වාස කළ හැකි පිරිස් විසින් රැස්ව සිටි පිරිසට වෙඩි තබන අන්දම දැක්විණි.

කෙසේවෙතත්, ටෙහ්රාන පොලිසිය විසින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.

ටෙහ්රාන පොලිස් ප්‍රධානී නිකුත් කළ නිවේදනයකට අනුව පොලිසිය කිසිදු විටක විරෝධතාකරුවන් හට වෙඩි තැබීමට කටයුතු නොකළ බව දැක්වෙයි.

මේ පිළිබඳ සිදුකළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ  අද (13) දින පළ කර තිබේ.

ටෙහ්රාන පොලිසිය සිදුකළ නිවේදනයේ දැක්වෙන්නේ ඔවුනට ලැබුණු විධාන අනුව තත්ත්වය පාලනය කිරීමක් පමණක් සිදුවූ බවයි.

කිසිදු විටක වෙඩි තැබීමට නියෝග නිකුත් නොවූ බවද එහි දැක්වේ.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ වීඩියෝ පට හා ඡායාරූප වල අව්‍යාජභාවය තහවුරු කිරීමට කිසිවකුත් සමත් ව නැත.

ටෙහ්රාන පොලිසිය සැබවින්ම විරෝධතාකරුවන්ට වෙඩි තැබුවාද? මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පෙර ලිපි:

ගුවන් ප්‍රහාරයේ වගකීම භාරගැනීමෙන් පසු ඉරාන රජයට එරෙහිව විරෝධතා

යුක්රේන ගුවන් යානය බිම හෙළුවේ තමන් බව ඉරානය පිළිගනියි! -ඇමරිකාවේ ‘මෝඩ වීරක්‍රියා‘ මෙයට හේතු වූ බවත් කියයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි