×

නොමියෙන රෝස කුසුම – 3 කොටස

ජනතාවගේ කුමරිය‘ සහ ‘ආදරණීය රෝස කුසුම‘ වූ ඩයනා කුමරියගේ ජීවිතයේ අවසන් වසර දෙක පිළිබඳ සත්‍ය කතාව


මෙතෙක් කතාව

අසාර්ථක යුග දිවියෙන් සහ අසාර්ථක වූ සබඳතා කිහිපයකින් හෙම්බත් වී සිටි වේල්ස් හි ආදිපාදවරිය හෙවත් ඩයනා කුමරියට කඩවසම් පාකිස්ථාන වෛද්‍යවරයා මුණගැසෙන්නේ අහම්බෙනි. ආත්මාර්ථයෙන් බොහෝ ඈත තැනෙක සිය ආත්මය ස්ථානගතගත කර තිබූ මේ තරුණ මිනිසා වෙත කුමරිය ආකර්ෂණය වෙයි. ඔහුව දැකීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව රෝහල වෙත යන ඇය, රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ද ඔහු ට ඇරයුම් කරයි.
———————-
“සෝනියා, මේ එළවලු හොඳයි නේද…” ඩයනා කුමරිය සිය මිතුරිය මෙන්ම වෘත්තීය කටුචිකිත්සකවරිය ද වූ සෝනියා ඌනාග් ටොෆොලෝගෙන් ඇසුවාය.

 

සැබවින්ම හස්නාත් ඩයනා කුමරියට හමුවූයේ ද ඇගේ සැමියා ත්‍රිත්ව බයිපාස් සැත්කමකට ලක්වී හස්නාත්ගේ සායනයේ නතර කර සිටි නිසා ය. ඩයනා කුමරිය මහත් තිගැස්මකින් පෙළෙන්නීය. දෙගිඩියාවෙන් යුතුය. අද ඔහු එන බව කියා තිබේ.

“ඔහු හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් නෙ… ඒ කියන්නෙ සෞඛ්‍යයට හිතකර කෑම කන කෙනෙක්” සෝනියා කුමරියගේ සැක දුරු කිරීමේ යෙදී සිටියාය. “මම කොන්කිගිලී (ගෝවා වර්ගයකි) ගෙනාවා. තව බෙල්ලො…”

“ඒව උයන්න අමාරුයි නේද…?” ඉවීම නුහුරු කුමරියගේ මුහුණේ ප්‍රශ්නාර්ථයකි.

සෝනියා සිනාසුණාය. “නෑ.. තම්බලා වතුර ටික පෙරන්න. විනාඩි අටයි. ඊට පස්සෙ ඔක්කොම මයික්‍රොවේව් එකට..” සියතින්ම කෑම පිසීමේ අභියෝගය සිය කැමැත්තෙන්ම භාරගත්තද කුමරියට දැනෙමින් තිබුණේ තමන් ලොකු අමාරුවක වැටෙන්නට යන බවකි. ඉන්පසු සෝනියා ඉතාම වැදගත් හා තීරණාත්මක පැනයක් සිය මිතුරිය හා ස්වාමිදුවගෙන් ඇසුවාය. “ඔබට විශ්වාසද ඔහු විවාහක නෑ කියලා…?”

“නෑ.. මම හොයලා බැලුවා..” කුමරිය සිනාසෙමින් නමුත් බරපතළ විලාසයෙන් කීවාය.

“ඇත්තටම ඔබ ඔහුට මේ තරම් කැමති ඇයි..?”

“ඔහු මට සලකන්නෙ කුමාරිකාවකට වගේ නෙවෙයි. හරියට මම කවුද කියලවත් දන්නෙ නැතිව වගෙයි..”

“කවුද දන්නෙ…? සමහරවෙලාවට මිනිහට කවුරුවත් හරි විස්තරයක් කියල නැති ව ඇති..”

ගැහැනු දෙදෙන හඬ ගා සිනාසුණහ.

එදින රාත්‍රී නවයට පමණ කෙන්සිංටන් මාළිගයේ පිවිසුම් දොරටුව වෙත කලු පැහැ මෝටර් රථයක් ඇදී ආවේය. ආරක්ෂකයෝ දෙදෙන එය බලාපොරොත්තුවෙන් සිටි නියායෙන් එකිනෙකා දෙස බලා හිස් සැලූහ.

“අපි ඉන්නේ ඔබට උපකාර පිණිසයි මහත්මයා..” ප්‍රධාන ආරක්ෂකයා ගරු සරු ඇතිව කීය.

එයින් විනාඩි කිහිපයකට පසු කුමරියගේ ආලින්දයේදී සව්දිය පිරීම සිදුවිය. කුමරිය සැරසී සිටියේ රතු පැහැ බ්ලවුසයකින් සහ නිල් පැහැ කෙටි සායකිනි. එය සැහැල්ලු සහ සුන්දර කෙටි ඇඳුමක් විය.

“ඔබ හෙටත් වැඩද..?” කුමරිය ඇසුවාය.

“ඔව්.. නමුත් හොස්පිට්ල් එකේ නෙවෙයි. මම සඳුදා උදේට ගන්න පේපර් එකක් ලියනවා. මගෙ පර්යේෂණ නිබන්ධනයෙ කොටසක්. රෑ මැද වෙද්දි මම ගෙදර යන්න ඕනෙ..”

“මේ වගේ ආතතිය පිරුණු රස්සාවක් කරද්දි ඔබ කොහොමද රිලැක්ස් වෙන්නෙ…?” කුමරිය ඊළඟ ප්‍රශ්නය ඇසුවාය. හස්නාත් ට මෙන් නොවේ. ඇගේ මුවට තවමත් නිරායාසයෙන් වචන ගලා නොයේ. නමුත් ඈ මුවෙන් කතා කරනවාට වඩා වැඩියෙන් නෙත් සඟලෙන් කතා කරමින් සිටියාය. නමුත් යුවතියකගේ සිරුරු බස නොදන්නා අරුම පුදුම වෛද්‍යවරයෙක් මෙන් හස්නාත් ඛාන්, ඉතා සැහැල්ලුවෙන් යුතුව ඇය සමග කතා බස් කරමින් සිටියේ මිතුරෙකු ලෙසිනි.

“මම ජෑස් සංගීයට ඇහුම්කන් දෙනවා..”

“මම හිතන්නෙ නෑ මම නම් ජෑස් සංගීතය දන්නවයි කියලා..”

“ඔබ අනිවාර්යයෙන්ම රොනී ස්කොට්ගෙ ප්‍රසංග බලන්නට යා යුතුයි..” වෛද්‍යවරයා නිර්දේශ කළේය.

කුමරියගේ සිනහව පිපිරී ගියේය. “මට ඒ වගේ තැන්වලට යන්න ලෙහෙසි නෑ.. ඔබ දන්නවද..”

“ඒ වගේ ප්‍රසංගයකට ගියාම ඒක රෙකෝඩඞ් සංගීතය අහනව වගේ නෙවෙයි.. ඔබ දන්නවද? ජෑස් රසවිඳින්න ඕනෙ ඒ මොහොතෙමයි.. ඔබ ඒ වෙලාවෙ එතැන ඉන්නට ඕනෙ. ඒක ක්ෂණිකවයි නිර්මාණය වෙන්නෙ… කලින් සැලසුම් කරල නෙවෙයි… හරියට ජීවිතය වගෙයි.”

 

“මගෙ ජීවිතය නම් සම්පූර්ණයෙන්ම සැලසුම් කළ විදිහටයි ගෙවෙන්නෙ..” කුමරිය කීවාය.

“කොහෙටද යන්නෙ, කාටද අතට අත දෙන්නෙ වගේ දේවල් නේද..?” වෛද්‍යවරයා හිස්තැන් පිරවීය.

“හරියටම හරි.”

“..නමුත් ඒ රාමුව ඇතුළෙත් ඔබ ක්ෂණිකව යම් යම් දේවල් කරනවා. බලන්න, කොහොමද සංවාදයක් පටන් ගන්නෙ කියල හිතමින් යම් කෙනෙක් දිහා බලනවා. එතැනින් පටන් ගන්නවා. එහෙම නේද..?”

කුමරිය ඔහු දෙස බලා සිටියාය.

“ඒ කියන්නෙ ඔබ හැම තිස්සෙම ක්ෂණිකව යම් යම් දේවල් කරනවා.. ඉතින් ඔබට ඒ වගේ දේවල් කරන්න පුලුවන් කියන්නෙ, ඔබට ජෑස් සංගීතයත් රසවිඳින්න පුලුවන් කියන එකයි” හස්නාත් මධුවිත තොල ගෑවේය.

“මම දුවල ගිහින් රෑ කෑම බලල එන්නම්..” කුමරිය මුලුතැන්ගෙය වෙත ඇදුණාය. තමන් නොවැළැක්විය හැකි ලෙස මේ මුස්ලිම් ජාතිකයා වෙත ආකර්ෂණය වෙමින් සිටින බව එවේලේ ඇයට තදින්ම දැනුණේය. හෘත් ශල්‍ය වෛද්‍යවරයෙකුට තමන් සමග දොඩමලු වන්නට මෙතරම් දේවල් තිබෙනු ඇතැයි ඇය සිතා තිබුණේ නැත. කඩිමුඩියේ ක්ෂුද්‍ර තරංග උඳුන ක්‍රියාත්මක කළ විට විනාඩි දෙක ඇයට දැනුණේ පැය දෙකක් ලෙසය. මේ අතර ඇගේ රාජකීය අමුත්තා බවට පත්ව සිටි හස්නාත් ඛාන්, දුම්වැටියක් දල්වා ගන්නට සිතූ නමුත් එය නොහොබිනේ යැයි සිතා නැවත දුම්වැටිය පැකට්ටුව තුළටම දමාගත්තේය. හරි බරි ගැසී නොඉවසිල්ලෙන් වාඩි වී සිටියේය.

“ඉතින් ඔබ කියන්නෙ හදවත් ඇත්තටම බිඳෙන්නෙ නෑ කියලද..?” ඩයනා කුමරිය අවසානයේ ඔහු සමග එක් මේසයේ කෑම කමින් හෘදයාංගම සංවාදයකට එළඹෙන්නට වෑයම් කළාය.

“හදවතකට කිසිදාක සුවපත් වෙන්නට බැරි වෙන විදිහෙ කම්පනයක් දැනෙන්නට පුලුවන්” හස්නාත් කීය.

“ඔව්.. ඒත් ඒව ඇත්තටම බිඳෙන්න පුලුවන්ද?”

“මගෙ මිත්‍රයො නම් මා එක්ක එකඟ වෙන එකක් නෑ. ඒත් මම විශ්වාස කරන හැටියට…, උදාහරණයක් විදිහට මරියා කානස් මියගියේ හදවත බිඳීම නිසයි.”
කුමරිය හස්නාත් කෑම කන අන්දම බලා සිටියාය. ඉන්පසු මෙසේ ඇසුවාය. “ඔබ මගෙ කෑම කන්නෙ කැමැත්තකින් නෙවෙයි නේද?”
හස්නාත් අවුල් වූ මනසින් යුතුව කුමරිය දෙස බැලුවාය. “නෑ.. නෑ.. එහෙම දෙයක් නෑ. මේ කෑම හරිම රසයි.. මට කියන්න පුලුවන්, ඔබ ඉතාම දක්ෂ කෝකියෙක්.”

“ඔහ්.. බොරු කියන්න එපා..” කුමරිය සිනාසුණාය. “මොන වගේ කෑම වර්ගවලටද ඔබ ඇත්තටම වැඩිය කැමති..?”

හස්නාත්ගේ මුහුණ පිපුණේය. “මට හැම්බර්ගර් එකක් හදල දෙන්න ඔබට පුලුවන්ද?”

කුමරිය වික්ෂිප්ත වූවාය. “මට … ඒත් මට පුලුවන් ඔබට හැම්බර්ගර් ගෙනත් දෙන්න.. මේ දැන්..”

එයට විනාඩි පහකට පමණ පසු වෛද්‍ය හස්නාත් ඛාන්, බර්ගර් කිං අවන්හලෙන් ඇණවුම් කර ගෙන්වාගත් දෙවන හැම්බර්ගර්ය ද කුඩා එකෙකු ලෙසින් මහත් අභිරුචියෙන් ගිල දමමින් සිටියේය. “හරිම රසයි..” ඔහු කීවේය.

“ඔව්.. මට ඒ බව පේනවා..” ඩයනා කුමරිය සිනාසෙමින් කීවාය.

කෑම අහවර කළ විගස හස්නාත් හට දුම්වැටියක් දල්වා ගන්නට උවමනා විය. “කමක් නැත්ද?” ඔහු ඇසුවේය. “නෑ කමක් නෑ..”

හස්නාත් දුම්වැටිය දල්වා ගත්තේය.

Photo credit “Diana her True Story’

පසුගිය ලිපි

නොමියෙන රෝස කුසුම -2කොටස

නොමියෙන රෝස කුසුම -1කොටස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි