×

දහස් ගණන් දෙනා ‘HIV නෙගටිව්‘ කළ ‘HIV පොසිටිව්‘ තරුණයා

HIV පොසිටිව් තත්වයෙන් පෙළෙන්නන් සඳහා HIV නිවාරණ ඔසු සහ උපක්‍රම ලැබීමේ අයිතිය වෙනුවෙන් ග්‍රෙග්-ඇලෙක්ස් දෙපළ ගෙන ගිය සටන ලොව පුරා STD/HIV නිවාරණ ව්‍යාපාරයට කදිම පූර්වාදර්ශයක් සපයයි. බලපෑම් සහගත ප්‍රජාවන්ට හිමි නිවාරණ ක්‍රමවේදයන් ගැන දැනුම්වත් තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන්, ස්වාර්ථයක් නැතිවම සටන් වැදුණු ඔහු නිසැක වශයෙන්ම අපේ ලෝකයේ වීරයෙකි.


ඔහුගේ නම ග්‍රෙග් ඔවෙන් ය. තමන් HIV-positive තත්වයට පත්වීම වළක්වන, එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවය හෙවත් NHS හරහා ලබාගත හැකිව තිබූ අලුත් ඖෂධයක් ඔහුට උවමනා විය. නමුත් ඔහු ඒ වන විටත් ප්‍රමාද වැඩි ය. ඔහු ඒ වන විටත් HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයට නතු වී සිටියේය. නමුත් ඔහු සහ ඔහුගේ ළඟම මිතුරෙකුට උවමනා වූයේ දහස් ගණනකගේ ජීවිතවලට බලාපොරොත්තුව කැඳවමින් එම ප්‍රතිකාරය නොමිලේ ලබාගැනීම ය.

‘‘ඔබට යම් දෙයක් දැඩි විදිහට කරන්නට උවමනා වුණාම, ඒ මොහොතේ පටන් ඔබේ මුළු ජීවිතයම වෙනස් වෙනවා.. මම මගේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ෆේස්බුක් සටහනක් තැබූ මොහොතේ පටන් මගේ ජීවිතයත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.“ ඔහු කියයි.

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් අගනුවර හැදී වැඩුණු ග්‍රෙග් ඔවෙන්, දරුවන් සය දෙනෙකුගෙන් යුක්ත පවුලේ වැඩිමලා විය. ඒ 1980 දශකයයි. ජීවත් වීම යන්න පවා උතුරු අයර්ලන්තයේ දැඩි ලෙස ප්‍රශ්නකාරී වන සමයක ඔහු සිය ලිංගික නැඹුරුතාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටළුව විසඳා ගත්තේය. ඔහු තමන්ව විස්තර කර ගත්තේ ‘අතිශයින්ම සමරිසි පිරිමි‘ හෙවත් “very gay”යනුවෙනි.

ග්‍රෙග් කුඩා කාලයේ

2015 වසර වන විට ඔහු සීඝ්‍රෙයන් වෙනස් වන ලන්ඩන් නුවරට පැමිණ සිටියේය. ඔහු තැබෑරුම් සහ සමාජ ශාලාවල රැකියාව කළේය. මිතුරන්ගේ සෝපා මත හාන්සි වී නිදා ගත්තේය.

මේ ‘වෙරි ගේ‘ තරුණයා, අනාගතයේ දිනෙක, ජීවිත දහස් ගණනක් බේරාගන්නා අයෙක් වෙතැයි හෝ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය සමරිසියන්ගේ ‘සෙක්ස් අයිතිය‘ ගැන සිතන ආකාරය වෙනස් කිරීමට සමත් වේ යැයි කිසිවෙකු සිතුවේ නැත.

ඉන්පසු ග්‍රේ හට ඇලෙක්ස් ක්‍රැඩොක් ව මුණ ගැසුණේය. ඔහු පැමිණ සිටියේ නිව්යෝක් නුවරිනි. විහිළු තහළුවලින් ඇරඹි කතා බහ අවසානයේ නතර වූයේ ජීවන සහකරුවන් බවට එකිනෙකාව පත් කරමිනි.

ග්‍රේ, හුරුබුහුටි ඇලෙක්ස් තුළින් දුටු ලොකුම ආලෝකය, ඔවුන් දෙදෙනාම එක් දෙයක් සම්බන්ධයෙන් දැඩි සේ එකම අදහසක එල්බ ගෙන සිටීමයි. එනම්,  HIV ආසාදනයට එරෙහි සටන උඩු යටිකුරු කළ හැකි ‘ගේම් චේන්ජර්‘ එකක් ලෙසට ඔවුන් දෙදනොම සැලකුවේ NHS සතුව තිබූ නව ඖෂධයයි. එහි නාමය Prep විය.

නිල් පාට ‘ප්‍රෙප්‘ පෙත්තේ බලපෑම ඉතාම සරල ලෙස විස්තර කළ හැක්කේ මේ ආකාරයෙනි.

‘‘ඔබ ප්‍රෙප් පෙත්ත වෛද්‍ය නිර්දේශය අනුව අරගෙන තිබෙනවා නම්, HIV පොසිටිව් අයෙක් සමග ලිංගිකව හැසිරුණත්, HIV පොසිටිව් තත්වයට ඔබ පත්වීමට තිබෙන අවදානම 100%කින් ම වැළකෙනවා. කොන්ඩමයක් පාවිච්චි නොකළත් එහි වෙනසක් නැහැ…“

ග්‍රෙග් ප්‍රෙප් ඔසුව ලබාගැනීමට වෙහෙසුණේය. ඇලෙක්ස් ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණියෙකු වූ හෙයින් ඔහු සතුව මෙම ඔසුව තිබිණි. එය නිව්යෝක් නුවරදී ලබාගැනීම පහසු යැයි ඇලෙක්ස් ග්‍රෙග් සමග කීය. නමුත් ඔහුගේ ප්‍රෙප් ඔසුව අවසන් වූ පසුව, එක්සත් රාජධානියේ කිසිදු ස්ථානයකින් එය ලබාගැනීමට ඔහුට හැකි වුණේ නැත.
ඔහුට ග්‍රෙග් ව මුණ ගැසී තිබුණේ ඔහුගේ ප්‍රෙප් ඔසු සංචිතය අවසන් වූ පසුව ය.

මේ කාලය වන විට එක්සත් රාජධානිය තුළ ජීවත් වන ඉහළ අවදානමක් සහිත කණ්ඩායම් HIV රෝග නිශ්චය සඳහා පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කර තිබිණි. නවතම තත්වය අනුව ලන්ඩනයේ සෑම සමරිසි පිරිමින් 8 දෙනෙකුගෙන්ම 1 අයෙකුට HIV ආසාදනය වී තිබේ.

ප්‍රෙප් ඔසුවට ලන්ඩනයේ තිබුණේ ඉතා අධික ඉල්ලුමකි. එය ලබාගැනීමට සමත් වූවෝ ඇතැම්විට දිනපතා එය ගත්හ. තවත් අය ලිංගික එක්වීමකට පෙර හෝ පසුව එය භාවිතා කළහ. කොන්ඩමයක් පාවිච්චි කළත්-නොකළත් මෙම ඔසුව විසින් HIV වෛරසය රුධිර ධාරාවට එක් වීම ස්ථිර ලෙස නතර කළේය. එනයින් ප්‍රෙප් යනු නිවාරණය මිස ඖෂධයක් ද නොවීය.

නමුත් ප්‍රෙප් ලබාගැනීමට පෙර තහවුරු කර ගත යුතු එක් කරුණක් තිබිණි. එය නම්, ඔබ දැනටමත් HIV ආසාදිතයෙකු නොවන බවයි.

ග්‍රෙග් ලිගිකාශ්‍රිත රෝග සායනයක් වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂා කර ගත්තේය. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (sexually transmitted infection (STI)) පරීක්ෂාවන්ට නිරතුරු ලක්වීමට සිදුවීම ප්‍රෙප් කරදරයක් ලෙසින් සැලකුවේ නැත. මනුෂ්‍ය ජීවිතය ඊට වඩා බෙහෙවින් වටිනා බව ඔහු අවබෝධ කර ගෙන සිටියේය. ඔහු නිතර සිය වෛද්‍යවරයා හමුවීමට ගියේය. පරීක්ෂණ ප්‍රතිඵල ‘නෙගටිව්‘ නම් එක් තිතක්ද, ‘පොසිටිව්‘ නම් තිත් දෙකක් ද දිස්වන බව පවා ඔහු දැන සිටියේය. නිතර ඔහුගේ පරීක්ෂණ සටහනේ දැක්වුණේ එක් තිතකි. නමුත් දිනක්, හදිසියේම ඔහුට හදගැස්ම නතර කරවනසුලු අලුත් ප්‍රතිඵලයක් ලැබිණි. තිත් දෙකක්..!

තමන් හදිසියේම කුදු ගැසී ඇති බවත්, උගුලකට හසු වු සතෙකුගේ තත්වයට පත් වූ බවත්, තනි වී ඇති බවත් ග්‍රෙග් හට දැනුණේය. ‘‘මා බාහිර ලෝකයෙන් වෙන් කරන බුබුළක් තුළ සිරවී ඇති බව මට දැනුණා..“ යැයි ග්‍රෙග් ඒ මොහොත සිහිපත් කරමින් පසුව කීවේය.

සිය ජීවිතය මෙන්ම, සමහරවිට තවත් දහස් ගණනක් වූ ගේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට ඔහු ඒ මොහොතේ තීරණය කළේය.

ඔහු HIV පොසිටිව් තත්වය ලෝකයෙන් වසං නොකිරීමට තීරණය කළේය. ඒ රහස ඔහු ෆේස්බුක් ඔස්සේ ලෝකයට හෙළි කළේය. ඒ සමගම තමන් හොඳින්ම දන්නා ජීවක ඖෂධය වන ප්‍රෙප් ගැන ඔහු දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බස් කළේය. තමන්ට ප්‍රෙප් ඔසුව ලබාගත හැකිව තිබිණි නම් HIV තත්වයට ගොදුරු නොවී සිටීමට ඉඩ තිබුණු බව තර්කයක් ලෙස ගෙන ආවේය.

‘‘මුලින්ම මම HIV පොසිටිව් බව හෙළි කිරීම මා වටේ සිටි අයට අදහාගත නොහැකි දෙයක් වුණා. ඊට පස්සෙ ඔවුන් මෙහෙම අහන්න පටන් ගත්තා.. ‘‘ඇත්තටම මොකක්ද ඔය ප්‍රෙප් කියන්නෙ..?“ ඉතින් මම ඔවුන්ට ප්‍රෙප් ගැන මං දන්නා දේවල් කියා දුන්නා. ඔවුන් ඒ සමගම ඇසූ ඊළඟ ප්‍රශ්නය වුණේ ‘‘කොහෙන්ද අපට ප්‍රෙප් ගන්න පුළුවන්?‘ කියන එකයි.“

ග්‍රෙග් සහ ඇලෙක්ස් යුවළගේ ඊළඟ ඉලක්කය වූයේ එම පැනය විසඳීමයි.

‘‘මේ වෙද්දි අපට ප්‍රෙප් ගන්න ආණ්ඩුව උවමනා නැහැ…“ ඇලෙක්ස් සිහිපත් කරයි. ‘‘අපටම ඒක කරගන්න පුළුවන්. අපි හැමෝටම කිව්වා, අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරලා ප්‍රෙප් පාවිච්චි කරන්න කියලා..“

දෙදෙන ඇලෙක්ස්ගේ නිදන කාමරයේ සිට වෙබ් අඩවියක් ගොඩ නැගීම ආරම්භ කළහ.

මුලින්ම එහි ආරම්භ කළේ මිනිසුන් විසින් දැන සිටීමට අවශ්‍ය වෛද්‍ය තොරතුරු ය. ඉන්පසු හැම කෙනෙකුටම දැනගැනීමට අවශ්‍ය කර තිබූ දෙය, ‘මිලදී ගැනීම සඳහා ක්ලික් කරන්න‘ (click to buy) බට්න් එක එක් කෙරිණි. ‘‘අපිට මුදල් හම්බ කරන්න උවමනා වුණේ නැහැ. අපට උවමනා වුණේ මිලදී ගන්නන් සහ අලෙවිකරුවන් සම්බන්ධ කරන්නයි.‘‘ යනුවෙන් ග්‍රෙග් පවසයි.

එය සරල, රැඩිකල් අදහසක් විය.

‘‘NHS එක ඇවිත් මාව බේරගන්න කල් මම තවත් බලන් ඉන්නෙ නෑ..“ ඇලෙක්ස් කියයි. ‘‘මට ප්‍රෙප් අවශ්‍යයි. ඒක ලබාගත යුත්තේ කොහොමද කියා මම දන්නවා..“

ඔවුන් සිය වෙබ් අඩවියට කදිම, ගැළපෙන නමක් දැමූහ. එහි නම I Want Prep Now ය. එය 2015 ඔක්තෝබරයේ ලෝන්ච් කෙරිණි.

පළමු පැය 24 ඇතුළත වෙබ් අඩවියට 400 දෙනෙක් පැමිණියහ. එම සංඛ්‍යාව බලා සිටියදීම, හතු පිපෙන්නාක් සේ වැඩි වන්නට විය.

වෛද්‍ය වෘත්තිකයන් මේ තත්වය ගැන උනන්දු වන්නට පටන් ගත්තේ ඉන්පසුව ය. NHS හි HIV සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ උපදේශිකා මැග්ස් පෝට්මන් වෙබ් අඩවිය ට ඊ මේල් පණිවුඩයක් යොමු කරමින් තමන්ට ඔහු ව මුණ ගැසිය හැකිදැයි ඇසුවාය. ප්‍රෙප් ඔසුව පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවියක් වූ Prepster හි ක්‍රියාකාරියෙකු වූ විල් නට්ලන්ඩ් ද වැඩි කල් නොගොස් ඔවුන් සමග සම්බන්ධ විය. එසේ සම්බන්ධ වුවා පමණක් නොව, එය ස්වයං පරීක්ෂාවට ලක් කරන ගිනියා පිග් කෙනෙකු බවට ද විල් පත්විය. ඔහු නව සැපයුම්කරුවන් විසින් ලබාදෙන ඖෂධ සාම්පල්වලින් ප්‍රෙප් ඔසුව ශරීරගත කරගෙන පෝට්මන් ලිංගික සෞඛ්‍ය සායනයට නිතිපතා ගොස් සිය රුධිර සාම්පල පරීක්ෂා කර ගත්තේය. 300 වාරයක් ඔහු මෙසේ සිදුකළේය. ඒ සෑම වතාවකදීම පෙනී ගියේ වෙබ් අඩවිය හරහා ඇණවුම් කළ හැකි ප්‍රෙප් සම්පලවල ගුණාත්මයේ කිසිදු ගැටළුවක් නොමැති බවයි.

මේ කාලය වන විට එක්සත් රාජධානියේ මෙඩිකල් රිසර්ච් කවුන්සිල් හෙවත් වෛද්‍ය පර්යේෂණ සභාව, ප්‍රෙප් ගන්නා සමරිසි පිරිමින් සහ ප්‍රෙප් භාවිතා නොකරන සමරිසියන් සන්සන්දනය කරමින් ‘Proud study‘ නමැති පර්යේෂණයේ නියැළී සිටියේය. එහි ප්‍රතිඵල නිකුත් විය.

ඉතා පැහැදිලිවම,  ප්‍රෙප් පාවිච්චි කරනවුන් අතර නව HIV ආසාදන 86%කින් අඩු වී තිබිණි.

ඒ සමගම ප්‍රෙප් ඔසුව සඳහා තිබූ ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි විය.

මේ සියල්ල මෙසේ සිදුවන අතරවාරයේ එංගලන්තයේ NHS හෙවත් ජාතික සෞඛ්‍ය සේවය කළේ කුමක්ද?

2014 වසර අගභාගයේ NHS විසින් ප්‍රෙප් ඖෂධය ලබාගැනීම ව්‍යාප්ත කළ යුතුදැයි සොයාබැලීම සඳහා යම් ව්‍යාපෘතියක් දියත් කළේය. නමුත් එය අතරමග නතර වී හෝ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව මග ඇණහිට තිබිණි.

‘‘මේ HIV නිවාරණ මෙවලම NHS සතුව නැති වීම ඉතාම අසීරු කරුණක් වුණා.“ NHS වෙත සම්බන්ධ ව කටයුතු කළ වෛද්‍ය වෘත්තිකයෝ පවා පවසන්නට වූහ. ‘‘ආසාදිතයන්ට ඒවා ලබාගන්නට බැරි නිසා අපට එය නිර්දේශ කරන්නට බැහැ. ඉතින්, අවදානම ඇති බව අපි දන්නා මිනිසුන්, ඊළඟ වතාවේ ආසාදිතයන් වශයෙන් සායනයට එන ආකාරය බලා සිටින්නට අපට සිදුවුණා.“ යැයි ඇතැම්හු පැවසූහ.

2016 වසර වන විට ද NHS සිටියේ ප්‍රෙප් ඔසුව කාහට වුවත් පහසුවෙන් ලබාගත හැකි දෙයක් බවට පත් කළ යුතුදැයි දෙගිඩියාවෙනි.

අවසානයේ ග්‍රෙග් සහ ඇලෙක්ස් යුවළ තීරණය කළේ, ප්‍රෙප් ඔසුව සඳහා ඇති අයිතිය වෙනුවෙන් අධිකරණයට යන්නට ය. ඒ, ඔවුන් වෙනුවෙන් පමණක් නොව, එම ඔසුව ලබාගැනීමේ අයිතිය හිමි තවත් මනුෂ්‍යයන් දස දහස් ගණනක් වෙනුවෙනි. එහිදී National Aids Trust නමැති පුණ්‍ය ආයතනය, එංගලන්තයේ ලොව පිළිගත් සෞඛ්‍ය සේවාව,  NHS උසාවි අරන් ආවේය. එංගලන්තය තුළ තිබෙන වෙනත් ඕනෑම නව ඖෂධයක් මෙන්ම ප්‍රෙප් ඖෂධය ද මිලදී ගැනීමට හැකි විය යුතු බවට ඔවුහු තර්ක කර සිටියහ.

ක්‍රමයෙන් ජන රැල්ල නිර්මාණය වන්නට විය. The Terrence Higgins Trust නමැති රටේ තවත් ප්‍රධාන පෙළේ HIV/Aids පුණ්‍ය සංවිධානයක් ‘ටයිම්ස්‘ පුවත්පතට ලිපියක් ලියමින් හෙළි කර සිටියේ, ප්‍රෙප් ඔසුව ප්‍රමාද වීම හේතුවෙන් දිනකට අවම වශයෙන් මිනිසුන් 17 දෙනෙක් එංගලන්තය තුළ මිය යන බව ය.

මේ වන විට NHS සිටියේ දශක 7 කින් එය මුහුණ දෙන විශාලතම අරමුදල් අර්බුදයට මුහුණ දී ය. නව වගකීම් ලබාගැනීම සඳහා එය කිසිසේත්ම සුදුසු අවස්ථාවක් වූයේ නැත.

ප්‍රෙප් ඔසුව පිළිබඳ නඩුව, එංගලන්ත සමාජය සමරිසි පුරුෂයන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප හෙළි කර සිටින වේදිකාවක් ද තැනීය.

මාධ්‍යවේදියකෙු, විකාශකයෙකු මෙන්ම සමරිසියෙකු ද වන ඇන්ඩෘෘ පියර්ස්, රජයේ වියදමෙන් එනම් NHS හරහා ප්‍රෙප් ලබාදෙනවාට විරුද්ධ වෙමින් කීවේ මෙසේ ය. ‘‘සමලිංගිකයෙකු වෙනුවෙන් මාසයකට පවුම් 450 ක වියදමක් දරන්න NHS එකට පුළුවන් කියා මම හිතන්නේ නැහැ.. සමලිංගිකයන් කළ යුත්තේ කොන්ඩමය නිසි පරිදි පැළඳ ගැනීම… බදුගෙවන මිනිසුන් නොසැලකිලිමත් ලිංගික ජීවිත සඳහා වන්දි ගෙවිය යුතුද..?“

ප්‍රෙප් හි මිල මේ වන විට මසකට පවුම් 355 දක්වා අඩු වී තිබිණි. නමුත් ඇතැම් පළාත්වල තවමත් තිබුණේ විවිධ මිලගණන් ය. එසේම ප්‍රෙප් සඳහා පොදු මිලක් ද තවමත් ප්‍රකාශයට පත් වී නොතිබුණේ එය වාණිජ වශයෙන් සංවේදී එකක් වූ හෙයිනි.

ග්‍රෙග් සහ ඇලෙක්ස් සිය සටන අත්හැරියේ නැත. ‘‘සමරිසියන්ට නිදහස්, වරදකාරී හැඟීමෙන් තොර, රෝගී තත්වයන්ගෙන් තොර ලිංගික ජීවිතයක් සඳහා අයිතිය තිබිය යුතුයි..“ ඔවුහු පැවසූහ. ‘‘අන්තිමට අපට සිදුවී තිබෙන්නේ ආදරය, විශේෂයෙන්ම පිරිමින් දෙදෙනෙක් අතර ලිංගික ක්‍රියාවන් ට මිලක් තිබෙන බව පිළිගන්නයි. නමුත් එය එසේ නැහැ…“

මේ අතර ප්‍රෙප් නමැති වාණිජ නාමය වෙනුවට තෘවාඩා (Truvada) නමැති ඖෂධ නාමය යටතේ එය මිලදී ගැනීම අතිශය ලාභදායක බව ද පෙනෙන්නට තිබිණි. දින 30 ක් සඳහා එවිට වැය වන්නේ පවුම් 20-55 ත් අතර මුදලක් පමණි.

අධිකරණයේදී NHS තර්ක කර සිටියේ ප්‍රෙප් ලබාදීම වෙනුවෙන් මුදල් වැය කරන්නේ නම් වෙනත් වියදම් කපා හැරීමට සිදුවන බව ය. උදාහරණයක් වශයෙන් හෘද අවදානමට හේතුවන කොලෙස්ටරෝල් තැන්පතු සහිත රෝගීන් සඳහා ස්ටැටින් ඖෂධ ලබාදීම සීමා කරන්නට සිදුවන බව ය. මහාධිකරණ විනිසුරුවරයා එම තර්කය බිඳිය හැකි එකක් සේ පිළිගෙන NHS හි අවාසියට පළමු තීන්දුව ලබාදුන්නේය. NHS තරයේ කියා සිටියේ තමන් තීන්දුවට විරුද්ධව අභියාචනය කරන බව ය.

‘‘එය අතිශයින්ම තත්වයක්..“ ග්‍රෙග් කීය. ‘‘එය අපවාදාත්මකයි. කොන්ඩම් නැතිව සෙක්ස් කරන, සහකරුවන් කිහිප දෙනෙක් සමග සෙක්ස් කරන මිනිසුන්, හෘද රෝගීන් සමග ඔවුන් සැසඳුවා.. අපට තිත්ත මිදි අනුභව කළාම දැනෙන හැඟීමට සමාන දෙයක් දැනුණා..“

නමුත් මේ වන විට බුද්ධිමය ප්‍රජාවේ අවධානය NHS හි තීරණය වෙත යොමු වී තිබිණි. කොන්ඩමයක් පැළඳීම හෝ නොපැළඳීම පිළිබඳ පුද්ගලික වගකීම, NHS හි තීරණ ගැනීම සම්බන්ධයෙන් කොතරම් දුරකට බලපෑ යුතුද?

අවසානයේ 2016 නොවැම්බරයේ NHS හෙවත් එංගලන්ත සෞඛ්‍ය සේවාවේ ඇපෑල පැරදුණේය. ප්‍රෙප් ලබාදීම පිළිබඳ වගකීම ඔවුන් ගත යුතු බව අධිකරණය නැවත වරක් තරයේ කියා සිටියේය.

ඒ වන විට ග්‍රෙග් සිටියේ නැවත උතුරු අයර්ලන්තය බලා ගොස් තානායමක වැඩ කරමිනි. ‘‘නඩු තීන්දුව ලබාදෙන මොහොතේ මම කෑ ගසමින් හැඬුවා.“ යැයි ඔහු කියයි.

එතැන් පටන් සිදුවූයේ කුමක්ද?

‍2017 ගිම්හානය වන විට ලන්ඩනයේ සායන 8 ක් ප්‍රෙප් ලබාදීම සඳහා පෙරමුණ ගත්තේය. ප්‍රෙප් සම්බන්ධයෙන් දැනුවත්භාවය පෙරට වඩා සමාජයේ පවතින හෙයින් ඕනෑම අයෙකුට පෙරට වඩා එය පුද්ගලිකව මිලදී ගැනීමට ද අවස්ථාව උදා වී තිබිණි. 2017 අගෝස්තු මාසයේ NHS නිවේදනය කළේ, මිනිසුන් 10,000 දෙනෙකුට වසර 3 ක කාලයක් සඳහා ප්‍රෙප් ලබාදීමට තමන් තීරණය කළ බව ය. එය පෙරහුරුවක් විය.

මේ හා සමාන පෙරහුරු පරීක්ෂාවන් වේල්ස් හි ද සිදුකෙරුණු අතර, තෝරාගත් NHS ලිංගාශ්‍රිත සායන කිහිපයකින් ප්‍රෙප් ලබාගැනීමට පහසුකම් සැලසිණි. නමුත් ග්‍රෙග්ගේ උපන් රට වන උතුරු අයර්ලන්තයේ NHS රෝහල්වලින් තවමත් ප්‍රෙප් ලබාගැනීමට හැකියාවක් නැත. NHS හරහා සම්පූර්ණ ප්‍රෙප් ප්‍රතිපාදනය ලබාදනෙ එකම එක්සත් රාජධානි භූමිය වන්නේ ස්කොට්ලන්තයයි.

කෙසේ නමුත් මේ තත්වය තුළ පවා එහි යහපත් ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙමින් තිබේ. මෑත කාලීන ඉතිහාසයේ ප්‍රථම වතාවට සමරිසි පිරිමින් අතර HIV diagnosis rate නොසිතූ විරූ ලෙස පහළ බැස තිබේ. 2015 සිට 2016 වසර වන විට එංගලන්තයේ එම ප්‍රතිශතය 20%කින් අඩු විය. ලන්ඩනයේ ඇතැම් ප්‍රදේශවල එම අගය 40% කි.

මේ අතර ප්‍රෙප් නිවාරකයට විරුද්ධව කරුණු කියන්නන්ගේ පිල ද ශක්තිමත් වී තිබේ. ප්‍රෙප් හේතුවෙන් ආරක්ෂිත ලිංගික හැසිරීම් පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම අපහසු වී ඇතැයි ඔවුහු කියති. ඔස්ට්‍රේලියාවේ ලැන්සැට් ජර්නලයේ පළ වූ සිව් අවුරුදු පර්යේෂණයේ වාර්තාව උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ, ප්‍රෙප් භාවිතය ව්‍යාප්ත වන තරටම, කොන්ඩම භාවිතය පහළ වැටී ඇති බව ය. ප්‍රෙප් නොගන්නා පිරිමින් පවා, මේ වන විට කොන්ඩම් රහිත ලිංගික ක්‍රියාවලට වැඩි වශයෙන් යොමු වී ඇති බව ද එම පර්යේෂණය පෙන්වා දෙයි.

ප්‍රෙප් ලබාදීම අධිවියදම්කාරී යැයි මුලින් කියූ එංගලන්තයේ NHS, ප්‍රෙප් ලබාදී HIV නිවාරණය කිරීමෙන් ඉතිරි වන මුදල, HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වැය වන මුදලට වඩා වැඩි බව මේ වන විට අවබෝධ කරගෙන සිටියි. ප්‍රෙප් නිසා පසු එක්සත් රාජධානියට පවුම් බිලියන 1 ක් ඉතිරි වනු ඇතැයි මේ වන විට ගණන් බලා තිබේ.

මේ සටන ගැන සිහිපත් කරන හැමවිටම ග්‍රෙග්ගේ නෙතට සිහින් කඳුළක් ඇදී ඒම වළක්වනු නොහැකි ය. අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු 2016 නත්තලේදී තමන්ට ලැබුණු දුරකථන ඇමතුමක් ගැන ග්‍රෙග් හට විශේෂයෙන් මතක ය. දුරකථනයේ අනෙක් කෙළවර සිටියේ ෂීනා මැක්කොමැක් නමැති කාන්තාවකි. ‘‘ඔබ නිසා අද දහස් ගණන් දෙනා HIV නෙගටිව් තත්වයෙන් ජීවිතය විඳිනවා.. ඒ දේ කළේ ඔබයි..“ යැයි ඇය පැවසුවාය.

Photo Credit: BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි